ජනමාධ්‍ය ලේකම්ගේ තර්ජනය
අවුරුදු පනහකට පමණ පෙර එවකට තිබූ පරිපාලන සේවා පරීක්‍ෂණයට පෙනී සිටින ලෙස පියා කළ ඉල්ලීම මා සෙනෙහසින් ප්‍රතික්‍ෂෙප කෙළේ එයටත් කලකට පෙර (සාමාන්‍ය පෙළ පරී’ක්‍ෂණයට පෙනී සිටීමට ද පෙර) මා බටහිර විද්‍යාඥයකු සහ සරසවි ඇදුරකු වීමට තීරණය කරගෙන සිටි බැවිනි. අවසානයේ දී මට බටහිර විද්‍යාඥයකු වීමට බැරි බව අවබෝධ වූ අතර සරසවියෙන් ද නෙරපා දමනු ලැබුයෙමි. තම ආධිපත්‍යය මිස සාධාරණයක් ගැන නොසිතන අංශ ප්‍රධානීන්, පීඨාධිපතීන්, උපකුලපතීන් සිටින විශ්වවිද්‍යාලවල ද සිතට එකඟ ව කටයුතු කිරීමට නිදහසක් නැත. පරිපාලන සේවයේ එතරම්වත් නිදහසක් නොමැති බව ඉතා පැහැදිලි ය. එහි දේශපාලන ඇඟිලි ගැසීම්, බලපෑම් අධික ය.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා ඒකාබද්ධ විපක්‍ෂය ගැන සඳහන් කරමින් එහි කටයුතු වාර්තා කරන ජනමාධ්‍යවලට සියුම් තර්ජනයක් කර ඇත. අමාත්‍යංශ ලේකම්ගේ නිවේදනය ගැන තමාගේ සම්බන්ධයක් නැතැයි අමාත්‍යවරයා කියයි. නියෝජ්‍ය ඇමතිවරයා (කලක් ඔහු ජනමාධ්‍ය ලේකම් ව සිටියේ ය) ඒ සම්බන්ධයෙන් කුමක් කියන්නේ දැයි වාරාතා නො වෙයි. ඔහු කුමක් කියන්නේ දැයි දැනගැනීමට මට අවශ්‍යතාවක් ද නැත. මම ඔහු හොඳින් හඳුනමි. කෙසේ වෙතත් ලේකම්වරයා අදාළ ප්‍රකාශය කර ඇත්තේ ඔහූ විවාහක නම් ඇගේ කීමට නොවන බව නම් පැහැදිලි ය.
මා හඳුනන්නේ නියෝජ්‍ය ඇමතිවරයා පමණක් නො වේ. ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන් මෙන් ම ලේකම්වරුන් ද දැන හඳුනාගැනීමේ භාග්‍යය හෝ අභාග්‍ය හෝ මට ලැබී ඇත. එබැවින් ලේකම්වරයා මෙන් ම ඇමතිවරයා ද කියන දේ තේරුම් ගැනීමේ අපහසුවක් නැත. අනෙක් බොහෝ කරුණු මෙන් ම මේ ප්‍රශ්නය ද තාවකාලික ව යටපත්වනු ඇත. මෙහි ඇත්තේ ජනමාධ්‍ය නිදහස පිළිබඳ ප්‍රශ්නයකි. ආණ්ඩුව කුමක් කීවත් ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ විරුද්ධවාදී අදහස් මැඩලීම ය. තර්ජනයෙන් පමණක් තම අවශ්‍යතා ඉටු කර ගැනීමට නොහැකි වුවහොත් යථා කාලයේ දී ආණ්ඩුව ක්‍රියාවෙන් ද ජනමාධ්‍යවලට හා ජනමාධ්‍යවේදීන්ට පහරදීම් කරනු ඇත. ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම් ද බලාපොරොත්තු විය හැකි ය. එසේ නොමැතිව බටහිර ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කළ නො හැකි ය. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය යනු අපට පොත්පත්වල කියා දෙන්න නොවන බව අපි දනිමු. කාහටත් වඩා ඒ බව ඇමතිවරු දනිති!
ආණ්ඩුවේ අනුදැනුම ඇති ව අමාත්‍යාංශ ලේකම්වරයා කරන ලද තර්ජනය ගැන මම පුදුම නො වෙමි. එහෙත් මට ප්‍රශ්නයක් වෙයි. ලේකම්වරයා එහි දී කියා ඇත්තේ ඒකාබද්ධ විපක්‍ෂය දේශපාලන පක්‍ෂයක් නොවන බව ය. එය සැබෑ ය. එහෙත් ජනමාධ්‍ය වාර්තා කළ යුත්තේ දේශපාලන පක්‍ෂවල ක්‍රියාකාරකම් පිළිබඳ ව පමණක් ද? ජනමාධ්‍ය විසින් මා ලේකම් ධුරය දරණ චින්තන පර්ෂදයේ මාධ්‍ය සාකච්ඡාවක්වත් ප්‍රචාරය නොකෙරෙන නමුත් ජනමාධ්‍යවලට එවැනි ස්වේච්ඡා සංවිධානවල කටයුතු වාර්තා කිරීමට නො හැකි ද? ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල වැඩ කිඩවලට ජනමාධ්‍ය තම කාලය හෝ අවකාශය හෝ වෙන් කරයි. ජනමාධ්‍ය ලේකම්ට අනුව එයත් වැරදි ද? එකල මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රකාශවලට ජනමාධ්‍ය ඉඩ දුන්නේ උන්වහන්සේ දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ වූ නිසා ද?
ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ තර්ජනය බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට එකඟ නමුත් ඔහුගේ තර්කය ගැන අපට එකඟ වීමට නො හැකි ය. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂයට ද මෙය හොඳ පාඩමකි. ලේකම්වරයා කුමක් කීවත් අද මරා දැමුණු ශ්‍රී ල නි පක්‍ෂයෙන් වෙන් වූ වෙනම දේශපාලන සංවිධානයක අවශ්‍යතාව වෙයි. එය දේශපාලන පක්‍ෂයක් ලෙස ලියාපදිංචි කළත් නැතත් සංවිධානයක් ලෙස පිහිටුවීමට බාධාවක් නැත. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය වෙන ම කණ්ඩායමක් ලෙස තරග කෙළේ නම් ඔවුන්ට ඇතැම් විට ආණ්ඩු බලය ලබාගැනීමේ හැකියාව තිබිණි. අඩුම තරමෙන් නිල විපක්‍ෂය වීමටත් විපක්‍ෂ නායක පදවිය ලබාගැනීමටත් හැකිවීමට තිබිණි. ඒකාබද්ධ විපක්‍ෂය යනු මන්ත්‍රීවරුන් පිරිසකගේ සංසදයක් පමණකි. එහි රැස්වීම්වලට, රැළිවලට මහජනයා සහභාගි වන නමුත් ඔවුන්ට එහි සාමාජිකයන් විය නො හැකි ය. වෙන ම සංවිධානයක් පිහිටුවීමට අකමැති අය ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින බව පෙනෙයි.
කතානායක, එනම් අගමැති, ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවේ වෙන ම කණ්ඩායමක් ලෙස පිළිගන්නේ ද නැද්ද යන්න ජනමාධ්‍යවලට ප්‍රශ්නයක් නො වේ. එසේ නොපිළිගන්නා බව ද වාර්තා කිරීමට සිදුවන්නේ ජනමාධ්‍යවලට ය! ඒකාබද්ධ විපක්‍ෂය ජෙනීවා ගොස් ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංවිධානයකට කරන ලද පැමිණිල්ලට කුමක් සිදුවිණි ද? ජෙනීවා නගරයෙන් කතානායකට ඇමතුමක් ලැබිණි ද? ජනමාධ්‍ය ලේකම් කතානායකගෙන් විමසා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්නේ ද? ඒකාබද්ධ විපක්‍ෂයේ ඇත්තන් මේ ඊනියා ජාත්‍යන්තර සංවිධාන යුක්තිගරුක යැයි තහවුරු කිරීමට උත්සාහ ගැනීම පසෙක තබා මන්ත්‍රීවරුන්ට පමණක් සීමා නොවූ වෙන ම සංවිධානයක්, පර්ෂදයක්, සංසදයක් පිහිටුවීමට පියවර ගත යුතු ය.
මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් කියවිය හැකි ය.
(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)
නලින් ද සිල්වා
2016 අප්‍රේල් 29