බහුසංස්කෘතික බහුබූතය 5
සියළු මිනිසුන් නීතිය ඉදිරියේ සමාන වේ ය යන පට්ටපල් බොරුව බටහිරයන් ලොව පුරා ප්‍රචාරය කළ ද ඒ එසේ නොවන බව අපි දනිමු. බටහිරයන් ආරක්ෂා කිරීමට ඉදිරිපත්වන ඇතැම් අනුකාරක නිවටයන්ට අවශ්‍ය නම් බටහිර කිසිවකු එසේ කියා නැතැයි කීමට හැකි ය. එහෙත් බටහිරයන් විසින් මෙහෙයවනු ලබන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි මානව අයිතිවාසිකම් පිළිබඳ ප්රකාශනයෙහි බටහිරයන් ප්‍රචලිත කරන බොරුව පැහැදිලිව ම දැකගත හැකි ය. නීතිය ඉදිරියෙහි මිනිස්සු සමාන නො වෙති. කොළඹ විශ්වවිද්‍යාලය මට විරුද්ධව නඩු කීමේ දී ඉතා ඉහළ ජනාධිපති නීතිඥයන්ගේ පිහිට ලබාගත්තේ ය. නීති පීඨයේ ආචාර්යවරු ද මට විරුද්ධව චෝදනා ගොනු කිරීමට එක්වූහ. උපකුලපති ජී එල් පිරිස් නීතිය පිළිබඳ මහාචාර්යවරයා ද විය. ඔහු වරක් මගෙන් විමසා සිටියේ ජාතික චින්තනය උගන්වන්නේ ඇයි ද කියා ය.මා ඔහුට කියා සිටියේ අනෙක් ඇදුරන්ට විජාතික චින්තනය (ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය) ඉගැන්වීමට හැකිනම් මට ජාතික චින්තනය (සිංහල බෞද්ධ චින්තනය) ඉගැන්වීමට හැකි බව ය. ඔහු තර්ජනාත්මක ව මගෙන් විමසුවේ දිගට ම විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමට බලාපොරොත්තු වන්නේ ද යන්න ය. බොහෝ සරසවි ඇදුරන්ට පමණක් නොව බටහිර දැනුම කටගාගත් ඇතැම් පාසල් ගුරුවර්න්ට ද (ඔවුහු ඊනියා වාස්තවික, විද්‍යාත්මක, ජාත්‍යන්තර බෞද්ධයෝ වෙති) සිංහල බෞද්ධ චින්තනය ගෝචර නොවන බවත් ඔවුන් ඒ මත පදනම් වූ දැනුමට ගරහන බවත් මම දනිමි.