විසඳන්න ප්‍රශ්නයක් තිබුණේ නැත 2
දෙමළ ජාතිවාදයේ ඉතිහාසය ජනතාව අතරට කාන්දු නොවීමට ඇති තවත් හේතුවක් නම් බටහිර ඉංගිරිසි අධ්‍යාපනයෙන් හා මෙරට ඉතිහාසය පිළිබඳ ආචීර්ණ කල්පිත මතවලින් සකස් වී ඇති සිංහල උගතුන්ගේ මනස ය. ඒ සිංහල උගතුන් දක්නට ඇත්තේ ඊනියා රාජ්‍ය නොවන පුහු උගතුන් අතර පමණක් නො වේ. ජාතික මත දරන්නේ යැයි කියන්නන් අතර ද ඔවුන් දැකිය හැකි ය. ඊනියා රාජ්‍ය නොවන උගතුන් එතරම් ප්‍රශ්නයක් නො වේ. සිකුරාදාට නිකුත්වන සිංහල විරෝධී සතිඅන්ත පුවත්පතකට හා වෙබ් අඩවි කිහිපයකට පමණක් සීමා වී ඇති ඔවුන්ට ජනමතය හැසිරවීමේ කිසිම හැකියාවක් නැත. රාජපක්‍ෂ ආණ්ඩුව (රනිල්ගේ ඊනියා රෙජිමය) බලයෙන් පහකර සිංහල විරෝධී යමපාලන ආණ්ඩුව බලයට පත්කළේ තමන් යැයි ඔවුහු උදම් අනතිි. එහෙත් ඔවුන් කෙළේ බටහිරයන්ගේ ඉත්තන් වී ලිපි කිහියක් ලිවීමත් සම්මන්ත්‍රණ කිහිපයක් පැවැත්වීමත් පමණකි. මේ ආණ්ඩුව මෙසේ ක්‍රියාකරන බව ඔවුන් නොදැන සිටියේ නම් එයින් කියැවෙන්නේ ඔවුන්ට දැක්මක් නොතිබූ බව පමණ ය. ඔවුහු තමන්ට ද නොතේරෙන සංකල්ප යොදා ගනිමින් එකිනෙකා සමග පඬිකතා කිියති.
අපට ප්‍රශ්නය වී ඇත්තේ ජාතික මතවාදයක සිටින්නේ යැයි කියන උගතුන් සහ දේශපාලනඥයන් ය. මේ අයගේ මත අහුලා ගන්නා රූපවාහිනී හා ගුවන් විදුලි නිවේදකයෝ ඒ මත ප්‍රචාරය කර හරිති. අපි උදාහරණයක් දෙකක් ගනිමු. සිංහල අවුරුද්ද යනු සිංහලයන්ගේ අවුරුද්ද ය. එයට දීර්ඝ ඉතිහාසයක් ඇති බව පෙනී යයි. (මේ පිළිබඳ ව මුහුණ පොතෙහි මා නමින් ඇති පිටුවෙහි හා කාලය වෙබ් අඩවියෙහි පසුගිය දා පළ වී ඇති ලිපි කියවන්න). අපට ඒ ලැබෙන්නේ යක්‍ෂ හා නාග ජනතාවගේ සංස්කෘතියෙන් යැයි කිව හැකි ය. එහෙත් මෑතක සිට ඊනියා විද්‍යාත්මක සිංහලයෝ හිරු පොළොව වටා නොයන බවක් පවසමින් අවුරුද්ද උදාවන්නේ මාර්තු මස සිදුවන උත්තරායනයත් සමග යැයි පවසති (අපේ මේෂ රාශිය, නිවැරදි ව කියන්නේ නම්් අස්විද නැකතෙහි යම් පාදයක්, ඇරඹෙන ලක්‍ෂ්‍යය බටහිර තාරකා විද්‍යාවේ මේෂ රාශියේ ප්‍රථම ලක්‍ෂ්‍යය - First point of Aries - නො වේ. අපේ දැනුම ඇතුළු සංස්කෘතිය බටහිර දැනුමෙන් අර්ථකථනය කිරීමට එළඹෙන මොවුන්ට වෘෂභයන්ගේ ම පිහිට ය. පුනබ්භවය විද්‍යාත්මක ව ඔප්පු කිරීමට කියන මොවුන්ට වෙන කාගේ පිහිට ද?). මොවුන් අමතක කරන කරුණක් නම් හිරු මාර්තු 21 වැනි දා පෘථිවියේ දක්‍ෂිණාර්ධයේ සිට සිට උත්තරාර්ධයට යන බව පවසන්නේත් හිරුගේ සාපේක්‍ෂ චලිතය සැලකීමෙන් මිස පොළොවේ චලිතය සැලකීමෙන් නොවන බව ය. අවුරුදු ගණනාවක් මම විශ්වවිද්‍යාලවල බටහිර තාරකාවිද්‍යාව උගන්වා ඇත්තෙමි. එහි දී මම පොළොවට සාපේක්‍ෂව හිරුගේ, අනෙක් තරුවල, ග්‍රහවස්තුවල චලනය විස්තර කිරීම සඳහා බටහිර තාරකා විද්‍යාවෙහි දැක්වෙන පොළොව කේන්ද්‍ර කරගත් ඛගෝලය (celestial sphere) යන්න යොදා ගත්තෙමි. මෙහි සංස්කෘත ඛ යන්නෙන් කියැවෙන්නේ හිස් බව ය. පසු කලෙක ත්‍රිලක්‍ෂණයෙහි දැක්වෙන දුක්ඛ යන්න තණ්හාව නිසා ඇතිවන දුක නොවන බවත්, අනිත්‍ය අනාත්ම මෙන් ම ලක්‍ෂණයක්, එනම් අයහපත්, නරක හිස් බව කියැවෙන ලක්‍ෂණය, බවත් අවබෝධ කර ගැනීමට මේ හිස් බව යන්න උපකාරී විය (චතුරාර්ය සත්‍යයෙහි දැක්වෙන දුක ඇතිවන්නේ මේ හිස් බව, අනිත්‍ය හා අනාත්ම අවබෝධ කරගැනීමට මනස අසමත්වීම නිසා නැති –- අවිද්‍යාව නිසා සංස්කරණය කරන සංකල්පීය - ලෝකයකට ඇති කරගන්නා තණ්හාව හේතුකොටගෙන ය. මෙහි ත්‍රිලක්‍ෂණය, පටිච්ච සමුප්පාදය හා චතුරාර්ය සත්‍ය එකට බැඳී ඇත). චලිතය සෑම විට ම සාපේක්‍ෂ ය. නිරපේක්‍ෂ චලිතයක් තිබුණා නම් ඒ අයිසැක් නිවුටන්ගේ හා ඔහුගේ අනුගාමිකයන්ගේ හිස්වල හා මෙරට පඬියන්ගේ හිස් වූ හිස්වල ය. මෙරට පඬියන්ට ඇත්තේ ඛගෝල ය! අප පඬි හිසට තණ්හාවක් ඇති කර ගත යුතු නො වේ. හිරුගේ චලිතය පොළොවට සාපේක්‍ෂව ගැනීමෙන් අවුරුද්ද ඊනියා අවිද්‍යාත්මක බොරුවක් බවට පත් නො වේ.
එහෙත් මේ ඊනියා විද්‍යාත්මක කතාවට වඩා භයානක කරුණ නම් සිංහල හා දෙමළ අවුරුද්දක් ගැන පඬියන්, දේශපාලනඥයන් හා නිවේදකයන් නගන ඝෝෂාව ය. හිරු මේෂයෙන් මීනයට යෑම ගැන දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ ප්‍රාන්තවල අපේ මෙන් උත්සව නො පැවැත්වේ. යාපනයේ ද ඇතැම් නිවෙසක යම් උත්සවයක් පැවැත්වේ නම් ඒ සිංහල බෞද්ධ සංස්කෘතියේ ආභාසයෙනි. බක් මහේ සූර්ය සංක්‍රාන්තිය උත්සවයක් ලෙස පැවැත්වෙන්නේ ථෙරවාදී බෞද්ධ රටවල ය. සිංහල ක්‍රිස්තියානි ජනයා පමණක් නොව දෙමළ ජනයා ද මුස්ලිම් ජනයා ද අවුරුදු උත්සවය පවත්වනු දැකීමට මම කැමැත්තෙමි. එහි දී ක්‍රිස්තියානි හා මුස්ලිම් ජනයාට නැකැත් පිළිබඳ ප්‍රශ්නයක් මතුවනු ඇත. නැකැත් උත්සවයක නැකැත් නැත්නම් තිබිය හැක්කේ කුමක් දැයි ඇසිය හැකි නමුත් එකී ජනයා සම්බන්ධයෙන් ඒ පිළිබඳ ව යම් එකඟත්වයකට පැමිණීමට අපට හැකි යැයි සිතමි. අවුරුද්ද මෙරට ජාතික උත්සවය වෙයි. එහෙත් එහි දී අප ව්‍යාජ ජාතික සමගියක් වෙනුවෙන් ඊනියා සිංහල හා දෙමළ අවුරුද්දක් ගැන සඳහන් නොකළ යුතු ය.
අපේ ඉතිහාසය ගැන පවතින ආචීර්ණ කල්පිත මතවලින් ද අප නිදහස් විය යුතු ය. යක්‍ෂ ජනතාව අමතක කර අපට ඉතිහාසයක් ලිවිය නො හැකි ය. එළාරගේ කාලයේ සිට ජීවත්වන දෙමළ ජනතාවක් මෙරට නැත. එළාර හා පිරිස කොහේ සිට පැමිණියත් (මොවුන් දෙමළ විය නො හැකි ය. ඔවුන්ගේ සංස්කෘතික කතා අනුව ඇතැම් විට ඔවුන් අද ඉරානය නමින් හැඳින්වෙන ප්‍රදේශයෙන් පැමිණියා විය හැකි ය.) ඒ අයගෙන් පැවත එන්නන් ගැන කුමක් කිව හැකි ද? ඔවුන් ඉතා සුළු කලෙකින් ගැමුණු රජු වර්ධනය කළ සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වී ඇති බව පෙනී යයි. ඉන් පසු සිදු වූ චෝල හා වෙනත් ද්‍රවිඩ ආක්‍රමණවලින් පසු මෙරට දෙමළ හෝ වෙනත් ද්‍රවිඩ හෝ ස්ථිර වාසස්ථාන පිහිටු වී නැති බවට ඉන්ද්‍රපාල මහතාගේ ආචාර්ය නිබන්ධනයෙන් ගම්‍ය වෙයි.
ඒ ඈත ඉතිහාසය ය. මෑත ඉතිහාසය, එනම් යටත්විජිත ආක්‍රමණිකයන්ට පසු ඉතිහාසය (රනිල් වික්‍රමසිංහට 2005 දී සැමරීමට අවශ්‍ය වූයේ මේ ආක්‍රමණයේ පන්සිය වැනි වසර ය. ජාතියේ වාසනාවට ඔහුට එයට පෙර අගමැතිකම නැති විය) ගැන ජාතිකත්වය ගැන කතාකරන අයට ද ඇත්තේ සුද්දන් ඉගැන් වූ දැනුම ය. ලන්දේසීන් මෙරටට දුම්කොළ වගාව සඳහා කෝරමණ්ඩල (චෝලමණ්ඩල යන්න පෘතුගීසීන්ගේ උච්චාරණය) වෙරළෙන් දෙමළ ජනයා ගෙනැවිත් ඇති බවට ඉතිහාසයේ සඳහන් වෙයි. ලන්දේසීන් දකුණු අප්‍රිකාවට ද දෙමළ ජනයා ගෙන ගිය බවත් ඉතිහාසගත කරුණකි. මේ ප්‍රදේශ දෙකේ ම වෙල්ලාල නමින් හැඳින්වෙන දෙමළ ජනයා වෙති. වෙල්ලාලයන් අද තමිල්නාඩුව ප්‍රදේශයේ ශුද්‍ර ජනයා ලෙස සැලකෙන බවට ද සාක්‍ෂි වෙයි. ඒ අතර මලබාරයෙන් මලයාලම් කතාකරන ජනයා (මලබාර්වරු) ද පැමිණ ඇත. එහෙත් අපේ උගත්තු ඒ සියල්ල අමතක කර වෙල්ලායන්ට දීර්ඝ ඉතිහාසයක් ලබා දෙති. මව් පසින් 17 වැනි සියවසේ මෙරටට පැමිණි අයකුගෙන් පැවතෙනන, ඇංග්ලිකන් ක්‍රිස්තු භක්තිකයකුගේ පුතකු වූ, රාමනාදන්ගේ හා අනෙක් වෙල්ලාල නායකයන්ගේ තෝම්බු පරීක්‍ෂා කළහොත් ඔවුන් කවුරුන් ද යන්න හෙළි වනු ඇත. ඔවුන්ට මෙරට දෙමළ රාජ්‍යයක් තබා ඈතට යන ඉතිහාසයක්වත් තිබී නැත.
අපේ ජාතික මතවාදයක ඇතැයි කියන උගතුන් දෙමළ ජාතිවාදය ගැන කියන්නේ ද අතනින් මෙතනින් අහුළා ගන්නා තොරතුරු ය. සංගත කතාවක් ඔවුනට නැත. දෙමළ ජාතිවාදය ඇතිවූයේ කවදා ද යන ප්‍රශ්නයට සිංහලයන් අතර එකඟත්වයක් ඇතිකර ගැනීමට දැන් කාලය පැමිණ ඇත. සිංහල විරෝධී චන්ද්‍රිකා කුමාරතුංගට ඇත්තේ සෝබෝන් ඉතිහාසයකි. ඇයට අනුව මේ සියල්ල ඇගේ පියාගේ වරදින් සිදු වී ඇත. දෙමළ ජනයාට සිදු වූ අසාධාරණයක් නිසා ඇති වූ ප්‍රශ්නයක් නැති බව ඇය නො දන්නී ය. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම නිසා ප්‍රශ්නය ඇති වූ බව ඇය කියයි. එහෙත් 1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වීමට පෙර ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය හෙවත් ඊනියා ෆෙඩරල් පක්‍ෂය 1949 දී පිහිටු වූ බව ඇය නො දනියි. 1949 දී එකි පක්‍ෂයේ ආරම්භක රැස්වීම පැවැත්වූයේ යාපනයේ නොව එවකට මරදානේ තිබූ රජයේ ලිපිකරු සේවා ගොඩනැගිල්ලේ බවත් ලිපිකරුවන් බොහොමයක් එකල දෙමළ වූ බවත් ඒ වෘත්තීය සමිති මාක්ස්වාදී පක්‍ෂ යටතේ තිබූ බවත් චන්ද්‍රිකාට අමතක වුවත් අපට අමතක නැත. විසඳීමට ප්‍රශ්නයක් නැති වුවත් මෙරට ප්‍රශ්නයක් නැති වා නො වේ. ඒ ඉංගිරිසින්ගේ මූලිකත්වයෙන් ද ඔවුන්ගේ ද ඉන්දියාවේ ද සහයෝගයෙන් ගොඩනැගුණු දෙමළ ජාතිවාදය ය.
දෙමළ ලිපිකරුවන් කොළඹ මූලික කරගත් සමාජයක ජීවත් වූ බව අමතක නොකළ යුතු ය. ඔවුන්ගේ ආර්ථිකය හඳුන්වනු ලැබුයේ තැපැල් ඇණවුම් ආර්ථිකයක් (පෝස්ටල් ඕඩර්) ලෙස ය. අද තැපැල් ඇණවුම් ගැන අවබෝධයක් නැතත් කොළඹ ජීවත් වූ දෙමළ සේවකයන් එකල යාපනයේ විසූ තම පවුල්වලට මුදල් යැවුයේ තැපැල් ඇණවුම් මගිනි. කොළඹ යනු යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ ගොඩනැගුණු නගරයකි. එක් ප්‍රසිද්ධ භික්‍ෂූන් වහන්්සේ නමක් නිතර මතක් කරන කරුණක් නම් කොළඹ පන්සල් ඉතා වැඩි ප්‍රමාණයක් නීත්‍යානුකුල ව ඇරඹුණු ඒවා නොවන බව ය. ඒ අනවසරයෙන් ඉදිකෙරුණේ වෙයි. යටත්විජිත පාලකයන්ට මොන පන්සල් ද? කොළඹ ඇති පල්ලි රාජ්‍ය අනුග්‍රහයෙන් ඉදිකරනු ලැබිණි. ක්‍රිස්තියානි යටත්විජිත පාලකයන් විසින් කෙරුණු එහි අමුත්තක් නැතැයි කියමු. එහෙත් කොළඹ හින්දු කෝවිල් ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් ඉදි වූයේ කෙසේ ද? කාමලිකා පීරිස් මහත්මිය පෙන්වා දී ඇති ආකාරයට 19 වැනි සියවසේ කොළඹ දෙමළ ජනතාව පදිංචි වී ඇති අතර ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් හින්දු කෝවිල් ඉදි කෙරී ඇත. කොළඹ පදිංචි වූ මුල් දෙමළ ජනවාර්ගියකු වූ ද, පොන්නම්බලම් අරුණාශලම්ගේ මාමණ්ඩිය වූ ද, 1831 දී ව්‍යවස්ථා සභාවට ප්‍රථම වරට දෙමළ ජනයා නියෝජනය කරමින් පත්කෙරුණා වූ ද කුමාරස්වාමි මුදලි කෝවිල් තැනීමේ දී මුල් තැනක් ගෙන ඇත. වේල් පෙරහැර කොළඹ පැවැත්වීමට ඉංගිරිසින් තීරණය කර ඇත්තේ 1874 දී ය. කොටහේනේ දීපදුත්තාරාමයේ පෙරහැරට ඇති වූ බාධාත් එයට මුහුණ දීමට මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ගත් පියවරත් අපි දනිමු. කොළඹ යම් බෞද්ධ ප්‍රබෝධයක් ඇති වී නම් ඒ ඉංගිරිසි නීතියට පිටින් ඇති වූ බව අමතක නොකළ යුතු ය. පානදුරා වාදය වැනි වාදයක් හින්දූන් හා ක්‍රිස්තියානීන් අතර හෝ මුස්ලිමුන් හා ක්‍රිස්තියානින් අතර හෝ ඇති නොවූයේ ඔවුන් යම්කිසි ආකාරයක මැවුම්කරුවකු විශ්වාස කළ බැවින් පමණ ද? පංච මහා වාද ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය (යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ එංගලන්ත ප්‍රභේදය) හා සිංහල බෞද්ධ සංස්කෘතිය අතර වූ යටත්විජිතවාදී හා යටත්විජිත විරෝධී සංස්කෘතික අරගලයක ප්‍රතිඵලයකි. ධර්මපාලතුමා ඉදිරියට ගෙන ගියේ මේ අරගලය ය. (මතු සම්බන්ධයි)
මේ ලිපිය මුහුණු පොතෙන් ද කියවිය හැකි ය.
නලින් ද සිල්වා
2016 අප්‍රේල් 24