Main Logo

Wednesday 27 April 2016

සම්බන්ධන්ට වෙඩි නොතැබුයේ ඇයි?

සම්බන්ධන්ට වෙඩි නොතැබුයේ ඇයි?

අප කිසිවකුටවත් හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුල් විය හැකි ද? සම්බන්ධන් විරුද්ධ පක්‍ෂ නායකයා බව සැබෑ ය. ඔහු විරුද්ධ පක්‍ෂ නායකයා වූයේ අද ඒකාබද්ධ විපක්‍ෂය එදා මැතිවරණයේ දී පඬියන්ගේ බහට කන් දීම හේතුවෙන් වෙන ම කණ්ඩායමක් ලෙස තරග නොකළ බැවිනි. ඒ කෙසේ වෙතත් විපක්‍ෂය නායකට තබා අගමැතිටවත් හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුල් විය නො හැකි ය. ලංකාවේ දෙමළ ජනයාට ස්වයංනීර්ණය ලැබෙන තුරු යුද්ධය අවසන් නැතැයි කියන එංගලන්තයේ විපක්‍ෂ නායක හා කම්කරු පක්‍ෂයේ නායක කෝබින්ට එංගලන්තයේ හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුල් විය හැකි ද? යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ ඇංග්ලිකන් ප්‍රභේදයේ මෙරට නියෝජිතයා වූ රනිල්ගේ පාලනය යටතේ ඔහුට ලංකාවේ හමුදා කඳවුරකට නම් බලහත්කාරයෙන් ඇතුල් වීමට හැකි වුවහොත් මම පුදුම නො වෙමි. දෙමළ ජාතිවාදීන් උතුරේ හමුදා කඳවුරු ඉදිරියට පැමිණ සරම උස්සා පශ්චාත්භාගය ප්‍රදර්ශනය කරන දිනය වැඩි ඈතක නො වේ.
 

සම්බන්ධන්ලාට සුමන්තිරන්ලාට හා උතුරු පළාතට හා නැගෙනහිර පළාතට වෙන ම පාලනයක් ඉල්ලන විග්නේෂ්වරන්ලාට මෙතරම් බලයක් ලැබුණේ කෙසේ ද? අප කිසිවකු හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුල්වුවහොත් අපට වෙඩි කා මිය යෑමට සිදුවනු ඇත. වෙන ම පාලනයක් ඉල්ලීමට උතුරු පළාත් සභාවට අයිතියක් නැත. එහෙත් ව්‍යාජ ජාතිකවාදී මෛත්‍රිපාලට ඒ ගැන කිසිවක් කළ හැකි නො වේ. මේ බලය ලැබෙන්නේ දෙමළ ජනයාගේ ඇති ශක්තියක් නිසා නො වේ. දෙමළ ජාතිවාදීන් ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් ආයුධ ගෙන රජයට විරුද්ධව සටන් කෙළේත් දෙමළ ජනයාගේ ශක්තියක් නිසා නො වේ. 

ඇතැමුන් සිතනු ඇත්තේ, සිතීමට උත්සාහ ගනු ඇත්තේ, සම්බන්ධන්ගේ විග්නේෂ්වරන්ගේ මේ ක්‍රියා හුදු ඡන්ද මගඩි කියා ය. තවත් සමහරුන් කියනු ඇත්තේ යම්කිසි අයුරකින් සම්බන්ධන්ට හමුදා කඳවුරට බලහත්කාරයෙන් ඇතුල් වීමේ දී වෙඩි තැබුවේ නම් දෙමළ ජනයාගේ නැගිටීමක් සිදු වී ආණ්ඩුවට ප්‍රශ්නයක් ඇති වීමට තිබූ බව ය. එහෙත් එවැනි නැගිටීමකට වඩා බලසම්පන්න ප්‍රභාකරන් පැරදවීමට අපේ රණවිරුවන්ට හැකි විය. 

සම්බන්ධන්ට විරුද්ධව අඩුම තරමේ නඩුවක් පැවරීමටවත් මේ නිවට ආණ්ඩුවට ශක්තියක් නැත. සම්බන්ධන්ට විරුද්ධව පොලීසියේ පැමිණිල්ලක් කර නැතැයි පොලීසිය පවසයි. එහෙත් කඳවුර භාර නිලධාරියා හා පොලිස් නිලධාරීන් අතර ඒ පිලිබඳ යම් සාකච්ඡාවක් ඇති වී තිබෙන බවත් එතැනින් එහාට ක්‍රියා මාරාගයක් ගැනීමට විරුද්ධව දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වී ඇති බවත් පැහැදිලි ය. හමුදා කඳවුර භාර නිලධාරියා සිද්ධිය පිළිබඳ ව අඩුම තරමෙන් පෙලීසියටවත් පැමිණිළි කර නැත්නම් ඔහුට විරුද්ධව හමුදා නීතිය යටතේ ක්‍රියා කිරීමට හමුදාපති කටයුතු කරන්නේ ද? මට අවශ්‍ය වන්නේ දේශපාලනය ඉදිරියේ අසරණ වී ඇති නිලධාරියා ගෙදර යැවීමට නොවන බව පැහැදිලි විය යුතු ය. මට අවශ්‍ය වන්නේ මේ නිවට ආණ්ඩුව ගෙදර යැවීමට ය. 

මේ ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා කටයුතු කළ සියලු දෙනා (ආණ්ඩුව බලයට පත්වූයේ ඔවුන්ගේ දේශද්‍රෝහි ක්‍රියා නිසා නොවූවත්) මේ සිද්ධිවලට වග කිව යුතු ය. එහෙත් සම්බන්ධන්ට වෙඩි නොතැබුයේ ඒ පුස්සන්ගේ ශක්තියක් නිසා නො වේ. මේ කසිකබල් පුස්සන්ට ඉලෙක්ට්‍රොනික ජනමාධ්‍ය නොවන්නට අඩුම තරමෙන් පැවැත්මක්වත් නැත. සම්බන්ධන්ට වෙඩි නොතැබුවේ සුද්දන්ගේ ශක්තිය නිසා ය.  

සුද්දන්ගේ පාසල්වල හා විශ්වවිද්‍යාලවල සුද්දන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය උගත් අය සිතන්නේ සුද්දන් අපට නිදහස දී ආපසු ගිය බව ය. අනගාරික ධර්මපාලතුමා ප්‍රකාශ කර ඇත්තේ සුද්දන් ආපසු යන විට කළු සුද්දන් ඉතුරු කර යනු ඇති බව යැයි කියැවෙයි. එතුමා මේ ප්‍රකාශය කෙළේ දැයි මම නො දනිමි (එය එක්තරා නවකතාවක නම් ඇති බව පැවසෙයි). එතුමා එසේ ප්‍රකාශ කර ඇත්නම්  ඕ බී ඊ නාමධාරී මාර්ටින් වික්‍රමසිංහ බමුණු කුලය බිඳවැටීම ගැන ප්‍රකාශ කළ පුහු ආකරයකට එසේ කරන්නට නොමැති බව පැහැදිලි ය. සුද්දන් අධ්‍යාපනය, වරප්‍රසාද, තනතුරු, ඉඩකඩම් මගින් ද ජනමාධ්‍ය මගින් ද තම නියෝජිතයන් ඇති කර තිබෙන බව පැහැදිලි ය. එහෙත් සුද්දෝ තම නියෝජිතයන් මෙහි සිටියදීත් මෙරට අත්හැර නො ගියෝ ය. කෙටියෙන් කියන්නේ නම් සුද්දන් ගියේ නැත. 

මෙරට යුදෙවු ක්‍රිස්තියානි ආධිපත්‍යයෙහි ඇංග්ලිකන් සංරචකය ක්‍රියාත්මක වන්නේ රනිල්ලා, සම්බන්ධන්ලා, ඊනියා උගතුන් ජනමාධ්‍යවේදීන් ආදීන් මගින් පමණක් නො වේ. මෙරට එංගලන්ත මහා කොමසාරිස්, එංගලන්තයේ දේශපාලනඥයෝ අපට බලපෑම් කරති. මෙරට දෙමළ ජාතීිවාදය සිංහල බෞද්ධයන්ට එරෙහිව මුල දී ඇති කරනු ලැබුයේ ලන්දේසීන් විසින් බව ද එය වර්ධනය කෙරී පරිපූර්ණත්වයකට පත්කෙරුණේ ඉංගිරිසින් විසින් බව ද අදත් ඉංගිරිසින් දෙමළ ජාතිවාදය සුරක්‍ෂිත කර පෝෂණය කරන බව ද පිළිිගැනීමට ඇතැම් සිංහල උගත්තු මැළිවෙති. යටත්විජිතවාදීහු මුල දී සිංහල බෞද්ධයන්ට එරෙහිව වෙල්ලාලයන් යොදාගත් නමුත් වසර තිහක පමණ කාලයක සිට අන්‍ය කුලවල අය ද යොදා ගනිති. ඉංගිරිසින් 1815 ගිවිසුමෙන් පොරොන්දු වූයේ බුද්ධාගම හා දේවාගම (සිංහල බුද්ධාගම) සුරක්‍ෂිත කර පෝෂණය කිරීමට ය. ඔවුහු ඒ කඩකර දෙමළ ජාතිවාදය සුරක්‍ෂිත කර පෝෂණය කළහ, දැනුදු කරති. එංගලන්තයේ හා බටහිර රටවල සිටින විසුරුණු දෙමළ ජනතාව ඊනියා ඊළාම් කොඩි ඔසවාගෙන පෙළපාලි යන්නේත් සිංහල බෞද්ධ විරෝධී ක්‍රියාවල නිරත වන්නේත් ඔවුන්ට ඒ රටවල, විශේෂයෙන් ම එංගලන්තයේ, රාජ්‍යවල සහාය  ලැබෙන බැවිනි. එංගලන්තය එරට සිටින දෙමළ විසුරුණු ජනයාට සලකන්නේ ඔවුන්ගේ ඡන්දය බලාපොරොත්තුවෙන් යැයි කියන්නෝ ඉංගිරිසිහු හා ඊනියා උගත් සිංහලයෝ වෙති. ඉංගිරිසිහු එකී දෙමළ ජනයා සිංහල බෞද්ධ විරෝධී කටයුතු සඳහා යොදවා ගනිති. දෙමළ ජාතිවාදයේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට තවමත් ඊනියා උගත්තු මැළිවෙති. ඉංගිරිසින්ට විරුද්ධව සිතීමට පවා ඉංගිරිසි අධ්‍යාපනයක් ඉංගිරිසි හෝ සිංහල මාධ්‍යයෙන් හෝ ලැබූ ඔවුහු අකමැති වෙති. 

ඉන්දියාව ද 1947න් පමණ පසුව දෙමළ ජාතිවාදය පසුපස වෙයි. ඔවුන්ට ද කලාපීය බලවතා ලෙස අද බලයක් ලැබෙන්නේ බටහිරයන්ගේ පිහිටෙනි. බටහිරයෝ චීනයට විරුද්ධ ඉන්දියාවට ආධාර කරති. මෝදී අංක එකේ බටහිර ගැත්තෙකි. මේ රාජද්‍රෝහී නිවට ආණ්ඩුවට බටහිරයන්ට හෝ ඉන්දියාවට හෝ විරුද්ධව ඇඟිල්ලක් එසවිය නො හැකි ය. සම්බන්ධන් පිටුපස ඇති ශක්තිය මූලික වශයෙන් ඉංගිරිසින්ගේ ශක්තිය ය. ඒ සමග ඉන්දියාවේ ශක්තිය ද වෙයි. මේ නිවට ආණ්ඩුව බලයට පත්කරනු ලැබුයේ එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල් හා ඉන්දියාව විසිනි. ඔවුන් ඊනියා රාජපක්‍ෂ රෙජිමය පළවා හැරියේ මහින්ද රාජපක්‍ෂ ඔවුන්ට අවනත නොවූ බැවිනි. ඔවුන්ට අවශ්‍ය සිංහල බෞද්ධයන්ට විරුද්ධ ව දෙමළ ජාතිවාදය යොදා ගැනීම ය. සම්බන්ධන් බලහත්කාරයෙන් හමුදා කඳවුරකට ඇතුල් වූයේත්, ඔහුට වෙඩි නොතැබුයේත් ඔහු පිටුපස විශේෂයෙන් ම එංගලන්තය හා ඉන්දියාව සිටින බව ඔහු දන්නා නිසාත් යටත්විජිතවාදයට සේවය කරන නිවට ආණ්ඩුවට දෙමළ ජාතිවාදයට එරෙහිව කිසිවක් කළ නොහැකි නිසාත් ය. අපි දැන්වත් දෙමළ ජාතිවාදය පිටුපස සිටින සුද්දන් හඳුනා ගනිමු. 

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් කියවිය හැකි ය.  

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)


නලින් ද සිල්වා

2016 අප්‍රේල් 27