Main Logo

Monday 11 April 2016

බහුසංස්කෘතික බහුබූතය 7

බහුසංස්කෘතික බහුබූතය 7

අප රටේ සිංහල බෞද්ධ උගතුන් යැයි කියන අයගෙන් ඉතා විශාල පිරිසක් බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට යටවූවෝ වෙති. මට විශ්වවිද්‍යාලයේ දී මේ සිංහල බෞද්ධ උගතුන්ගෙන් කිසිවක් ඉගෙනීමට නොමැති විය. අද ඊනියා බහුසංස්කෘතික ලෝකයක් ගැන කතාකරන බොහෝ දෙනා දැනුමේ දී බහුසංස්කෘතියක් නැති බව නො දනිති. අද අධිපතිවාදී දැනුම බවට පත් වී ඇත්තේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වී සකස් වී ඇති දැනුම ය. උදාහරණයක් වශයෙන් බටහිර රටවල හෝමියෝපති, ආයුර්වේද ආදී වෙදකම් ද ඇති නමුත්, ඇතැම් බටහිරයන් ද ඒ වෙදකම්වල පිහිට ලබන නමුත්, ඇලොපති වෙදකමට ඇති රාජ්‍ය පිළිගැනීම ඒ අනෙක් වෙදකම්වලට නැත.
 

ලංකාවේ තත්ත්වය කුමක් ද? මෙරට බිහිවූ වෙදකම හෙවත් සිංහල වෙදකමට කිසිම සැලකිල්ලක් නො ලැබෙයි. රාජ්‍ය පිළිගැනීම ඇත්තේ බටහිර ඇලොපති වෙදකමට ය. අනෙක් වෙදකම් ජනතාව අතර පැවතෙන නමුත්, රජයේ ඊනියා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයක් ඇති නමුත්, ඒවාට ලැබෙන දේශපාලනික හෝ සමාජයීය හෝ පිළිගැනීමක් නැත. ඉනුදු සිංහල වෙදකම ඇත්තේ ඉතාමත් පහත් අඩියක ය. ආයුර්වේද වෛද්‍යවරයාට බටහිර වෛද්‍යවරයාට ඇති පිළිගැනීම නැත. ආයුර්වේද වෛද්‍යවරුන් තම ඉන්දීය දැනුමෙන් මත්වී දෝ සිංහල වෙදකම පිළිගන්නේ නැත. සිංහල වෙදමහතාට ලැබෙන්නේ මදිපුංචිකම පමණ ය. මෙහි ඇති බහුසංස්කෘතිය කුමක් ද? වෙදකම ද අවසාන වශයෙන් ගත්කල සංස්කෘතිකාංගයකි. දැනුම සංස්කෘතියේ කොටසකි.

මෙරට ඉතා දක්‍ෂ බටහිර වෛද්‍යවරු සිටිති. එහෙත් ඔවුන් අතින් බටහිර ඇලොපති වෛද්‍යවිද්‍යාවට එකතු වී ඇති දැනුම කුමක් ද? මෙරට බටහිර විද්‍යාඥයන් ගැන ද ඇසිය හැක්කේ ඒ ප්‍රශ්නයම ය. ඔවුන්ට ආචාර්ය උපාධි ඇත. ඔවුහු රතු ලෝගු හෝ වෙනත් වර්ණ සහිත වූ ලෝගු හෝ ඇඳගෙන විවිධ උත්සවවල දී පෙරහැරවල යති. ඔවුහු අර සැසි වාරය, අහවල් වැඩමුළුව, පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත්කිරීම් ආදී රුස්විම් (උත්සව) පවත්වති. මේ උත්සවවල දී ඉදිරිපත් කෙරෙන නව සංකල්පයක් නැත. එහි දී ඔවුහු බටහිර විද්‍යාවේ පරිධියේ කළ යම්කිසි ඊනියා පර්යේෂණයක් ගැන වාර්තා කරති. එහෙත් ඒ උත්සවවල සියල්ල කෙරෙන්නේ බටහිර සංස්කෘතික ආකෘතියක ය.  එහි ඇති එකම සිංහල සංස්කෘතික කටයුත්ත බෙර වාදන හා නැටුම් සහිත ව නිලධාරීන් උත්සව ශාලාවට සම්ප්‍රාප්තවීමත් පොල්තෙල් පහන දැල්වීමත් ය. ඒ බහුසංස්කෘතිය යි!   

අප ඒ ගැන සැලකිලිමත් නොවුවත් මෙරට පවතින බහුසංස්කෘතිය ද එපරිදි ය. මෙරට ද අධිපතිවාදී සංස්කෘතිය යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය වෙයි. ඊනියා උගතුන්ගේ සංස්කෘතිය එය වෙයි. ඔවුහු ඒ මත සිංහල බෞද්ධ සංස්කෘතිය ආලේප කරති. මෙරට බෞද්ධ යැයි කියන පාසල්වල ඉගැන්වෙන දැනුම ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් ව යුදෙවු ක්‍රිස්තිියානි සංස්කෘතියට සාපේක්‍ෂව සකස් කෙරුණකි. මෙරට පාසල්වල බුද්ධාගම ඉගැන්වෙන්නේ ද යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි විෂයයක් ලෙස ය. විශ්වවිද්‍යාලවල තත්ත්වය ගැන කීමෙන් වැඩක් නැත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එක් ගොඩනැගිල්ලක පාරට පෙනෙන ලෙස බෞද්ධ කොඩිය පින්තාරු කර ඇත. එහි ඇති බෞද්ධකම එපමණ ය. බෞද්ධකම ඇත්තේ පිටත බිත්තියේ පමණ ය. විද්‍යොදය විද්‍යාලංකාර පිරිවෙන් දෙක විශ්වවිද්‍යාල කිරීම මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට එල්ල කරන ලද පහරකි. ගම්පහ ආයුර්වේද ආයතනය විශ්වවිද්‍යාලයේ ආයතනයක් බවට පත්කිරීමෙන් ඉන්දීය ආයුර්වේදය ද බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට යට කෙරී ඇත. 

අපි පසුව අප රට ගැන විස්තරාත්මක ව වෙනත් මාතෘකාවක් යටතේ සාකච්ඡා කරමු. එහෙත් බහුසංස්කෘතියක් ගැන කතාකරන පඬියන්ට ඉක්මණින් ම කිවයුතු වැදගත් කරුණක් වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතිය තරම් සහනශීලී සංස්කෘතියක් ලෝකයේ තවත් ඇත්දැයි නො දනිමි. බටහිර රටක බෞද්ධ පන්සලක් ඇරඹීම පවා කෙතරම් අසීරු ද යන්න බටහිර වෙසෙන සිංහල බෞද්ධයෝ දනිති. ලංකාවේ ඇති මුස්ලිම් පල්ලි, හින්දු කෝවිල්, ක්‍රිස්තියානි/කතෝලික පල්ලි පිහිටුවීමේ දී කිසිම අවහිරකමක් සිදුවිණි ද? එහෙත් අද යාපනයේ හා උතුරු පළාතේ තත්ත්වය සම්පුර්ණයෙන් ම වෙනස් ය. නාගදීපයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ උතුරු පළාත් සභාවට ප්‍රශ්නයක් වී ඇතැයි වාර්තා වෙයි. ප්‍රතිමා වහන්සේ යාපනයේ සංස්කෘතික අන්‍යතාවට හානියක් යැයි ද කියැවෙයි. බෝගස්වැව ප්‍රදේශය වවුනියා දිස්ත්‍රික්කයෙන් වෙන් කර උතුරුමැද පළාතට එක්කෙරීමට යන බව වාර්තා වෙයි. ඒ සත්‍ය නම් එයින් කියැවෙන්නේ දෙමළ ජාතිවාදීන් උතුරු පළාතේ බහුසංස්කෘතියකට ඉඩක් නොතබන බව ය. යාපනයෙන් පන්නන ලද සිංහලයන් තවමත් එහි පදිංචි කිරීමට ආණ්ඩුව සමත් වී නැත. උතුරු පළාත දෙමළ සංස්කෘතිය පමණක් ඇති ප්‍රදේශයක් බවට පත්කිරීම දෙමළ ජාතිවාදීන්ගේ අභිප්‍රාය වී ඇති බව පෙනෙයි. (මතු සම්බන්ධයි)