Main Logo

Thursday 7 April 2016

ප‍්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 1

ප‍්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 1

මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ.  මෙය දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් පමණක් නො වේ. සිංහලයන්ට ප්‍රවාද නැති වීම එහි දී බලපාන ප්‍රධාන කරුණකි.

මෙහි ඇති කරුණු ගැන පමණක් අවධානය යොමු නොකළ යුතු ය. අපට අවශ්‍ය වන්නේ ප්‍රභාකරන් යනු හුදු ත්‍රස්තවාදියකු නොවූ බව අවධාරණය කිරීම ය. ප්‍රභාකරන් අවුරුදු දෙසියකට ආසන්න කාලයක් මුළුල්ලේ විකාශය වූ දෙමළ ජාතිවාදී දේශපාලනයේ තවත් පුරුකක් පමණක් විය. ඔහුගේ පරාජයෙන් මේ සමස්ත දේශපාලනය ම පරාජය වූ බව තේරුම් ගැනීමට තවමත් සිංහලයන්ට නොහැකි වී ඇත. එබැවින් ම ප්‍රභාකරන්ගේ මස්සිනාලාට එංගලන්තයේ හා ඉන්දියාවේ ආධාරයෙන් හිස එසවීමට හැකි වී තිබේ. 


x              1977 න් පසුව දෙමළ ජනතාව දිනාගත් දේ සන්නද්ධ වීම නිසා ම ලබාගත් දේ නොවේ ද ?

                1977 මේ රටේ දෙමළ ජාතිවාදය තුන්වැනි යුගයක් ඇරඹීම සංකේතවත් කළා. එම යුගය පටන් ගත්තේ හැත්තෑවේ දශකයේ, දෙමළ ජාතිවාදයේ දෙවැනි යුගය හතලිස් ගණන්වල ඇරඹි 1949 දෙමළ රාජ්‍ය පක්ෂය පිහිටුවීමත් සමග කුලූගැන්වුණා. ඒ වගේ ම තුන්වැනි යුගය හැත්තෑ ගණන්වල ඇරඹී 1977 දී කුළුගැන්වී ප‍්‍රකාශයට පත් වුණා.

                හැත්තෑ ගණන්වල සිදු වූ ප‍්‍රධාන ම වෙනස වූයේ ආයුධ සන්නද්ධ පිරිසක් ඇති වීම නොවෙයි. ආයුධ සන්නද්ධ පිරිසක් පරාජය කෙරීම නොකළ හැකි දෙයකුත් නොවෙයි. මා කලින් සඳහන් කළ පරිදි 1969 දී පළමු තරුණ කණ්ඩායම බිහි වූවා. 1972 පමණ වන විට කොටි සංවිධානයත් බිහි වූවා. ඒ කණ්ඩායම් බිහි වූයේ ම දෙමළ නායකයන්, එනම් තරුණයන් ගේ දෙමව්පියන් හා බාප්පලා අවශ්‍ය පරිදි දෙමළ රාජ්‍ය ලබා ගැනීමට කටයුතු නොකරන්නේ ය යන පදනමින්. මේ තරුණයන් ගේ සීයලා වූයේ පසුගිය සියවසර සිට හතලිහේ දශකය දක්වා මධ්‍යයෙහි බලය ලබා ගැනීමට කටයුතු කළ පිරිස.

                තරුණයන්, එනම් ප‍්‍රභාකරන් හා ඔහු ගේ මස්සිනාලා සංවිධානය වනු දුටු ඔවුන් ගේ බාප්පලා ද නැවතත් සංවිධානය වූවා. 1974 දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ බිහි වූයේ එසේ නැවත සංවිධානය වීමෙනුයි. අමිර්තලිංගම් මහතා මෙන් ම කුමාර් පොන්නම්බලම් මහතා ද තොන්ඩමන් මහතා ද එහි එක් වී සිටියා. 1949 දී පිහිටුවූ ලංකා දෙමළ රාජ්‍ය පක්ෂයෙහි ප‍්‍රතිපත්ති ඔවුන් නැවත වරක් 1976 දී පැවැත් වූ වඩුගොඩ (වඩුක්කොඩෙයි* සම්මේලනයේදී ප‍්‍රකාශ කළා. එනම් දෙමළ ජනයා වෙන ම ජාතියක් ලෙස සැලකීම, දෙමළ ජාතියේ ස්වයං නිර්ණ අයිතිය පිළිගැනීම හා දෙමළ නිජභූමිය පිළිගැනීමයි. එයට අමතර ව වතුකරයේ සියලූ දෙමළ වැසියන්ට පුරවැසිකම හා ඡුන්ද බලය ලබා දිය යුතු බවට ද යෝජනාවක් සම්මත කෙරුණා. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ 1977 මැතිවරණයට තරඟ කෙළේ වෙන ම රාජ්‍යයක් පිහිටුවීමට වරමක් ලබාගැනීම සඳහායි.

x              ඔබ කියන්නේ හැත්තෑව දශකයෙන් පසු දෙමළ ජාතිවාදය කඳවුරු දෙකක ක‍්‍රියාත්මක වූ බව ද ? ඔවුන්ට යම් යම් දේ දිනාගැනීමට ලැබුණේ ඒ නිසා ද ?

                හතළිහේ දශකයේ දී දෙමළ ජාතිවාදය පළමු වැනි යුගයේ සිට දෙවැනි යුගයට මාරු වුණා. එතැන දී ප‍්‍රභාකරන් ගේ සීයලා ගේ දේශපාලනය අවසන් වී ඔහු ගේ බාප්පලා ගේ දේශපාලනය ඇරඹුණා. එහෙත් හැත්තෑව දශකයේ දී සිදු වූයේ වෙනත් දෙයක්. ප‍්‍රභාකරන් ගේ බාප්පලා ගේ දේශපාලනය අවසන් වුණේ නැහැ. ප‍්‍රභාකරන් හා ඔහු ගේ ඇතැම් මස්සිනාලා ගේ දේශපාලනය බාප්පලා ගේ දේශපාලනය සමග සමගාමී ව පැවතුණා. ඒ වගේ ම තවත් සමහර මස්සිනාලා බාප්පලා ගේ දේශපාලනය ම ඉදිරියට ගෙන ගියා. 

x              ඒ කියන්නේ හැත්තෑවේ දශකයේ දී දෙමළ ජාතිවාදී දේශපාලනයේ අලූත් යුගයක් ඇරඹුණේ නැතැයි කියන එක ද?

                එහි තේරුම මේකයි. දෙමළ ජාතිවාදයේ පළමු යුගයේ අරමුණ වූයේ තම ජන අනුපාතයට නොසරිලන ආකාරයකින් මධ්‍යයෙහි බලය ලබා ගැනීමයි. දෙවැනි යුගයෙහි අරමුණ වූයේ මධ්‍යයෙහි බලය හීනකර පළමු ව උතුරේ හා නැගෙනහිර පෙඩරල් ප‍්‍රාන්තයක් පිහිටුවා දෙවනු ව දෙමළ රාජ්‍යයක් බිහි කෙරීමයි. එහි දී ඔවුන් ගේ උපක‍්‍රමය වූයේ පවතින දේශපාලන තත්ත්වය උපයෝගී කරගෙන තම අරමුණ කරා පියවරෙන් පියවර ඉදිරියට යෑමයි.

                ප‍්‍රභාකරන් හා ඔහු ගේ ඇතැම් මස්සිනාලා ගේ දේශපාලනය එයට වෙනස් වුණා. සන්නද්ධ ක‍්‍රියා මාර්ගයකින් ඊළමක් දිනා ගැනීම ඔවුන් ගේ අරමුණ වුණා. එක් අතකින් ගත් කල පෙඩරල් රාජ්‍යයක යන්න ඔවුන් විසින් පන්නනු ලැබුවා. ප‍්‍රභාකරන් ගේ බාප්පලා ඊළම දිනාගැනීමට උත්සාහ කෙළේ අදියර දෙකකින්. එහෙත් ප‍්‍රභාකරන් හා ඔහු ගේ ඇතැම් මස්සිනාලා එය එක ම අදියරකින් දිනා ගැනීමට බලාපොරොත්තු වුණා. බාප්පලා ගේ හා පුතාලා ගේ දේශපාලනයෙහි වෙනස එයයි. ප‍්‍රභාකරන් ආයුධ ගත්තේ දෙමළ රාජ්‍යය එක අදියරකින් දිනාගැනීම සඳහා. ඔවුන් දුටු ආකාරයට බාප්පලා දෙමළ රාජ්‍යයක් දිනාගැනීමට කටයුතු කෙළේ නැහැ.

                දෙමළ ජාතිවාදයේ තුන්වැනි යුගයේ දී ප‍්‍රභාකරන් ගේ බාප්පලා ගේ දේශපාලනයත් මස්සිනාලා ගේ දේශපාලනයත් සමගාමී ව ක‍්‍රියාත්මක වුණ නිසා ම මේ දේශපාලන ක‍්‍රියාමාර්ග අතර මාරු වීමට ප‍්‍රභාකරන් ගේ මස්සිනාලාට හැකියාව ලැබුණා. බාප්පලා ගේ දේශපාලනයට අවතීර්ණ වූ මස්සිනාලාත් හිටියා. පරම්පරා වශයෙන් සැලකුවත් ප‍්‍රභාකරන් ගේ බාප්පලා ලෙස චෙල්වනායගම්, නාගලිංගම්, අමිතර්තලිංගම් මෙන් ම සිවසිදම්බරම් ආදීන් හැඳින්විය හැකියි. මස්සිනාලා ලෙස නීලන් තිරුචෙල්වම් මෙන් ම වර්ධරාජා පෙරුමාල්, පේ‍්‍රමචන්ද්‍රන්, උමා මහේෂ්වරන්, ඩග්ලස් දේවානන්ද, සිද්ධාර්ථන් ආදීන් හැඳින්විය හැකි ය. මෙයින් නීලන් තිරුචෙල්වම් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක්. ඔහු ගෙන් සංකේතවත් වන්නේ බාප්පලා ගේ දේශපාලනය ඉදිරියට ගෙන යන ප‍්‍රභාකරන් ගේ මස්සිනාවරුනුයි. අනෙක් මස්සිනාලා මුල දී ප‍්‍රභාකරන් මෙන් ම එක් අදියරකින් ඊළම් දිනාගන්න කටයුතු කළ අයයි. එහෙත් ඔවුන් ගෙන් ඇතැමකු පසුව අදියර දෙකකින් ඊළම දිනා ගැනීමට කටයුතු කරනු පෙනෙන්ට තිබෙනවා. දෙමළ ජාතිවාදයේ තුන් වැනි යුගයේ දේශපාලන ක‍්‍රියාමාර්ග දෙකක් සමගාමී ව ක‍්‍රියාත්මක වන බැවින් ප‍්‍රභාකරන්ගේ මස්සිනාලට එක් ක‍්‍රියාමාර්ගයක සිට අනෙක් ක‍්‍රියාමාර්ගයට අවතීර්ණවීමේ හැකියාව ලැබී තිබෙනවා. අද වන විට පරම්පරා වශයෙන් ගතහොත් ප‍්‍රභාකරන් ගේ බාප්පා කෙනකු ලෙස සැලකිය හැක්කේ සිවසිදම්බරම් මහතා පමණයි. නිලන් තිරුචෙල්වම් මහතා ඇතුළු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ අනෙක් අය සියල්ලන් ම පාහේ ප‍්‍රභාකරන් ගේ මස්සිනාලයි.

x              දෙමළ ජාතිවාදයේ තුන්වැනි යුගය යනුවෙන් ඔබ හඳුන්වන යුගයේ දී දෙමළ නායකයන් යම් යම් දේ දිනාගත්තේ කෙසේ දැයි ඔබ තවමත් තේරුම් කර දුන්නේ නැහැ.

                දෙමළ ජාතිවාදයේ තුන්වැනි යුගය සංකීර්ණ යුගයක්. ඒ යුගයේ මා කලින් කී දේශපාලන ක‍්‍රියාමාර්ග දෙක සමගාමී ව ක‍්‍රියාත්මක වුණා පමණක් නොවෙයි. ඒවා එකිනෙකට අනුපූරක ව ක‍්‍රියාත්මක වුණා. ඒවා අතර විරුද්ධතාවක් පවතින අතර ම එකක් අනෙකෙන් පෝෂණය ලැබූ අතර ඒවා එකිනෙක මත යම් ප‍්‍රමාණයකට රඳා පැවතුණා. ක‍්‍රියාමාර්ග දෙක අතර තිබූ වෙනස්කම් හා විරෝධතා මැද වුව ද එකක් අනෙකේ ක‍්‍රියාත්මක වීම මත රඳා පැවතුණා.

                එමෙන් ම මේ යුගයෙහි තවත් වැදගත් දෙයක් සිදු වුණා. දෙමළ ජාතිවාදයෙහි දෙවැනි යුගයෙහි 1965 දී ඉතා ම තාවකාලික ව සුළුවෙන් සිදු වූ ක‍්‍රියාවක් මහා පරිමාණයෙන් සිදු වීමට පටන් ගත්තා. ඒ තමයි ආණ්ඩු පිහිටුවීමට දෙමළ ජාතිවාදී පක්ෂවල උපකාරය ලබාගැනීමට සිදුවීම. සිංහලයන් ගේ ඡුන්ද එ. ජා. පක්ෂයට හා ශ‍්‍රි. ල. නි. පක්ෂයට බෙදී ගිය විට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දෙමළ ජාතිවාදී පක්ෂවල සහාය පැතීමට ඒ පක්ෂවලට සිදු වූවා. එහි දී තම අරමුණ ඉටු කරගැනීම සඳහා නොයෙකුත් කොන්දේසි පනවා, ඒ මත පමණක් ආණ්ඩුවට සහයෝගය දීමට දෙමළ ජාතිවාදී පක්ෂ එනම් බාප්පලා හා ඔවුන් ගේ දේශපාලනයට අවතීර්ණ වූ මස්සිනාලා ඉදිරියට ආවා.

x              ඔබ කියන්නේ 1977 න් පසුව දෙමළ නායකයන් යම් යම් දේ දිනාගත්තේ මේ ක‍්‍රියාමාර්ගය මත පදනම් වී කියා ද ?

                ඔව්. මූලික වශයෙන් අනුගමනය කළ ක‍්‍රියාමාර්ගය එයයි. 1977 මැතිවරණයට පෙර තොන්ඩමන් මහතා ජේ. ආර්. ජයවර්ධන මහතා සමග ගිවිසුමකට එළඹුණා. එම ගිවිසුම අනුව ජේ. ආර්. ජයවර්ධන මහතා පිළිගත්තා දෙමළ ජනයාට අසාධාරණයක් වී ඇති බවත් ඒවාට යම් යම් පිළියම් දිය යුතු බවත්. ඒ අනුවයි ඔහු විශ්වවිද්‍යාල වලට ඇතුළත් කෙරීමේ දී ප‍්‍රමිතිකරණය නැති කිරීම, සිරිමා - ශාස්ත‍්‍රී ගිවිසුමෙන් ඉන්දියාවට යැවීමට නියමිත ව සිටි වතු කම්කරුවන්ට ද පුරවැසිකම හා ඡුන්ද බලය ලබා දීම ආදිය කෙළේ. උතුර හා නැගෙනහිර දෙමළ නිජභූමිය ලෙස පිළිගැනීම, දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇති කෙරීම, පළාත් සභා ඇති කෙරීම, දෙමළ රාජ්‍ය භාෂාවක් බවට පත් කෙරීම ආදිය සිදු කෙළේ ඉන්දියාවේ බලපෑම මත ඒ ක‍්‍රියාවලිය දිගට ගෙනයෑමෙන්. එහෙත් දෙමළ ජාතිවාදීන් අසාධාරණ යැයි කී එකක් වත් අසාධාරණ නොවන බව මා කලින් කියූ ලිපි ලේඛනවල පෙන්වා දී තිබෙනවා. 

                1977 දී සිදු වූයේ ආණ්ඩුවක් පිහිටුවීමට තොන්ඩමන් මහතා ගේ ඡුන්දත් අනෙක් දෙමළ ඡුන්දත් ලබාගැනීමට ජේ. ආර්. ජයවර්ධන මහතා දෙමළ ජාතිවාදීන්ට කප්පම් ලබා දීම පමණයි. දෙමළ ජාතිවාදීන් එ. ජා. පක්ෂයටත් ශ‍්‍රී. ල. නි. පක්ෂයටත් තම ඡුන්ද වෙන්දේසියේ දමනවා; තමන්ට වැඩි ම වාසි සලසන පක්ෂයට ඡුන්ද ලබා දෙනවා.

මේ ලිපිය මුහුණු පොතෙන් ද කියවිය හැකි ය.

https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා

2016 අප්‍රේල් 07