පනස්හයට හැටයි - –ඉතිහාසයෙන් බිඳක්
පනස්හයේ ආණ්ඩුව පිහිටුවා මේ මාසයට අවුරුදු හැටක් පිරෙයි. මේ මාසය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ද ජන්ම ශත සංවත්සර මාසයයි. පනස්හයෙන් බිහි වූ විශිෂ්ටතම අගමැතිනිය බණ්ඩාරනායක මැතිණිය විය. ඇය ලෝකයේ ප්‍රථම අගමැතිනිය විය. පනස්හය නොමැති ව අපට අගමැතිණියක් බිහිකර ගැනීමට ඉඩක් තිබිණි යැයි මම නො සිතමි. පනස්හය යනු කුමක් ද?
පනස්හයේ දරුවන් වූ අපට ඒ ගැන කතා කිරීමට කොතෙකුත් දේ ඇත. 1989 සැප්තැම්බරයේ පළමු බණ්ඩාරනායක සමරු දේශනය පැවැත්වීමේ භාග්‍යය උදාවූයේ මට ය. මගේ මාතෘකාව වූයේ පනස්හයේ දරුවෝ යන්න ය. ඒ සඳහා මට ආරාධනා කෙළේ එකල බණ්ඩාරනායක සමරු කමිටුවේ සභාපති වූ තවත් පනස්හයේ දරුවෙකි. ඒ මහින්ද රාජපක්‍ෂ ය. ඔහු පනස්හය යම් පමණකින් ඉදිරියට ගෙන ගියේ ය. ඔහු දෙමළ ජාතිවාදයේ ත්‍රස්තවාදය පැරදවීමට දේශපාලන නායකත්වය දුන්නේ ය. රටේ රාජ්‍ය නායකයා වූ පළමු පනස්හයේ දරුවා ඔහු ය. චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මහතාගේ හා මැතිණියගේ දියණියක වුව ද පනස්හයේ දරුවකු නොවූවා ය.
පනස්හය යනු සංස්කෘතික මෙන් ම දේශපාලන සටනක් විය. එය සිංහල බෞද්ධ සංස්කෘතිය හා ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය අතර අරගලයක් විය. මේ අරගලය 1796 දී ඇරඹුණු එකක් විය. ඒ අවුරුදු 220කට පෙර ය. මේ සටන තවම අවසන් වී නැත. පනස්හයේ දී මෙන් ම 2009 මැයි මස නන්දිකඩාල්හි දී සිංහල බෞද්ධ සංස්කෘතිය හා දේශපාලනය තාවකාලික ජය ලැබී ය. මාර්ටින් වික්‍රමසිංහ මහතා කුමක් කීවත් තවමත් ඇංග්ලිකන් ක්‍රිස්තියානි බමුණු කුලය බිඳ වැටී නැත. මේ සියළු ලිපි ලියැවෙන්නේ යම් දිනක බමුණු කුලය බිඳ වැට්ටීමට ය.
අද ඇංග්ලිකන් සංස්කෘතියේ මෙරට නියෝජිතයා වූ රනිල් වික්‍රමසිංහ නැවතත් බලයට පත් වී ඇත. සිංහල බෞද්ධ හා ඇංග්ලිකන් සංස්කෘතීන් හා දේශපාලන අතර අරගලය උන්චිල්ලාවක් මෙන් වරක් ඒ අතටත් වරක් මේ අතටත් පැද්දෙමින් ඇත. මෙවර රනිල්ට බලයට ඒමට නමටවත් සිංහල බෞද්ධ වූ මෛත්‍රිපාල කෙනකු අවශ්‍ය විය. සිංහල බෞද්ධ සංස්කෘතියේ ශක්තිය ඉන් පෙන්නුම් කෙරෙයි. එබැවින් අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන රනිල් බටහිර හා ඉන්දියාවේ ආධාරයෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය නැසීමට සූදානම් වෙයි.
ෆ්‍රෙඩ්රික් නෝත් 1796 දී 1600 දෙසැම්බර 31 නීතිගත වූ ඉංගිරිසින්ගේ නැගෙනහිර ඉන්දීය සමාගමේ පාලකයා ලෙස කොළඹට පැමිණියේ ය. ඔහුගේ ප්‍රධාන කාර්යාලය මදුරාසියේ විය. 1802 දී මුහුදුබඩ පෙදෙස්වල පාලනය ඉංගිරිසි රාජ්‍යය යටතට පවරා ගනු ලැබුයේ නෝත් එහි ආණ්ඩුකාරයා ලෙස කොළඹට පත්කරමිනි. නෝත් මෙරටට පැමිණීමට පෙර මුහුදුබඩ පෙදෙස් පාලනය කෙරුණේ රෙපරමාදු ලන්දේසීන් විසිනි. එවකට මෙරට ඊනියා ප්‍රභූ පවුල් බොහොමයක ආගම රෙපරමාදු ක්‍රිස්තියානිය විය. සිංහල මෙන් ම දෙමළ ජනයා අතර ද ඊනියා ප්‍රභූවරු රෙපරමාදු ක්‍රිස්තියානි භක්තිකයෝ වූහ. ඉංගිරිසින් පැමිණීමෙන් පසු ඔවුහු ආගම මාරුකර ඇංග්ලිකන් ක්‍රිස්තියානි බවට පත්වූහ. සේරම්ලා ද, සේනානායකලා ද කොතලාවලලා ද ජයවර්ධනලා ද බණ්ඩාරනායකලා ද කුමාරස්වාමිලා ද පොන්නම්බලම්ලා ද මුල දී ඇංග්ලිකන් ක්‍රිස්තියානි වුහ.
මේ අයගෙන් ඇතැම්හු මැලේ ලන්දේසි සම්භවයක් සහිත වූහ. ඇතැම්හු දකුණු ඉන්දියාව යැයි අද හැඳින්වෙන ප්‍රදේශයෙන් පැමිණියෝ වූහ. ඔවුන්ට වූ පොදු සාධකය නම් ඉංගිරිසින්ගේ කීකරු සේවකයන් වීම ය. ඇංග්ලිකන් ක්‍රිස්තියානිය වැළඳ ගැනීමෙන් ඔවුහු තම පක්‍ෂපාතීත්වය තහවුරු කළහ. ඔවුන්ට මහමුදලි පදවියේ සිට පහළට තනතුරු ද ඉඩ කඩම් ද වෙනත් වරප්‍රසාද ද හිමි විය. 1870 දී පමණ සියනෑ කෝරළයේ මුහන්දිරම් තනතුරකට පත් වූ අදක්‍ෂ අයකුගේ රාජකාරිය වූයේ ඉංගිරිසි ආණ්ඩුවේ ඒජන්තවරයාගේ බිරියට හොඳ මස් සැපයීම ඇතුළු ගෙදර දොරේ වැඩ ය. ජයවර්ධනලාගේ මුත්තකු වූ තෝම්බු මුදියන්සේ ද රාමනාදන්ගේ මුත්තකු වූ තැනැත්තකු ද සිංහලේ රජු අල්ලා ගැනීමේ කටයුතුවල දී ඉංගිරිසින්ට සහාය වී ඇත. සම්භවය කුමක් වුවත් ඔවුහු එක්කෝ සිංහල නමින් නැත්නම් දෙමළ නමින් ඉංගිරිසින්ට තමන් හඳුන්වා දුන්නා පමණක් නොව ඉංගිරිසින්ගේ (ලන්දේසීන්ගේ ද) කුලවාදයෙන් ඉහළට ගිය ගොයිගම හෝ වෙල්ලාල හෝ කුලවලට අයත් අය ලෙස ද පෙනී සිටියහ. මොවුන්ගේ අධ්‍යාපය සඳහා රාජකීය, ශාන්ත තෝමස්, ත්‍රිත්ව විද්‍යාල ඇති කෙරිණි. පසුව සඳහන් පාසල් දෙක ඇංග්ලිකන් බිෂොප්වරුන්ගේ පාලනය යටතේ අදත් පවතින අතර පළමු පාසල ඇංග්ලිකන් ආණ්ඩුවේ පාසල ද, ඇංග්ලිකන් පල්ලියට වැඩිම බිෂොප්වරු සංඛ්‍යාවක් බිහිකළ පාසල ද විය.
යමකුගේ සම්භවය කුමක් වුවත් සිංහල සංස්කෘතියට අවශෝෂණය වීම ප්‍රශ්නයක් නො වේ. මුස්ලිමුන් මෙරටට පැමිණීමට පෙර අවුරුදු දහස් ගණනක් තිස්සේ මෙරට සිදු වී ඇත්තේ ද එයයි. සිංහල සංස්කෘතියට අවශෝෂණය වීමෙන් පසුව ඔවුහු සිංහලයෝ වූහ. එහෙත් ලන්දේසීන් යටතේ ද පසුව ඉතා දැඩිව ඉංගිරිසින් යටතේ ද සිදු වී ඇත්තේ අනෙකකි. සිංහල බෞද්ධයන් ලෙස සිටි ඇතැමුන් ඉංගිරිසින් යටතේ තාන්න මාන්න, ඉඩකඩම්, වරප්‍රසාද සඳහා ඇංග්ලිකන් ආගම (ලන්දේසීන් යටතේ රෙපරමාදු ක්‍රිස්තියානි ආගම) වැළඳ ගෙන ඇංග්ලිකන් සංස්කෘතියට අවශෝෂණය වූහ. තවත් අය සම්භවය කුමක් වුවත් නමට සිංහල වී ඇංග්ලිකන් සංස්කෘතියට අවශෝෂණය වූහ. කෝල්බෘක් කැමරන් රාජකාරි ක්‍රමය අහෝසි කර (ඊනියා ප්‍රතිසංස්කරණ) ඉංගිරිසි වෙළෙඳ ආර්ථිකයක් ඇතිකිරීමෙන් පසු එ මගින් ඊනියා ප්‍රභූන් බවට පත්වූ සිංහල ක්‍රිස්තියානිහු ද වූූහ. මේ සියල්ලන්ගේ ම සංස්කෘතිය ඇංග්ලිකන් ක්‍රිස්තියානි විය. ඔවුහු නමට සිංහලයෝ වූහ. ඔවුන්ගේ නිවෙස්වල භාෂාව ඉංගිරිසි විය. සිංහල කුස්සියේ බස විය. පසුව අධ්‍යාපනය මගින් ද ඇංග්ලිකන් සංස්කෘතිය සිංහල බෞද්ධයන් අතර ද ප්‍රචලිත කෙරිණි. ඉහත කී පාසල්, වෙස්ලියානු හා මෙතෝදිස්ත වැනි ක්‍රිස්තියානි පාසල්වලින් හා කතෝලික පාසල්වලින් පමණක් නොව ඊනියා බෞද්ධ පාසල්වලින් ද මධ්‍ය මහා විදුහල්වලින් ද ප්‍රචලිත වන්නේ ඇංග්ලිකන් සංස්කෘතිය ය. එසේ තිබිය දී පනස්හයක් ඇතිවූයේ කෙසේ ද? එය මුළුමනින් ම නිල අධ්‍යාපනයෙන් බාහිර ව එයට අභියෝගාත්මක ව සිදු වූවක් විය. පංච මහා වාද එහි ආරම්භය විය.
මේ ලිපිය මුහුණු පොතෙන් ද කියවිය හැකි ය.
නලින් ද සිල්වා
2016 අප්‍රේල් 22