Main Logo

Saturday 16 April 2016

බහුසංස්කෘතික බහුබූතය 8

බහුසංස්කෘතික බහුබූතය 8

මා කලක් සිතා සිටියේ සෑම රටක ම පාහේ සංස්කෘති රාශියක් ඇති බව ය. මගේ නිගමනය වූයේ බටහිර රටවල් ඇතුළු බොහෝ රටවල ඒ සංස්කෘති සමාන නොවන බවත් එහි විශේෂිත සංස්කෘතීන් හෝ බොහෝ විට අධිපති සංස්කෘතීන් තිබෙන බවත් ය. මම එය ලිහිල් (දුර්වල) අර්ථයෙන් ඇති බහුසංස්කෘතියක් ලෙස හෑඳින්වීමි. ඒ අතර බටහිරයන් අපට මෙරට තිබෙන සංස්කෘතීන් සමාන ලෙස සැලකීමට විධාන (එය දැනුම් ආධිපත්‍යය යොදා ගෙන කෙරෙණ විධානයකි) කරන බව මම නිරීක්‍ෂණය කෙළෙමි. එවැන්නක්් දැඩි (ශක්තිමත්) අර්ථයකින් කෙරෙන බහු සංස්කෘතියක් ලෙස හැඳින්වීමි.


එහෙත් බටහිර රටවල ලිහිල් අර්ථයකින්වත් බහුසංස්කෘතියක්වත් නැති බව පෙනී යයි. කලින් ලිපිවල සඳහන් කෙරී ඇති ආකාරයට ඒ රටවල වාසය කරන ඇතැම් සිංහල බෞද්ධ මානව හිතවාදීන් යැයි කියාගන්නා නිවටයන් එහි පවතින බහුසංස්කෘතියක් ගැන කීවත් එහි සිංහල බෞද්ධ සංස්කෘතියක් ඇති බවක් නො පෙනෙයි. හින්දු සංස්කෘතිය ගැන කිව හැක්කේ ද එපමණ ය. ලන්ඩනයේ වෙම්බ්ලි ප්‍රදේශයෙහි විශාල හින්දු කෝවිලක් ඇත. එහෙත් වෙම්බ්ලි ප්‍රදේශය ගැන ඉංගිරිසින් දන්නේ එහි ඇති පාපන්දු ක්‍රීඩාංගනය හේතුවෙන් මිස හින්දු කෝවිල නිසා නො වේ. හින්දු කෝවිල ඉංගිරිසින්ගේ එදිනෙදා ජීවිතයට කිසිදු බලපෑමක් නො කරයි. හින්දු කෝවිලට වින්ඩ්සර් (රජ) පවුලේ අය ඉඳහිට ගිය ද බොහෝ ඉංගිරිසින්ට කෝවිල ගැන මනාපයක් ඇතැයි නො සිතමි. පන්සල් නම් ඉංගිරිසින්ට පෙනෙන්නටවත් ඇතැයි නො සිතමි.

බටහිර රටවල ඉන්දීය ආපනශාලා ඇත. ලන්ඩන් මෙල්බර්න් ආදී නගරවල සිංහල කඩ ද ඇත. එහෙත් ඒවා බොහෝ විට ඉන්දීයයන්ගේ හා සිංහලයන්ගේ මිස බටහිර සුද්දන්ගේ අනුග්‍රහය සඳහා නො වේ. සුද්දන් කිහිප දෙනකු ඉන්දියානු හා සිංහල කෑම අනුභව නොකරනවා නො වේ. ඒ රටවල චීන ආපන ශාලා ගැන ද කිව හැක්කේ එපමණ ය. එහෙත් සිංහලයන් වටලප්පන්වලට හෝ තෝසේවලට හෝ වඩේවලට හෝ චීන කෑමවලට හෝ හුරු වී ඇති ආකාරයට බටහිර රටවල සුද්දන් ඉන්දීය හෝ සිංහල හෝ චීන (ඇතැම් විට නූඩ්ල්ස් හැරෙන්නට) හෝ කෑමවලට හුරු වී නැත. සුද්දන්ට අනෙක් සංස්කෘතීන් කුහුල දනවල සිරිත් විරිත් වලින් පමණක් සමන්විත වෙයි.

ලංකාව වැනි රටවලින් බටහිර රටවලට යන අයට සිදුවන්නේ කුමක් ද? ඔවුන්ට යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ යම් ප්‍රභේදයකට හුරුවීමට සිදුවෙයි. ඔවුන්ගේ දරුවෝ බොහෝ විට දෙමව්පියන්ගේ මවු භාෂාවලට හුරු නො වෙති. ඔබාමා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති වූයේ ඔහුගේ වර්ණය කළු වුවත් ඔහුගේ පියා කෙන්යාවේ උපත ලබා ඇති මුත්  ඔහු මුළුමනින් ම යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට ඇතුල් වී ඇති ක්‍රිස්තියානි භක්තිමතකු වූ බැවිනි. මෙහි වරදක් ඇතැයි මම නො කියමි. එහෙත් ලංකාවේ ජනාධිපති ධුරයට දෙමළ ජනවාර්ගියකුට පත්වීමට නොහැකි වීම ගැන මැසිවිලි කියන්නන් ඒ දෙමළ ජනවාර්ගියකන් බෞද්ධ වීම පසෙකින් තබා මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියේ විශේෂත්වය පිළිගැනීමට කැමති ද යන්න කතා නොකිරීම ගැන විරුද්ධ වෙමි.

බටහිර රටවල පමණක් නොව ලෝකයේ ම අද අධිපතිවාදී සංස්කෘතිය බවට පත්වී ඇත්තේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ ඇංග්ලො සැක්සන් ප්‍රභේදය ය. අපේ අධ්‍යාපනය මුළුමනින් ම මෙන් ඇංග්ලො සැක්සන් ප්‍රභේදයට සාපේක්‍ෂව ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට පදනම් ව සකස් වී ඇත. පසුගිය දා එංගලන්තයේ හිටපු ජනමාධ්‍යවේදියකු ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අද (ආසියාතික රටක් නොව) ප්‍රංශය ද ඓතිහාසික රටක් පමණක් බව ය. ඔහුට අනුව වෝල්ටෙයාර්, දෙකාර්තේ වැන්නන් අයත්වන්නේ ඉතිහාසයට ය. අද ප්‍රංශයෙන් නව අදහස් එක් නොකෙරෙන්නේ යැයි ඔහු පවසා ඇත. ඔහු ඉතා පැහැදිලිව කියා තිබුණේ අද ප්‍රංශ භාෂාවට ලෝකයේ තැනක් නැති බව ය. ඔහුට අනුව අද ලෝක භාෂාව ඉංගිරිසි ය. විද්‍යාව හා තාක්‍ෂණය ලියැවෙන්නේ ඉංගිරිසියෙනි. ඔහු කියන්නේ ප්‍රංශ සංස්කෘතික ප්‍රභේදය පරදවා ඇංග්ලො සැක්සන් සංස්කෘතික ප්‍රභේදය ජයගෙන ඇති බව ය. ඔහුට ඇතැම් ඉංගිරිසින්්ගෙන් යම් විරෝධයක් එල්ල වූ බව ඉංගිරිසි ජනමාධ්‍යයෙන් ම ප්‍රචාරය කෙරිණි. එහෙත් ඔහු කී දේ ඉංගිරිසින්් කී දෙනෙක් අනුමත කරන්නට ඇත් ද?

අද ලෝකයේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට අභියෝගයක් වී ඇත්තේත් බටහිරයන්ට පෙනෙන්නේත් මුස්ලිම් සංස්කෘතිය පමණ ය. චීනය ආර්ථික වශයෙන් බලවත් වී ඇතත් (රනිල්ට බටහිරින් පිහිටක් නැතිව අවසානයේ දී චී ණය ලබාගැනීමට චීනයට යෑමට සිදු විය) සංස්කෘතික වශයෙන් බටහිරට තර්ජනයක් නො වේ. බටහිර රටවල වාසය කරන චීන ජාතිකයෝ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට හැඩ ගැසෙති. මුස්ලිම් සංස්කෘතිය විසින් එල්ල කෙරෙන ත්‍රස්තවාදය යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට අවසානයේ දී ප්‍රශ්නයක් නොවන්නට ද හැකි ය. මෙය අවසානයේ දී ෂියා හා සුන්නි සංස්කෘති ප්‍රභේද අතර වූ අරගලයක් විය හැකි ය. මේ අරගලය පිටුපස බටහිරයන් සිටින බව අමතක නොකළ යුතු ය.

බටහිරත් සමග සංසන්දනය කරන විට ලංකාවේ කෙතරම් සහනශීලීත්වයක් ඇත් ද යන්න වටහාගත හැකි ය. සිංහලයෝ අනෙක් සංස්කෘතීන් ඉවසනවා පමණක් නොව ඒ සංස්කෘතීන්වලට ආධාර කරති. මුස්ලිම්වරුන්ට ලංකාවේ ඇති සහන ඔවුන්ට මුස්ලිම් නොවන වෙනත් කිසිම රටක නැත.  මුස්ලිමුන්ට, කතෝලිකයන්ට හා හින්දූන්ට සිංහල බෞද්ධයන් සපයා ඇති ආරක්‍ෂාව වෙනත් රටක දැකිය හැකි නො වේ. එහෙත් මෙරට සිංහල සංස්කෘතියට ඇති සුවිශේෂත්වය ලබා නොදීමට ඒ සංස්කෘතීන්හි නායකයෝ බටහිරයන්ගේ ආධිපත්‍යය යටතේ එක්වෙති.

නලින් ද සිල්වා

2016 අප්‍රේල් 16

මේ ලිපිය මුහුණු පොතෙන් ද කියවිය හැකි ය.