Main Logo

Saturday 30 April 2016

ශ්‍රී ල නි ප මැරුවේ මෛත්‍රීපාලයි

ශ්‍රී ල නි ප මැරුවේ මෛත්‍රීපාලයි

ශ්‍රී ල නි ප මිය ගියේ කවදා ද? ශ්‍රී ල නි ප මිය ගියේ නම් එය නැවත නැගිටවිය හැකි ද? එය මිය ගොස් නැත්නම් එහි බලය ඇත්තේ කාට ද? එසේත් නැත්නම් ශ්‍රී ල නි ප කිහිප වතාවක් මියගොස් නැගිටි පක්‍ෂයක් ද? මා මේ ප්‍රශ්න නගන්නේ හෙටින් පසු (2016 මැයි 01) මෙරට දේශපාලනය තීරණාත්මක මගකට එළඹෙන බැවිනි. 2016 මැයි දිනය ලංකාවේ පැවැත්වෙන තීරණාත්මක ම මැයි දිනය වනු ඇත. මැයි දිනය ඊනියා කම්කරු පංතියක චිකාගෝ සැමරුමක් නො වේ. ලංකාවේ එය දේශපාලන පක්‍ෂ හා සංවිධාන තම ශක්තිය ප්‍රදර්ශනය කරන සංදර්ශනයකි. 


අද අපට සංකල්ප පිළිබඳ නිරවුල් අවබෝධයක් නොමැතිව දේශපාලනයේ දී කටයුතු කළ නොහැකි ය. අපට විරුද්ධ බලවේගයට ඔවුන්ගේ ම වූ සංකල්ප ඇත. හැරත් ඔවුන් ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේ ම වූ ලෝකයක ය. අද ලෝකය යුදෙවු ක්‍රිස්තියානි ආධිපත්‍යයේ ලෝකයකි. එහි එකී සංස්කෘතියෙහි හා ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් ව ක්‍රියාත්මක වන්නන්ට සංකල්ප එතරම් ම අවශ්‍ය නොවිය හැකි ය. හැරත් ලංකාවේ එකී සංස්කෘතියෙහි ඇත්තේ ඉත්තන්  පමණ ය. මේ ඉත්තන්ට සියළු උපදෙස් බටහිර යුදෙවු ක්‍රිස්තියානි ආධිපත්‍යයෙන් ලැබෙයි.  එය දේශපාලනයෙහි දී පමණක් නොව බටහිර විද්‍යාවේ හා ගණිතයේ ද එලෙසින් ම ක්‍රියාත්මක වෙයි. වරක් A=B  හා B=C නම් A=C  බව නිගමනය කරන්නේ කෙසේ දැයි මා ඇසූ ප්‍රශ්නයකට බටහිර විද්‍යා හා ගණිත මහාචාර්යවරුන්ගෙන් උපදෙස් ලබන එක් පඬියකු කීවේ එය සමානත්වතාව (equality) පිළිබඳ අර්ථදැක්වීම කියා ය! ඔහු සමානත්වතාව හා තුල්‍යතාව (equivalence) යනු දෙකක් බව නොදන්නකු පමණක් නොව තුල්‍යතාව පිළිබඳ අවබෝධයක් ද නැත්තෙකි. ඔහුට උපදෙස් දෙන මහාචාර්යවරුන් ගැන කිව හැක්කේ කුමක් ද?      

ඇතැමුන්ට අනුව ශ්‍රී ල නි ප කිහිප වතාවක් මියගොස් ඇත. එහෙත් ඔවුහු ශ්‍රී ල නි ප මිය ගියේ කෙසේ ද ඉන්පසු නැගිට්ටේ කෙසේ ද යන ප්‍රශ්නවලට පිළිතුරක් නො දෙති. ඇවිදින කවන්ධවලට හිස් සවිකර පක්‍ෂ උත්ථානය (ක්‍රිස්තියානි සංකල්පයකි) කළ හැකි නො වේ. ශ්‍රි ල නි ප යනු කුමක් දැයි නොදැන එහි මියයාම හෝ උත්ථානය හෝ සාකච්ඡා කළ හැකි නො වේ. 1951 දී ශ්‍රී ල නි ප ඇතිවූයේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ ලිබරල් පක්‍ෂයක් ලෙස ය. එහෙත් බණ්ඩාරනායක මහතාට 1932  දී පමණ  සිංහල මහා සභාව පිහිටුවා අත්දැකීම් ද විය. එක්සත් ජාතික පක්‍ෂය පිහිටුවීමේ දී සිංහල මහා සභාව එකතු වූ නමුත් එයට ඇංග්ලිකන් සංස්කෘතිය සමග වැඩි කාලයක් සිටිය නොහැකි විය. 

ශ්‍රී ල නි ප වැඩිකල් නොගොස් ම, 1955 දී පමණ මෙරට ජාතිකත්වයේ පක්‍ෂය (ජාතිකත්වය පක්‍ෂයේ හිස විය) බවට පත්විය. 1956 දී ම ඒ පක්‍ෂයට විප්ලවකාරී සමසමාජ පක්‍ෂය හා තවත් කණ්ඩායම් සමග එකතු වී මහජන එක්සත් පෙරමුණු ධජය යටතේ බලය අත්කර ගැනීමට හැකි විය. ඒ ආණ්ඩුවට සාමාන්‍ය ජනතාව අපේ ආණ්්ඩුව යැයි කී බව අමතක නොකල යුතු ය. එහි අපේ යන්නට ගැඹුරු අරුතක් ඇත. එහෙත් මෙයින් කියන්නේ ශ්‍රී ල නි ප මුළුමනින් ම ජාතිකත්වයේ පක්‍ෂය ලෙස ක්‍රියාත්මක වූ බව නො වේ. එහි ජිම් මූණසිංහලා ද ස්ටැන්ලි සොයිසලා ද වූහ. විප්ලවකාරී සමසමාජ පක්‍ෂය ටීක කලෙකින් ආණ්ඩුවෙන් ඉවත් විය. 1959 සැප්තැම්බරයේ දී බණ්ඩාරනායක මහතා ඝාතනය කෙරිණි. 1960 මාර්තු මැතිවරණයේ දී ශ්‍රී ල නි ප තරග කෙළේ සී පී ද සිල්වා මහතාගේ නායකත්වයෙනි. සී පී ද සිල්වා ජාතිකත්වයට මුළුමනින් ම අනුගත නොවුණ ද ආසන 151 කින් එ ජා පක්‍ෂයට ආසන 50ක් ලැබෙන විට ශ්‍රී ල නි පක්‍ෂයට  ආසන 46ක් ලැබිණි. 1960 ජූලි මැතිවරණයට ශ්‍රී ල නි ප ඉදිරිපත්වූයේ බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙනි. එවර ආසන 76ක් ලබා පක්‍ෂය බලයට පත්විය. මේ ජයග්‍රහණය පිටුපස හේන්පිටගෙදර ඤාණසිහ හිමිපාණන් වහන්සේ ඇතුළු භික්‍ෂූන් වහන්සේ වූහ. පක්‍ෂයට විශාල ම පරාජය අත්වූයේ 1977 මැතිවරණයෙහි දී ය. එවර ලැබූ ආසන සංඛ්‍යාව 8ක් පමණක් වූ අතර අමිර්තලිංගම් ආසන 18ක් සහිත ව විරුද්ධ පක්‍ෂයේ නායකයා විය. එකල මුළු ආසන සංඛ්‍යාව 168ක් විය. එහෙත් දෙමළ එක්සත විමුක්ති පෙරමුණ ලැබූ ඡන්ද ප්‍රතිශතය 6.75ක් ද ශ්‍රී ල නි ප ලැබු ප්‍රතිශතය 29.72ක් ද විය. 1977 මැතිවරණය තරමක් දුරට 2015 ජනවාරි ජනාධිපතිවරණයට හා 2015 අගෝසතු මැතිවරණයට සමාන විය. ජනතාව ජාතිකත්වයට වඩා වෙනත් කරුණු සැලකිල්ලට ගත්හ. 

කිනම් අඩුපාඩු මැද වුව ද ශ්‍රී ල නි ප 1955 සිට 1977 දක්වාත් ඉන්පසු මරා දමන තුරුත්  ක්‍රියාත්මක වී ඇත්තේ මෙරට ජාතිකත්වයේ පක්‍ෂය ලෙස ය. හැත්තෑහතෙන් පසු විවෘත ආර්ථිකය මුවාවෙන් විවෘත සංස්කෘතියක් හඳුන්වාදෙනු ලැබිණි. විවිධ ගුවන්විදුලි හා රූපවාහිනි නාලිකා එතෙක් නගර කිහිපයකට පමණක් සීමා ව තිබූ ඇංග්ලිකන් සංස්කෘතික ප්‍රභේදය ගමට ද ගෙන ගියේ ය. සිංහල බෞද්ධ ජාතිකත්වයට පහර පිට පහර වැදිණි. දෙමළ ජාතිවාදයේ දෙමළ ත්‍රස්තවාදය බටහිරයන්ගේ හා ඉන්දියාවේ ආධාර සහිත ව රාජ්‍ය බලයට හා සිංහල බෞද්ධ සංස්කෘතියට අභියෝග කෙළේ ය. 1987 දී පරිප්පු දේශපාලනය මගින් ඉන්දියාව අප මත ඉන්දු ලංකා ගිවිසුම ද 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ද පළාත් සභා ද පැටවී ය. එහෙත් ශ්‍රී ල නි පක්‍ෂය දිගින් දිගට ම ජාතිකත්වයේ පක්‍ෂය ලෙස ක්‍රියා කෙළේ ය.

එය ඉවසීමට නොහැකි වූ විජාතික බලවේග එකතු වී ශ්‍රී ල නි ප මරාදැමීමට පියවර ගත්තේ ය.  අනූවේ දශකයේ දී වික්ටර අයිවන්, රාජිත සේනාරත්න, රෙජිනෝල්ඩ් කුරේ ආදීන් ජාතිකත්වයට සතුරු චන්ද්‍රිකා කුමාරතුංග එංගලන්තයෙන් ආනයනය කෙරුණේ ඇය පක්‍ෂයේ නායිකාව කර ජාතිකත්වය නසා ශ්‍රී ල නි ප මරාදැමීමට ය. එහෙත් ජාතික ව්‍යාපාරයට ඒ උත්සාහය පරාජය කිරීමට හැකි විය. අවාසනාවකට ඉන් පසු ජාතික ව්‍යාපාරය චම්පක රණවක විසින් දේශපාලනීකරණයට ලක් කෙරිණි. පසුව තවත් අය චම්පකගේ මාවතට පිවිස ඇත. මේ සියළු බාධක මැද ශ්‍රී ල නි ප ජාතිකත්වයේ පක්‍ෂය වූ අතර මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන්් දෙමළ ත්‍රස්තවාදය ද පරාජය කිරීමට ද සමත් විය. එහෙත් ඒ සමග දෙමළ ජාතිවාදය ද පරාජය වූ බව ප්‍රකාශ කිරීමට ශ්‍රී ල නි පක්‍ෂය ද ජාතිකවාදීහු ද අසමත් වූහ. එහි ප්‍රතිඵලය වූයේ දෙමළ ජාතිවාදය පරාජය නො වීම ය. 

එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල් හා ඉන්දියාව ශ්‍රී ල නි පක්‍ෂය මරා දැමීමට තවත් සැලැස්මක් මත ක්‍රියා කෙළේ ය. බැසිල් රාජපක්‍ෂ මහතාගේ ඊනියා ආධිපත්‍යයට විරුද්ධව යෑමට කියමින් ශ්‍රී ල නි පක්‍ෂයේ ආත්මාර්ථකාමී නිලලෝභීන් එකතු කිරීමට ඔවුහු සමත් වූහ. ඒ අතර ඊනීියා රාජපක්‍ෂ රෙජිමයට එරෙහිව භීෂණ, දුෂණ චෝදනා ප්‍රචාරය කළහ. 2014 අගභාගය වන විට සැලැස්ම (එය කුමන්ත්‍රණයක් නො වේ) මල්පල ගැන්විණි. මව් මරා උපන් කෙහෙල් මල මෙන් මෛත්‍රිපාල ශ්‍රී ල නි ප මරා දමා රනිල්ට එකතු වී රනිල්ගේ ආධිපත්‍යය පිළිගත්තේ ය. එනම් ඇංග්ලිකන් සංස්කෘතියේ ආධිපත්‍යය පිළිගත්තේ ය. අද ඔහු යටතේ ඇති ශ්‍රී ල නි ප මළකුණට ජාතිකත්වයක් නැත. දෙමළ ජාතිවාදය රිසි ලෙස රාජ්‍යයට හා සිංහල බෞද්ධ සංස්කෘතියට අභියෝග කරයි. මෛත්‍රිපාල ශ්‍රී ල නි ප මරාදැමීමට පෙර එය මියගියේ යැයි කීම නිවැරදි නො වේ. 

මේ මළකුණට නැවත පණ දීමට නො හැකි ය. එය කරගහ ගන්නා ලෙස ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් මහින්ද රාජපක්‍ෂට උපදෙස් දෙන බව පැහැදිලි ය. මහින්ද කළ යුත්තේ වෙනත් නව සංවිධානයක නායකයා වීම ය. අද සිංහල ජාතියට නව දේශපාලන සංවිධානයක් අවශ්‍ය වෙයි. එවැනි සංවිධානයකට විරුද්ධ වන්නන් උත්සාහ ගන්නේ සිංහල ජාතිය ද මරාදැමීමට ය. 

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් කියවිය හැකි ය. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)


නලින් ද සිල්වා

2016 අප්‍රේල් 30
.