බහුසංස්කෘතික බහුබූතය 3
කිසිම රටක වාසය කරන ජනතාව සංස්කෘතික වශයෙන් සමජාතීය නො වෙයි. අද ලංකාවේ සිංහල ජාතිය සමග දෙමළ, මුස්ලිම්, මැලේ, වැදි ආදී ජනවර්ග වාසය කරති. ඒ ඒ අයගේ සංස්කෘති වෙනස් වෙයි. එහෙත් මේ සියළු දෙනාට ම සංස්කෘතික මහා පොදු සාධකයක් වෙයි. මැලේ හා වැදි ජනතාව ක්‍රමයෙන් සිංහල බවට පත්වෙමින් සිටිති. අනෙක් අතට සිංහලයන් අතර මෙන් ම ඒ ඒ ජනවර්ග අතර ද සංස්කෘතික වෙනස්කම් වෙයි. විශේෂයෙන් ම ලංකාවේ දෙමළ ජනයා සංස්කෘතික වශයෙන් සමජාතීය නො වෙති. යාපනයේ (වවුනියාවෙන් උතුරට) දෙමළ, මඩකලපු දෙමළ, කඳුරට දෙමළ මෙන් ම කොළඹ දෙමළ ජනතාවක් ද වෙති. මේ අය අතර ඇති වෙනස්කම්, කුල භේද, සිංහල ජනතාව අතර ඇති වෙනස්කම්වලට වඩා අධික ය.
දෙමළ ජනයා අතර ඇති සංස්කෘතික වෙනස්කම් හේතුවෙන් දෙමළ ජනයාගේ බහුසංස්කෘති ගැන කතාකරන්නෝ නො වෙති. හුදු සංස්කෘතික වෙනස්කම් නිසා ම බහුසංස්කෘතික සමාජයක් ගැන කතාකරන බටහිර මතවාදයක්, සංකල්පයක් නොමැති බව පැහැදිලි ය. දෙමළ ජනයාගේ සංස්කෘතිවල මහා පොදු සාධකයක් මෙන් ම ඔවුන්ගේ විශේෂිත (අධිපතිවාදී) සංස්කෘතියක් වෙයි. මේ අධිපතිවාදී සංස්කෘතිය අනෙකක් නොව වෙල්ලාල සංස්කෘතිය ය. දෙමළ ජනයාගේ සංස්කෘතිවල මහා පොදු සාධකය හින්දු ආගමෙන් ගලා එයි. එමෙන් ම දෙමළ ජනයාට නැති සංඝයක් බටහිරයන් විසින් ඇතිකරනු ලැබ ඇත.
සිංහලයන්ගේ කුල ක්‍රමය උළුප්පා දක්වන වික්ටර් අයිවන් වැන්නෝ දෙමළ කුල භේද හා වෙනත් භේද ගැන කතා නොකිරීමෙන් දෙමළ සංඝයක් ගැන ඇතිකර තිබෙන ලෝක මතයට පොහොර දමති. ප්‍රභාකරන්ට දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස පෙනී සිටීමට හැකි වූයේත් අද සම්බන්ධන්ලාගේ දෙමළ ජාතික සංධානය දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස පෙනී සිටින්නේත් ඉංගිරිසින් විසින් ඇතිකෙරී ඇති මේ ලෝක මතය හේතුවෙනි.
යාපනයේ දෙමළ ජනයා අතර ඇති දැඩි කුල භේදය හා යාපන දෙමළ ජනයා හා මඩකලපු දෙමළ හා කඳුරට දෙමළ කොටස් අතර ඇති කුල හා වෙනත් භේද අප සාකච්ඡා කළ යුතු ය. ඒ අතර ලන්දේසීන් යාපනයේ වෙල්ලාල ආධිපත්‍යය ඇතිකිරීමේ දී සිංහල කුල ක්‍රමය හා බ්‍රාහ්මණ වර්ණ (කුල) භේදය සංකලනය කර ඇති ආකාරය ද අපේ අවධානයට ලක්විය යුතු ය. සිංහල කුල ක්‍රමය බමුණන්ගේ වර්ණ භේදය වැනි භේදයක් නො වී ය. සිංහල කුල ක්‍රමය පදනම් වූයේ නිෂ්පාදනය මත ය. ඒ ඒ නිෂ්පාදනවල නියුතු වූවෝ ඒ ඒ කුලවලට අයත්වූහ. එහෙත් නායක්කාර් රජවරුන් සමග බ්‍රාහ්මණ වර්ණ භේදය ද යම් ප්‍රමාණයකට සිංහල සමාජයට ඇතුල් වී ඇත. රදළයන් ඇති වීමත් ගොවිගම කුලය ඉහළ කුලයක් බවට පත්වීමත් එකල සිදු වී ඇති බව පෙනෙයි. ඉංගිරිසින් මෙය තවත් වර්ධනය කිරීමට උත්සාහ දරා ඇත. එහෙත් දැන් සිංහල සමාජය පැරණි කුල ක්‍රමයෙන් ඈත්වෙමින් සිටින බව පැහැදිලි ය. එසේ වුවත් යාපනයේ කුල භේදය හා යාපන හා වෙනත් දෙමළ අතර ඇති භේද එලෙස ම පවතියි. ආරුමුගම් නවලාර් මේ භේද තවත් වර්ධනය කෙළේ ය.
එසේ වුවත් හින්දු ආගම දෙමළ සමාජයට මහා පොදු සාධකයක් සපයයි. එහෙත් දෙමළ සමාජය දේශපාලන වශයෙන් මෙහෙයවනු ලබන්නේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය විසිනි. දෙමළ සමාජයෙහි දේශපාලන මතවාද යුදෙවු ක්‍රිස්තියානි වෙයි. එය පොන්නම්බලම් රාමනාදන්ගේ කාලයෙහි සිට දැකගත හැකි ය. ප්‍රභාකරන්ගේ දේශපාලනය මුළුමනින් ම යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ජනිත වූවකි. දෙමළ කතෝලික හා ක්‍රිස්තියානි නායක පූජකවරුන් එකී දේශපාලනයට මුළුමනින් ම සහාය දැක්වූ අතර බොහෝ සිංහල නායක පූජකවරු ද දෙමළ ජාතිවාදී දේශපාලනයට ආධාර කළහ.
දෙමළ සමාජයෙහි විවිධත්වයක් වුවත් හින්දු ආගම විසින් ඔවුහු බොහෝ දෙනා එක්කෙරෙති. එහෙත් බොහෝ දෙනා අමතක කරන කරුණක් නම් හින්දු ආගම කිතුවසින් හයවැනි සියවසේ පමණ උපත ලද බව ය. එයට මුල් වූ අය අතර අටවැනි සියවසේ කේරළයේ උපත ලද අධිශංකරාචාර්යතුමා (788-820) ද වෙයි. එතුමා නාගර්ජුනපාදයන්ගේ ශුන්‍යතාවාදය කණපිට හරවා අද්වෛත වේදාන්තය බිහි කෙළේ ය. පැරණි බ්‍රාහ්මණ ආගම් යනු හින්දු ආගම නො වේ. බ්‍රාහ්මණ ආගම්වල බිලි පූජා විය. එහෙත් බෞද්ධ හා ජෛන බලපෑම් හේතුකොටගෙන බ්‍රාහ්මණ ආගම්වලින් බිලි පූජා ක්‍රමයෙන් ඉවත්වන්නට විය. හින්දු ආගම යනු මේ සියල්ලෙහි ප්‍රතිඵලයකි. එහෙත් මුන්නේස්වරම් කෝවිලේ බිලි පූජාවලින් පැහැදිලිවන්නේ මෑතදී ඇති වූ හින්දු ආගමට තවමත් මුළුමනින් ම අහිංසාවාදී වීමට නොහැකි වී ඇති බව ය. සිදුහත් කුමරු හින්දුවරයකු ලෙස උපන්නේ යැයි සර්වපල්ලි රාධක්‍රිෂ්ණන් වැනි දාර්ශනිකයන් කීව ද එකල හින්දු ආගමක් නො වී ය.
කෙසේ වෙතත් අපට වැදගත්වන්නේ ලංකාවේ දෙමළ සමාජයේ විවිධ සංස්කෘති දැකිය හැකි මුත් එයට බහුසංස්කෘතික සමාජයක් යැයි කියන්නකු නැති බව ය. ඒ වෙනුවට අද දෙමළ සමාජයෙහි මහාපොදු සංස්කෘතියක් වූ හින්දු සංස්කෘතියක් ද, අධිපතිවාදී වෙල්ලාල සංස්කෘතියක් ද, යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය විසින් මෙහෙයවෙන දේශපාලන සංඝයක් ද ඇති කෙරී ඇත. (මතු සම්බන්ධයි)
මේ ලිපිය මුහුණු පොතෙන් ද කියවිය හැකි ය.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/
නලින් ද සිල්වා
2016 අප්‍රේල් 05