Main Logo

Friday, 8 April 2016

බහුසංස්කෘතික බහුබූතය 5

බහුසංස්කෘතික බහුබූතය 5

සියළු මිනිසුන් නීතිය ඉදිරියේ සමාන වේ ය යන පට්ටපල් බොරුව බටහිරයන් ලොව පුරා ප්‍රචාරය කළ ද ඒ එසේ නොවන බව අපි දනිමු. බටහිරයන් ආරක්‍ෂා කිරීමට ඉදිරිපත්වන ඇතැම් අනුකාරක නිවටයන්ට අවශ්‍ය නම් බටහිර කිසිවකු එසේ කියා නැතැයි කීමට හැකි ය. එහෙත් බටහිරයන් විසින් මෙහෙයවනු ලබන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයෙහි බටහිරයන් ප්‍රචලිත කරන බොරුව පැහැදිලිව ම දැකගත හැකි ය. නීතිය ඉදිරියෙහි මිනිස්සු සමාන නො වෙති. කොළඹ විශ්වවිද්‍යාලය මට විරුද්ධව නඩු කීමේ දී ඉතා ඉහළ ජනාධිපති නීතිඥයන්ගේ පිහිට ලබාගත්තේ ය. නීති පීඨයේ ආචාර්යවරු ද මට විරුද්ධව චෝදනා ගොනු කිරීමට එක්වූහ. උපකුලපති ජී එල් පිරිස් නීතිය පිළිබඳ මහාචාර්යවරයා ද විය. ඔහු වරක් මගෙන් විමසා සිටියේ ජාතික චින්තනය උගන්වන්නේ ඇයි ද කියා ය.මා ඔහුට කියා සිටියේ අනෙක් ඇදුරන්ට විජාතික චින්තනය (ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය) ඉගැන්වීමට හැකිනම් මට ජාතික චින්තනය (සිංහල බෞද්ධ චින්තනය) ඉගැන්වීමට හැකි බව ය. ඔහු තර්ජනාත්මක ව මගෙන් විමසුවේ දිගට ම විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමට බලාපොරොත්තු වන්නේ ද යන්න ය. බොහෝ සරසවි ඇදුරන්ට පමණක් නොව බටහිර දැනුම කටගාගත් ඇතැම් පාසල් ගුරුවර්න්ට ද (ඔවුහු ඊනියා වාස්තවික, විද්‍යාත්මක, ජාත්‍යන්තර බෞද්ධයෝ වෙති) සිංහල බෞද්ධ චින්තනය ගෝචර නොවන බවත් ඔවුන් ඒ මත පදනම් වූ දැනුමට ගරහන බවත් මම දනිමි.

Thursday, 7 April 2016

ප‍්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 1

ප‍්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 1

මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ.  මෙය දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් පමණක් නො වේ. සිංහලයන්ට ප්‍රවාද නැති වීම එහි දී බලපාන ප්‍රධාන කරුණකි.

මෙහි ඇති කරුණු ගැන පමණක් අවධානය යොමු නොකළ යුතු ය. අපට අවශ්‍ය වන්නේ ප්‍රභාකරන් යනු හුදු ත්‍රස්තවාදියකු නොවූ බව අවධාරණය කිරීම ය. ප්‍රභාකරන් අවුරුදු දෙසියකට ආසන්න කාලයක් මුළුල්ලේ විකාශය වූ දෙමළ ජාතිවාදී දේශපාලනයේ තවත් පුරුකක් පමණක් විය. ඔහුගේ පරාජයෙන් මේ සමස්ත දේශපාලනය ම පරාජය වූ බව තේරුම් ගැනීමට තවමත් සිංහලයන්ට නොහැකි වී ඇත. එබැවින් ම ප්‍රභාකරන්ගේ මස්සිනාලාට එංගලන්තයේ හා ඉන්දියාවේ ආධාරයෙන් හිස එසවීමට හැකි වී තිබේ. 


x              1977 න් පසුව දෙමළ ජනතාව දිනාගත් දේ සන්නද්ධ වීම නිසා ම ලබාගත් දේ නොවේ ද ?

                1977 මේ රටේ දෙමළ ජාතිවාදය තුන්වැනි යුගයක් ඇරඹීම සංකේතවත් කළා. එම යුගය පටන් ගත්තේ හැත්තෑවේ දශකයේ, දෙමළ ජාතිවාදයේ දෙවැනි යුගය හතලිස් ගණන්වල ඇරඹි 1949 දෙමළ රාජ්‍ය පක්ෂය පිහිටුවීමත් සමග කුලූගැන්වුණා. ඒ වගේ ම තුන්වැනි යුගය හැත්තෑ ගණන්වල ඇරඹී 1977 දී කුළුගැන්වී ප‍්‍රකාශයට පත් වුණා.

Wednesday, 6 April 2016

බහුසංස්කෘතික බහුබූතය 4

බහුසංස්කෘතික බහුබූතය 4

මේ ලිපි පෙළ කියවන බුද්ධිමත් පාඨකයනට මා කියන්නේ කුමක් ද යන්න දැනටමත් පැහැදිලි වී ඇතැයි සිතමි. මේ ලිපි පෙළ ඇරඹුනේ මිනිසුන්ගේ සමානකම් ගැන ලියූ ලිපියකිනි. අද බටහිර ලෝකය අප මත පටවන පට්ටපල් බොරු අතරින් දෙකක් විමසමු. එකක් නම් සියළු මිනිසුන් නීතිය ඉදිරියේ සමානය යන්න ය. දෙවැනි පට්ටපල් බොරුව බහුසංස්කෘතික බහුබූතය හෙවත් රටවල්වල විවිධ සංස්කෘති ඇති බව හා ඒ ඒ රටවල ඇති සංස්කෘති සමාන බව ය.

Tuesday, 5 April 2016

බහුසංස්කෘතික බහුබූතය 3

බහුසංස්කෘතික බහුබූතය 3

කිසිම රටක වාසය කරන ජනතාව සංස්කෘතික වශයෙන් සමජාතීය නො වෙයි. අද ලංකාවේ සිංහල ජාතිය සමග දෙමළ, මුස්ලිම්, මැලේ, වැදි ආදී ජනවර්ග වාසය කරති. ඒ ඒ අයගේ සංස්කෘති වෙනස් වෙයි. එහෙත් මේ සියළු දෙනාට ම සංස්කෘතික මහා පොදු සාධකයක් වෙයි. මැලේ හා වැදි ජනතාව ක්‍රමයෙන් සිංහල බවට පත්වෙමින් සිටිති. අනෙක් අතට සිංහලයන් අතර මෙන් ම ඒ ඒ ජනවර්ග අතර ද සංස්කෘතික වෙනස්කම් වෙයි. විශේෂයෙන් ම  ලංකාවේ දෙමළ ජනයා  සංස්කෘතික වශයෙන් සමජාතීය නො වෙති. යාපනයේ (වවුනියාවෙන් උතුරට) දෙමළ, මඩකලපු දෙමළ, කඳුරට දෙමළ මෙන් ම කොළඹ දෙමළ ජනතාවක් ද වෙති. මේ අය අතර ඇති වෙනස්කම්, කුල භේද, සිංහල ජනතාව අතර ඇති වෙනස්කම්වලට වඩා අධික ය.

Monday, 4 April 2016

මහින්දට හා ඒකාබද්ධ විපක්‍ෂයට වචනයක් (2016 අප්‍රීල් 03 රිවිර ලිපිය)

මහින්දට හා ඒකාබද්ධ විපක්‍ෂයට වචනයක්

මේ ලිපිය ලිවිය යුතු දැයි කිහිප වරක් ම කල්පනා කෙළෙමි. මා කියන කිසිවක වටිනාකමක් නැතැයි දේශපාලනඥයන් ද ජනමාධ්‍යවේදීන් (රිවිර හැර) ද තීරණය කර ඇතැයි මට සිතෙයි. ඒ එතරම් දෙයක් නො වේ. තව ටික කලකින් මිය යන මට ඔවුන්ගේ පිළිගැනීම යන්න කිසිම වටිනාකමක් ඇති කරුණක් නො වේ. එවැනි පිළිගැනීමක්, කීර්තියක්, ධනය හෝ වස්තුව හෝ මෙන් ම මට පරලොව ගෙන ගිය නො හැකි ය. එහෙත් ජාතිය තව කලක් පැවතිය යුතු ය, පවතිනු ඇත.  ජාතියේ පැවැත්ම සඳහා උපකාර වේ යැයි මා සිතන කරුණු කිහිපයක් ලියා පළකළ යුතු යැයි මම සිතමි. මේ ලිපි කාලය වෙබ් අඩවියෙහි ද මා නමින් ඇති මුහුණු පොතෙහි ද පළකරමි. මහින්ද සවන් දෙන්නේ සිංහල බෞද්ධ විරෝධී දයාන් ජයතිලකට, තමාට විරුද්ධ වූ සරත් සිල්වාට, තම කැබිනෙට්ටුවේ සිටි පැකේජ්වාදී ඇමතිවරුන්ට බව දැන දැන ම මේ ලිපි ලියමි.  ඔවුන් නිසා මහින්ද වරද්දා ගත් තැන් ඇත. එහෙත් මම ද සර්වනිර්දෝෂි නො වෙමි. සියල්ල කල් තබා කී සර්වනිර්දෝෂි පුද්ගලයකු ගැන නො දනිමි. 

Sunday, 3 April 2016

බහුසංස්කෘතික බහුබූතය 2

බහුසංස්කෘතික බහුබූතය 2

සිංහලයන් ජාතියක් වීම ඇරඹුණේ පණ්ඩුකාභය රජු දවස ය. එතුමා මුළු ලංකාවේ ම රජකළ බවට සාක්‍ෂි නැත. කෙසේ වෙතත් අනුරාධපුරය අගනුවර කරගෙන එතුමා රාජධානියක් ගොඩනැගුවේ ය. එය එක් වංශයක හෝ ජනකොටසක හෝ රාජධානියක් නො වී ය. එහි නොයෙකුත් ආගමිකයන් විසූ බවට ද රජතුමා ඔවුන්ට තම ආගමික කටයුතු සිදුකිරීම සඳහා ආගමික මධ්‍යස්ථාන (සිද්ධස්ථාන) පිහිටුවූ බවට ද මහාවංශය සාක්‍ෂි දරයි. මෙහි දී නොකියාම බැරි දෙයක් ඇත. ඒ මහාවංශයෙහි එකල බෞද්ධ සිද්ධස්ථාන ද තිබූ බව නො කීම ය. අඩුම තරමෙන් තපස්සු භල්ලුක ගොඩ නැගූ චෛත්‍යයක් එකල ද ලංකාවේ තිබූ බවට මහාවංශය ම සාක්‍ෂි දරයි. කෙසේ වෙතත් එය අනුරාධපුර රාජ්‍යයෙන් බාහිර ව තිබූ බව ද පැහැදිලි ය. එකල අනුරාධපුර රාජධානියේ තිබූ රුවන්වැලිසෑය (ගැමුණු රජුගේ චෛත්‍යකර්මයට පෙර) ද ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන ගැන දැනගැනීමට යක්‍ෂ ජනතාවගේ කෘතියක් වන වර්ගපූර්ණිකාව කියවිය යුතු ය. මිහිඳු හිමියන් මෙරටට වැඩම කිරීමට පෙර මෙහි බෞද්ධයන් සිටි බවක් හා බෞද්ධ සිද්ධස්ථාන තිබූ බවක් සඳහන් නොකිරීමට මහාවංශ කතෘන් ප්‍රවේසම් වී ඇත්තේ මන්දැයි සිතා ගැනීම අපහසු නො වේ.

Friday, 1 April 2016

බහු සංස්කෘතික බහුබූතය 1

බහු සංස්කෘතික බහුබූතය 1

අද ලෝකයේ හැම රටක ම පාහේ විවිධ සංස්කෘතිවල ජනතාව වෙසෙති. ඒ අර්ථයෙන් ගතහොත් බොහෝ විට ඕනෑම රටක  බහුසංස්කෘතික රටක් ලෙස හැඳින්විය හැකි ය. එහෙත් මේ ඕනෑම රටක මෙන් විශේෂිත හෝ අධිපති හෝ සංස්කෘතියක් ඇත. සංස්කෘති සමාන නැත. පිටරටවල වාසය කරන සිංහලයෝ ඒ බව හොඳින් දනිති. එංගලන්තය, ඕස්ටේ‍ර්ලියාව වැනි බටහිර රටක සිංහල බෞද්ධයන් වාසය කරන නමුත් එවැනි රටක සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන කුමක් ද? එංගලන්තයේ ලංඩන් නුවර පංසල් රාශියක් වෙයි. බර්මින්හම් වැනි නගරවල ද පන්සල් වෙයි. මේ ඇතැම් පංසල් සිංහල බෞද්ධයන්ගේ පංසල් ය. එයින් මා අදහස් කරන්නේ බොහෝවිට සිංහල භික්‍ෂූන් වහන්සේ වැඩවසන, ගිහි සිංහල බෞද්ධයන් ආගමික වතාවත් සඳහා යන පංසල් ය. ලංඩන් බෞද්ධ විහාරය මෙයින් ප්‍රසිද්ධ ම පංසල යැයි සිතමි.