Main Logo

Sunday 17 April 2016

චීනයෙන් චී ණය ලබාගත් රනිල්

 චීනයෙන්  චී ණය ලබාගත් රනිල්

රනිල් වික්‍රමසිංහ තරම් සිංහල බෞද්ධ විරෝධියකු මෙරට අගමැති තනතුරට හෝ ජනාධිපති තනතුරට හෝ පත්කෙරී නැත. බටහිර හා ඉන්දීය ගැත්තකු වූ ඔහු අගමැති තනතුරට පත්කරනු ලැබුයේ එංගලන්තය හා ඉන්දියාව විසිනි. රනිල්ට මහජන ඡන්දයෙන් ජනාධිපතිකම තබා බියගම ආසනයවත් දිනාගැනීමට නො හැකි ය. ඔහු බටහිර කොළඹට පැනගත්තේ එබැවිනි. බටහිරයන්ගේ හා ඉන්දියාවේ උපක්‍රමය වූයේ මෛත්‍රිපාල (හෝ නිමල් සිරිපාල හෝ) ලවා ශ්‍රී ල නි පක්‍ෂය මරවා ඔහු නාමික ජනාධිපතිකර බලය රනිල්ට ලබා දීම ය. 2005 දී පෘතුගීසි ආක්‍රමණයේ පන්සියවැනි සංවත්සරය සැමරීමට රනිල් බලා සිටියේ ය. එහෙත් රටේත් ජාතියේත් වාසනාවට එයට පෙර ඔහුට අගමැතිකම නැතිවිණි. රාජපක්‍ෂ රෙජිමය පැරදවීම යන්න රනිල්ට බටහිරයන් උගන්වා තිබූ සටන් පාඨය විය. 


එහෙත් මේ සටන් පාඨය පිටුපස තවත් දේ විය. ඊනියා රාජපක්‍ෂ රෙජිමය පරාජය කිරීමට බටහිරයන් හා ඉන්දියාව තීරණය කර තිබුණේ ප්‍රධාන වශයෙන් ම මහින්ද ඔවුන්ට අවනත නොවී දෙමළ ජාතිවාදයේ තුන්වැනි යුගයේ ඔවුන්ගේ ආධාරයෙන් ඇතිකළ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම හා චීනය සමග සම්බන්ධකම් ඇතිකර ගැනීම ය. ඒ බව කෙලින් ම නොකියා ඔවුහු ඊනියා රාජපක්‍ෂ රෙජිමයේ හොරකම්, භීෂණ හා මර්දනය ගැන කතා කළහ. වරාය නගරයෙන් ඇතිවන ඊනියා පරිසර ප්‍රශ්න ගැන කතා කළහ. මෛත්‍රිපාල, චම්පක හා අනුර කුමාර එහි දී යොදා ගනු ලැබුණෝ ය. ඔවුන්ට මහින්ද සමග පෞද්ගලික ප්‍රශ්න හා මහින්ද පාලනයේ සිටියහොත් සාක්‍ෂාත් කරගත නොහැකි අනාගත ජනාධිපති සිහින තිබිණි. ඒ සිහිනය නමට වුවත් සැබෑ වූයේ මෛත්‍රිපාලට පමණ ය. 

බටහිරයන්ගේ හා ඉන්දියාවේ සැලැස්මට සංධානය ද හසුවිය. ඔවුහු ජාතිකත්වය අමතක කළහ. සිංහල, විශේෂයෙන් ම සිංහල බෞද්ධ ඡන්දදායකයනට ඇමතීමට අප කියද්දී සංධානයේ සී අයි ඒ, රෝ ආදී විවිධ ඒජන්තයෝ, උපදේශකයෝ දෙමළ හා මුස්ලිම් ඡන්ද ලබාගැනීමට මහන්සි වූහ. එහෙත් ඒ වන විට චම්පකගේ ආධාරයෙන් බොදු බල සේනා මුස්ලිම් ඡන්ද නැතිකර තිබිණි. කෙසේ වෙතත් හකීම් හා බදියුද්දීන් මගින් මුස්ලිම් ඡන්ද එ ජා පෙරමුණට ලබාගැනීමට සැලසුම් කෙරී තිබිණි. ඒ අතර මුහුණු පොත මගින් ඊනියා හොරකම් භීෂණ හා මර්දන කතා මගින් තරුණ ඡන්ද ලබා දීමේ වැඩ පිළිවෙළක් ද විය. ඒ සියල්ල මැද සිංහල බෞද්ධයන්ගෙන් 60%කට වඩා මහින්දට ඡන්දය දුන්හ. 

මහින්දට ඡන්ද ලක්‍ෂ පනස්අටක් ලැබෙද්දී සියළු මගඩි මැද මෛත්‍රිපාලට ලැබුණේ ඡන්ද ලක්‍ෂ හැටදෙකක් පමණකි. අද රනිල් ක්‍රියා කරන්නේ ජනතාව සම්පුර්ණයෙන් ම මහින්ද ප්‍රතික්‍ෂෙප කර ඇති බවක් අඟවමිනි. සියළු මගඩි හා සංධානයේ විවිධ ඒජන්තයන්ගේ හා උපදේශකයන්ගේ වැරදි උපදෙස් මැද සිංහල බෞද්ධයන් මහින්දට 60%කට වැඩි ඡන්ද ලබාදීම කිසිසේත් ම අවතක්සේරු කළ යුතු නො වේ. අද ඒ ප්‍රතිශතය 60%ට වඩා බෙහෙවින් වැඩි ය. මහින්ද පැරදී මාස දෙකක් පමණ ගත වනතුරු ඔහුට සංධානයේ ඇතැම් බලවතුන් දුරකතනයෙන්වත් සම්බන්ධකර ගැනීමට නොහැකි වීමත් පසුව මහා මැතිවරණයේ දී අප වෙන ම සංධානයකින් (කණ්ඩායමකින්) තරග කිරීමට කියද්දී මෛත්‍රිපාලගේ නායකත්වයෙන් ඔහු විශ්වාසකර තරග කිරීමට ඔවුන් මහින්දට උපදෙස්දීමත් අපට අමතක නො වේ. සංධානයේ තවමත් බටහිර හා ඉන්දීය ඒජන්තයෝ වෙති. පඬියන් වූ ඔවුහු සිංහල විරෝධීහු වෙති. අප ඇැත්ත කියන විට ඔවුහු අපට අන්තවාදීන් යැයි කියති. මහින්ද ඔවුන්ගෙන් ප්‍රවේසම් විය යුතු ය.

කෙසේවෙතත් රනිල්ගේ (මෙහි මෛත්‍රිපාලගේ පාලනයක් නැත. ඔහු නාමික ජනාධිපති කෙනෙකි. ආණ්ඩුවේ සිටින ඊනියා ශ්‍රී ල නි ප ඇමතිවරුන්ට කුඩම්මාගේ සැලකිලි ලැබීම ගැන පුදුමයක් නැත) පාලන සමයෙහි සිදු වී ඇත්තේ කුමක් ද? මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශයට කිසිවක් සොයාගැනීමට නොහැකි වී ඇත. එය විසුරුවා හරින බවට ආරංචි පැතිර යයි. එය නීති විරෝධී බවට උසාවිය ඉදිරියේ නඩුවක් වෙයි. ඇමතිවරුන් අතර දූෂිතයන් ඇති බව හෙළිදරවු වී ඇත. මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැයි කියූ එතනොල් මන්ත්‍රී අද ඇත්තේ කොහේ ද? මහා බැංකු කොල්ලය ගැන ඊනියා දූෂණ විරෝධීහු නිහඬ වෙති. ආර්ථිකය කඩා වැටෙමින් ඇත. 

ආණ්ඩුවට සල්ලි නැත. ඔවුන්ට සල්ලි දෙන අයකු ද නැත. බටහිරයෝ තමන්ට අවනත නොවන ආණ්ඩු පෙරළා දැමීමට මුදල් වියදම් කළ ද තම ඒජන්තයන්ගේ ආණ්ඩු පවත්වා ගෙන යෑමට ආධාර නො කරති. ආණ්ඩුවට කළ හැක්කේ බදු පැනවීම හා මහජනයාගෙන් මුදල් ණයට ගැනීම පමණකි. හෙට අනිද්දා වැට් බද්ද වැඩිවීමත් සමග බඩු මිළ තවත් ඉහළ යෑම වැළැක්විය නො හැකි ය. ආණ්ඩුවට දැන් පාන් කියා ගැනීමට නො හැකි ය. ඒ අතර මෛත්‍රිපාලගේ හා වෙනත් සිරිසේනලාගේ පිහිටෙන් වී මිළ අඩු වී හාල් මිල ඉහළ යයි. 

ආණ්ඩුවට දැන් චීනයේ පිහිට පැතීමට සිදු වී ඇත. එකල චීන ආධාර ගැන රනිල් චී කීවේ ය. ඔහුට චීනය යනු චී ණය විය. ඔහු ඊනියා රාජපක්‍ෂ රෙජිමය චීනයට රට විකුණන බවට ලතෝනි දුන්නේ ය. වරාය නගරයෙන් වන පරිසර දුෂණ, මුහුදු කෑම ගැන චම්පකලා බෙරිහන් දුන්හ. අද රනිල් චී ණය ලබාගැනීමට මහින්දගෙන් උපදෙස් ගෙන ඇත. වරාය නගරයෙන් දැන් පරිසර දූෂණය නොවන බවට රනිල් වගබලාගෙන ඇත. ඒ සඳහා කාගේ දෝ විශේෂඥ වාර්තාවක් ද ඔහු සතු යැයි පවසයි. වරාය නගරයේ වැඩ අවුරුද්දකට වැඩි කලක් නවතා දැමීම නිසා අපට චීනයට කොතරම් වන්දියක් ගෙවීමට සිදුවේවි ද? වන්දිය ගෙවීමට සිදුවනු ඇත්තේ අපට මිස රනිල්ට හෝ රවි කරුණානායකට හෝ නො වේ.

රනිල්ගේ පාලනයක් තවදුරටත් රටට අවශ්‍ය ද? බටහිර හා ඉන්දියාව රනිල් සමග මිතුරු යැයි කීව ද ඔවුන්ගෙන්් අපට ආධාර නො ලැබෙයි. මහින්ද ඔවුන්ගෙන් ලබාගත්තාට වඩා සතපහක් ලබාගැනීමට රනිල්ට නො හැකි ය. මහින්දට රනිල්ට වඩා චීනයෙන් ආධාර ලබාගත හැකි ය. කිනම් ආකෘතියක් යටතේ වුව ද රට සංවර්ධනය වූයේ මහින්ද යටතේ ය. අද දූෂිතයන් රනිල් සමග ය. ජනමාධ්‍යයට පනවා ඇති තහංචි දන්නේ ජනමාධ්‍යකරුවන් ය. රනිල් කිසිවකු නොකළ අන්දමට පාර්ලිමේන්තුවේ දී ජනමාධ්‍යවේදීන්ගේ නම් කියමින් තර්ජනය කරයි. ඒ භිෂණය නො වේ ද?

අද රනිල්ගෙන් කෙරෙන්නේ එක ම එක කරුණක් පමණ ය. ඔහු සිංහල බෞද්ධ විරෝධීව භික්‍ෂූන්වහන්සේට හිරිහැර කරයි. බුද්ධි අංශය දිය කර හැරීමට කටයුතු කරයි. ත්‍රස්තවාදීන් නිදහස් කරයි. රාජ්‍ය විරෝධී වෙයි. රණවිරුවන් හිරබත් කද්දී ත්‍රස්තවාදීන් සමග අවුරුදු කයි. බටහිරයන්ට හා ඉන්දියාවට අවශ්‍ය පරිදි දෙමළ ජාතිවාදයට කප්පන් දෙයි. නීති විරෝධීව ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් දෙමළෙන් ජාතික ගීය ගයවයි. ඊ්ලාම්වාදීන්ට ලංකාවට පැමිණීමට දොර හැර දෙයි. චීනයෙන් චී ණය ගත් රනිල් කාගේ ඉත්තකු ද යන්න දැන් ඉතා පැහැදිලි ය.

නලින් ද සිල්වා

2016 අප්‍රේල් 17

මේ ලිපිය මුහුණු පොතෙන් ද කියවිය හැකි ය