Main Logo

Tuesday, 9 November 2021

වකුගඩු රෝගය පිළිබඳ අපේ පර්යේෂණ

 

වකුගඩු රෝගය පිළිබඳ අපේ පර්යේෂණ

 

චන්න ජයසුමන හා පර්යේෂණ කණ්ඩායම ගැන තවදුරටත් කියන්න ඕන. ඒ ඔවුන් දක්‍ෂ විිද්‍යාඥයන් බව කීමට නො වෙයි. ලංකාවේ විද්‍යාඥයන් නැහැ. මා දන්නා තරමින් සංකල්පීය වශයෙන් බටහිර විද්‍යාවට අලුතෙන් යමක් එකතු කළ අයකු ලංකාවේ නැහැ. බටහිර ලෝකයේ ඒ කිට්ටුවටත් ආවෙ අසාමාන්‍ය වකුගඩු රෝගය ගැන පර්යේෂණ කළ කණ්ඩායමයි.  ඒ අපේ චින්තනය මත පදනම් ව සංස්කෘතියට සාපේක්‍ෂව බටහිර අච්චුවේ පර්යේෂණ කිරීමෙන්. මා කලින් දවසක සඳහන් කළ වසන්ත කටුගම්පොළ ඇතුළු පිරිස ද යම් යම් දේ එකතු කර ඇති නමුත් බටහිර ලෝකය තවමත් ඒ පිළිගැනීමට මැළිකමක් දක්වනවා.

Monday, 8 November 2021

පොහොරදාසලා වකුගඩු රෝගය ගැන කර ඇති පරීක්‍ෂණ මොනවා ද?

 

පොහොරදාසලා වකුගඩු රෝගය ගැන කර ඇති පරීක්‍ෂණ මොනවා ද?

 

මා කලින් දවසක සඳහන් කළා මෙන් පොහොර සම්බන්ධයෙන් මූලික ප්‍රශ්නය කෘෂිරසායන (Agrochemicals - මේ නම එතරම් සුදුසු නැති වුවත් අපි එය යොදා ගනිමු) CKDu හෙවත් හේතුව නොදත් නිදන්ගත වකුගඩු රෝගය  නමින් හැඳින්වෙන රෝගයට හේතුකාරක  වන්නේ ද යන්නයි. මෙය සාමාන්‍ය වකුගඩු රෝගවලින් වෙනස් බැවින් අපි එය මෙතැන් සිට අසාමාන්‍ය වකුගඩු රෝගය ලෙස හඳුන්වමු.  රජරට ප්‍රදේශයෙහි මේ රෝගය පළමුවෙන් හඳුනාගත් බැවින් එය කලක් රජරට වකුගඩු රෝගය ලෙස ද හැඳින්වුණා.

Sunday, 7 November 2021

වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීම හා එන්නත්

 වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීම හා එන්නත්


මේ රටේ තරම් උගතුන් බුද්ධිමතුන් වියතුන් විිද්‍යාඥයන් සහ ඔවුන්ගේ ස්ත්‍රී ලිංගිකයන් ඉන්න රටක් තවත් නැහැ. සකර්බර්ග් පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් ද ඒ අතර ඉන්නවා. අද මා එක්තරා අලුත් විද්‍යාඥ වර්ගයක් හඳුනා ගත්තා. ඒ වෛද්‍ය රසායන විද්‍යාඥයන්. ජෛවීය රසායන විද්‍යාඥයන් ගැන නොවෙයි මේ කතා කරන්නේ. රසායන විද්‍යා සහකාරයන් තමයි එයින් හැඳින්වෙන්නේ. මේ කතාවෙන් වැදගත් කරුණක් පැහැදිලි වෙනවා. ඒ අපේ රටේ විද්‍යාඥයා යන්න යොදා ගන්නා ආකාරයයි. මෙරට හරි හමන් විද්‍යාඥයකු නැති නිසා ම රසායන විද්‍යා සහකාරයන් ද විද්‍යාඥයන් වෙනවා. අර ඊනියා ජෛවීය රසායන විද්‍යාඥයන් ද රසායනාගාර සහකාරයන්ගෙන් වෙනස් වෙන්නෙ නැහැ. ඔවුන් සියල්ලන් ම නිවේදක නිවේදිකාවන් පමණයි.

Saturday, 6 November 2021

පොහොරදාසලා හා පොහොරවතීලා

 

පොහොරදාසලා හා පොහොරවතීලා

 

වමාලාට වම නැති වීම ගැන තව  ලියන්න තියෙනවා. ඒ වගේ ම පොහොර ගැනත් ලියන්න තියෙනවා. මේ දෙක ම එක ම මූලාශ්‍රයකින් පැන නගින්නේ. ඒ වෙනත් දෙයක් නොව ජාතිකත්වය හා විජාතිකත්වය අතර ඇති ගැටුම. වමාලාට කිසි දා ජාතිකත්වය තේරුණේ නැහැ. ඔවුන් සමහරකු හිතන්නේ ජාතිකත්වය කියන්නේ බරකරත්තයෙන් ආපසු අනුරාධපුරයට යෑම කියා. එහෙත් තවත් සමහරුනට අනුව අප බටහිරකරණයකට කැස කවනවා. ජාතිකත්වය කියන්නේ ඒ දෙකෙන් එකක්වත් නො වෙයි. අපට අවශ්‍ය සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වෙමින් ජීවත් වීම. එහි දී ඒ චින්තනය මත පදනම් වූ දැනුමක් ගැන අප කතා කරනවා. ඒ දැනුම සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂයි. සිංහල බෞද්ධ සංස්කෘතියට වෙනත් සංස්කෘතීන්ගෙන් ඇතැම් දේ අවශෝෂණය කිරීම ප්‍රශ්නයක් නො වෙයි. උදාහරණයක් ලෙස බටහිර වියුක්ත ව සිතීම අප අවශෝෂණය කර ගත යුතුයි. වියුක්ත ව හිතන්න ඉස්සර හිතන්න පුරුදු වෙන්න ඕන. ඒ අතර චක්‍රීය චින්තනයට ආපසු එන්න ඕන. අද මෙරට උගතුන් ඉන්නේ රේඛීය චින්තනයේ. එයින් කියන්නේ නැහැ ඔවුන් එහි නිර්මාණ කරනවා කියා.

Friday, 5 November 2021

මැණිකේ මගේ හිතේ හා වකුගඩුව

 

මැණිකේ මගේ හිතේ හා වකුගඩුව

 

මැණිකේ මගේ හිතේ ගීතය අනුව බුදුගුණ ගීතයක් හදල. බැලූ බැල්මට එහි වරදක් නැහැ. මෙරට සිංහල බෞද්ධ අච්චාරු සංස්කෘතියට එය ප්‍රශ්නයක් නොවේය කියා කවුරුන් හරි කියන්නත් ඉඩ තියෙනවා. පෙරහැරේ කාවඩි නටන්න පුළුවන් නම් මැණිකේ මගේ හිතේ ඉන්න විධියට බුදුහිමි මගේ හිතේ ඉන්න බැරි ද?

Thursday, 4 November 2021

මුරුත්තට්ටුවේ හාමුදුරුවෝ කොළඹ විශ්වවිද්‍යාලය හා රාජකීය විද්‍යාලය

 

මුරුත්තට්ටුවේ හාමුදුරුවෝ කොළඹ විශ්වවිද්‍යාලය හා රාජකීය විද්‍යාලය

 

කොළඹ විශ්වවිද්‍යාලය කියන්නෙ බටහිර අනුකාරක අධ්‍යාපනයෙ ප්‍රධාන ආයතන දෙකෙන් එකක්. අනෙක පේරාදෙණිය විශ්වවිද්‍යාලය. මේ විශ්වවිද්‍යාල දෙක ම ලංකා විශ්වවිිද්‍යාලයෙ අනුප්‍රාප්තිකයන්. ජෙනිංග්ස් හැදූ වැඩූ ආයතන. පාසල් අතුරෙන් බටහිර අනුකාරක අධ්‍යාපනයෙ ප්‍රධාන ආයතනය රාජකීය විද්‍යාලය. මේ සියලු ආයතන සමග මට සම්බන්ධකම් තියෙනවා. එහෙත් රාජකීය විද්‍යාලයේ තියෙන ස්වාධීනත්වය ඔය අනෙක් ආයතනවල නැහැ. මා චක්‍රීය චින්තනය ඉගෙන ගත්තෙ රාජකීය විද්‍යාලයෙන්.  රසායන විද්‍යාව ඉගැන්වූ ක්‍රිස්ටි ගුණසේකර මහතාගෙන් හා ගණිතය ඉගැන්වූ අරසරත්නම් මහතාගෙන් මා හිතන්න ඉගෙන ගත්තා. රසායන විද්‍යාව නම් ඉගෙන ගත්තෙ නැති බව කියන්නෙ ගුණසේකර මහතාට කරන අගෞරවයක් ලෙස නො වෙයි. මට ඒ විෂය ප්‍රිය වුණේ නැහැ.

Wednesday, 3 November 2021

ක්‍රිකට් මහින්ද හා ආණ්ඩුව

 

ක්‍රිකට් මහින්ද හා ආණ්ඩුව

 

ලංකාව පරදවා ජයගැනීමෙන් පසු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක මෝගන් කියා තිබුණා තරගාවලියේ තමන්ට වැඩිම අභියෝගයක් එල්ල කෙළේ ලංකාව කියා. මට තේරෙන විධියට එංගලන්තය අවසානයේ දී ලෝක ශූරයා වුණත් නැතත් අද ඉන්න දක්‍ෂතම කණ්ඩායම. ඒ කණ්ඩායමේ නායකයා එහෙම කියන විට මට තව තවත් දේ මතක් වෙනවා. ලංකාව ඒ තරගය දිනුව නම් මෝගන් කුමක් කියාවි ද? ඔහු ලංකාවට විරුද්ධ වෙන එකක් නැහැ. විනිසුරුවන් හොර කරා කියන එකක් නැහැ. ලංකාවෙ අහවල් ක්‍රීඩකයා ශතයක් ගත්තට ඔහු හරි විධියට නම් බිංදුවේ දී දැවී ගියා කියන එකක් නැහැ. අඩු තරමෙන් ප්‍රසිද්ධියේ කියන එකක් නැහැ. එහෙම කියන එක ඊනියා ක්‍රීඩා ආචාර ධර්මවලට එකඟ නැහැ.

 

ඒත් අවුරුදු දොළහකට ඉහත අප එංගලන්තයේ අනුග්‍රහය ආශිර්වාදය අනුබලය ලත් කොටි පරාජය කළා. එංගලන්තයට එය තදබල පහරක් වුණා. අප වැනි රටක් එංගලන්තය පරාජය කිරීම ඔවුන්ට මහා ප්‍රශ්නයක් වුණා. ඔවුන්ට එය දරා ගන්න බැරි වුණා. ඔවුන්ට අදත් එය දරා ගන්න බැහැ. ඊනියා අපක්‍ෂපාත බීබීසියේ චැනල් 4 ලංකාවට විරුද්ධව බොරු ප්‍රචාරය කළා. විවිධ වාර්තා මගින් පෙන්නන්න උත්සාහ කළා අපේ හමුදාවේ ජයග්‍රහණය හොර එකක් කියා. හමුදා ආචාර ධර්ම නොසැලකූ බවට චෝදනා ගෙතුවා. දෙමළ ජනයා සමූලඝාතනය කළ බව කිවුවා. එංගලන්තය ලෝකයක් පාලනය කෙළේ කෙසේ ද කියා කීවේ නම් නැහැ.

 

එංගලන්තය ප්‍රධාන වශයෙන් මැදිහත් වී මහින්ද රාජපක්‍ෂ පරාජය කළා. ඒ සඳහා මෛත්‍රිපාල යොදා ගැනීමට හැකි වන ආකාරයෙන් ශ්‍රී ල නි ප ඇතැමුන් ම ඔහුට පක්‍ෂයෙන් යන තැනට කටයුතු කර තිබුණා. මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයෙන් ගියා නොවෙයි. යවනු ලැබුවා. ඒත් මෛත්‍රිපාලටත් මහින්දටත් සිදු වූ වරද තේරුම් ගියා. මෛත්‍රිපාල අර මහාචාර්යවරයකු කී පරිදි  මයිලෝ බීල හරි ශක්තිය ලබා ගෙන රනිල් පන්නා මහින්ද අගමැති කළා. දින පනස්දෙකේ ආණ්ඩුව පවත්වාගෙන යෑම ඇතැමුන් මගහැරියා. යටත්විජිතලා මහින්දගේ ආණ්ඩුවට විරුද්ධ ව විශ්වාසභංගයක් ගෙනාවා. ඔවුන් එය දිනුවා. එදා පාර්ලිමේන්තුවට පැමිණි එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල තානාපති කාර්යාල නිලධාරීන් දින පනස් දෙකේ ආණ්ඩුව පැරදුනා ම ප්‍රීතිඝෝෂා නැගුවා. ඒ ක්‍රිකට් නොවේ කියා ඉංගිරිසි කියමනක් තියෙනවා.

 

මහින්දට මේ කාරණය ඊයේ (නොවැම්බර් 02) මතක් වෙලා. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පස්වැනි සංවත්සරය කියන්නක් නිමිත්තෙන් පැවැත් වූ රැස්වීමක දී. අද මේ ආණ්ඩුවට විරුද්ධ ව රට විකිණීමට යන බවට චෝදනා තියෙනවා. මා ඒ චෝදනා ප්‍රතික්‍ෂෙප කරන්නේ නැහැ. එසේ විකුණනවා නම් ඒ කරන්නේ කවුද යන්න හොයා බලන්න ඕන. ඒ වගේ ම විකිණීම නවත්වන්න ඕන. විවිධ කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුවේ තුවාල ඇති වෙලා. මා ඒ තුවාල පාරන්න සූදානම් නැහැ. ඊයේ මහින්ද  තුවාල සුව කිරීමට උත්සාහයක් ගත්තා.

 

අද ආණ්ඩුව රට විකුණන්න යන බවට චෝදනා කරන සජිත් කිරිඇල්ල චම්පක ඇතුළු පිරිස් එම්සීසී ගිවිසුම අත්සන් කිරීමට සියල්ල සූදානම් කර තිබුණා. දින පනස්දෙකේ ආණ්ඩුව නොවන්නට එය අත්සන් කෙරෙනවා. පසුව මේ ආණ්ඩුව එම්සීසී ගිවිසුම මුළුමනින් ම ප්‍රතික්‍ෂෙප කළ බව ඊයේ මහින්ද මතක් කළා. එම්සීසී කියන නම ක්‍රිකට් ක්‍රීඩාවටත් සම්බන්ධයි. ඒත් එම්සීසී අත්සන් කරන්න තිබුණේ ක්‍රිකට් ක්‍රීඩා නොකරන එක්සත් ජනපද සමගයි.

 

2015 මහින්ද පැරදවීමෙන් පසු 2019 දී ගෝඨාභය බලයට පත් කිරීමට බොහෝ දෙනා කටයුතු කර තියෙනවා. දින පනස්දෙකේ ආණ්ඩුව ඒ ක්‍රියාදාමයේ එක් පියවරක් පමණයි. ශ්‍රී ල නි ප යමපාලනයට යැවීම නිසා 2015න් පසු දේශපාලනයේ රික්තයක් ඇති වී තිබුණා. ජාතියට ම පිළිගත හැකි ජාතිකත්ව පක්‍ෂයක් තිබුණේ නැහැ. එවැනි පක්‍ෂයක් පිහිටුවීමට කටයුතු කෙළේ ජනතාවයි. ඔවුන් මැදමූලන ගියා. මහින්ද සුළඟක් ඇති වුණා. නුගේගොඩ රැස්වීමට මහින්ද සුළඟ හැමුවා. ඒ රැස්වීමට සහභාගි වූ අද පොදු ජන පෙරමුණේ ඉන්න මන්න්්‍රීවරුන් දෙතුන් දෙනාට සතුටු වන්න පුළුවන්. පොදු ජන පෙරමුණේ නිර්මාතෘවරුන් ජනතාව. ඒ මහින්ද සුළඟ ඇති කළ ජනතාව. ඔවුන් අමතක කරන්න එපා. අර පොදු ජන පෙරමුණේ නිර්මාතෘට ප්‍රදානය කළ තිළිණය හිමි විය යුත්තේ කිසිම දේශපාලනඥයකුට නොව ජනතාවටයි.

 

මා හිතන්නේ ජනතාව නියෝජනය කරමින් ඒ තිළිණය මහින්දට එකල තාවකාලික දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් සැපයූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ට ප්‍රදානය කරන්න තිබුණා කියා. උන්වහන්සේ මා ද කලක් වැඩ කළ එහෙත් ඇතැමුන් කියන විධියට ඉගැන්වීම හැර අන් දේ කළ කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය ගෞරවාන්විත ව හොබවාවි. අද ඒ විශ්වවිද්‍යාලය පාලනය කෙරෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ අය විසින්. ඇතැම් අධ්‍යනංශවලට නුසුදුස්සන් පත් කර ඇති බවට චෝදනා තියෙනවා. මා ඒ ගැන එතරම් සැලකිලිමත් වන්නේ නැහැ. එකලත් විශ්වවිද්‍යාලවල එවැන්නන් පත් කෙරුණා. අද ඒ නුසුදුස්සන් තමන් වැනි නුසුදුස්සන් පත් කරනවා.  ඔවුන්ගේ එකම සුදුසුකම සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ වීමයි.

 

මුරුත්තෙට්ටවේ හාමුදුරුවන් ද මේ ආණ්ඩුව විවේචනය කරනවා. අප සියල්ලන් තේරුම් ගත යුතු කරුණක් තියෙනවා. මහින්ද හා ගෝඨාභය අතර වෙනස්කම් තියෙනවා. මහින්ද කළමනාකරන දේශපාලනයෙහි අති දක්‍ෂයෙක්. සමහර විට එවැන්නකු වෙනත් රටක නැති වෙන්නත් පුළුවන්. ගෝඨාභයට දැක්මක් තියෙනවා. ඇතැම් සුපිරි ජාතිකවාදීන් මා කියන දේට විරුද්ධ වන බව මා දන්නවා. මහින්ද ගෝඨාභය සුසංයෝගය රටට අත්‍යවශ්‍යයි.

 

මේ ආණ්ඩුව පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් නො වෙයි. එදා ගෝඨාභය රාජපක්‍ෂ මුලසුනේ තබා ගනිමින් මට මතක හැටියට පදනම් ආයතනයේ දී පොදු ජන පෙරමුණ හා තවත් පක්‍ෂ ගිවිසුමක් අත්සන් කළා. ඒ ගිවිසුම අදටත් වලංගුයි. මේ ආණ්ඩුව ඒ සියලු පක්‍ෂවල ආණ්ඩුවක්. පක්‍ෂ අතර පමණක් නොව පක්‍ෂ ඇතුලෙත් මත භේද තියෙනවා. එහෙත් ජනතාව ඡන්දය දී ඇත්තේ මතභේද  හදාගෙන ආණ්ඩුව දුර්වල කරන්න නො වෙයි. මහින්දගේ පණිවුඩයේ එය ද ගැබ් වී තියෙනවා.

 

ඔහු සියල්ලන්ට හොඳ කතාවක් මතක් කර දුන්නා.   පොදු ජන පෙරමුණට ශ්‍රී ල නි පක්‍ෂයෙන් හිමි වූ උරුමයක් තියෙනවා. ඒ එක් අරමුණක් වෙනුවෙන් තවත් පක්‍ෂ සමග එකට වැඩ කිරීම. 1956 ශ්‍රී ල නි ප බලයට පත් වුණේ තවත් පක්‍ෂ සමග මහජන එක්සත් පෙරමුණ නමින් පක්‍ෂයක් තනා ගෙන. එදා සිට ශ්‍රී ල නි ප තනිව තරග කර නැහැ. පොදු ජන පෙරමුණත් අනෙක් පක්‍ෂ සමග එකතු වී තරග කළා.

 

මේ සියල්ලන් ම තේරුම් ගත යුතු කරුණ නම් තනි තනි ව කිසිවකුට ජයග්‍රහණයක් නැති බව. ජනතාව විවිධ අදහස් දරණවා. ඒ ඒ අය ඒ ඒ පක්‍ෂවලට කැමැත්ත දක්වනවා. මේ විවිධ ජනතාව එකතු කරන්න අදාළ පක්‍ෂ අතර සමගියක් තියෙන්න ඕන. මහින්ද ඊයේ පොදු ජන පෙරමුණේ ඊනියා සංවත්සරයේ දී කීවේ එයයි.

 

අද අප කල්පනා කළ යුත්තේ ජනතාව මේ ආණ්ඩුව බලයට පත් කෙළේ කුමක් සඳහා ද යන්නයි. ඒ සිංහල බෞද්ධ රාජ්‍යයක් ඇති කිරීම සඳහා නම් නො වෙයි. අපට එය අවශ්‍ය වුවත් ජනතාවට තවමත් ඒ අවශ්‍ය නැහැ. මේ ආණ්ඩුවෙන් සිංහල බෞද්ධ රාජ්‍යයක් අප බලාපොරොත්තු නොවන බව එදා පදනම් ආයතනයේ දී පැවති රැස්වීමෙදිත් මා කියා ඇති. එසේ නම් ජනතාවට අවශ්‍ය කුමක් ද? ඔවුන් යමපාලන ආණ්ඩුවේ සිංහල විරෝධී වැඩවලින් බැට කා හිටියේ. රට විකිණීම, හම්බන්තොට වරාය අනූනව අවුරුද්දකට චීනයට බදු දීම, සිංහල අයිතිවාසිකම් නැති කිරීම, ජීවන බර, පාස්කු ප්‍රහාරය ආදිය ඔවුන්ගේ හිත්වල තිබුණා. එපමණක් නොව ඉන්දු ලංකා ගිවිසුම, රනිල් ප්‍රභාකරන් ගිවිසුම, නෝර්වේ ස්වීඩනය, නෙදර්ලන්තය, පින්ලන්තය වැනි රටවල් හරහා කෙරුණු එංගලන්තයේ සිංහල විරෝධී මැදිහත්වීම් සංකල්පීය ව නොවුණත් ජනතාවට අමතක වෙලා තිබුණේ නැහැ.

 

අද ආණ්ඩුව කල්පනා කළ යුත්තේ ජනතා අපේක්‍ෂා ඉටු කර ඇත්තේ ද යන්නයි. අද ඩොලර් හිඟයක් තියෙනවා. රනිල් සජිත් වැන්නන් හා ඊනියා ආර්ථික විද්‍යාඥයන් දන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට තව තවත් ණය වීමයි. යමපාලන ආණ්ඩුව කොපමණ ණය අරගෙන තියෙනවා ද? රනිල්, සජිත් හා පිරිස ගන්නා ණය ගෙවීමට සිදු වන්නේ මහින්දලාට. යමපාලන ආණ්ඩුව ඩොලර් ඉපයීමට කළ ඉටිගෙඩියක් නැහැ. අප අනවශ්‍ය ප්‍රමාණයකට සංචාරකයන් මත යැපුණා. කොවිඩ් සමග අපනයන අඩපණ වුණා. සංචාරක ව්‍යාපාරය කඩා වැටුණා. එන්නත්කරණයට ඩොලර් අවශ්‍ය වුණා. යමපාලන කාලයේ ගුරු වැටුපට  අත නොගැසූ ජෝසෆ් ස්ටැලින්ලාට මහින්ද ජයසිංහලාට ගුරු වැටුප් මතක් වුණා. ඔය ස්ටැලින්ලාත් ඉන්නේ රනිල්ලා එක්ක.

 

පොහොර ප්‍රශ්නය ගොවීන්ට කියා දුන්නේ නැහැ. මෙහි සංකල්ප පටලවා ගැනීමක් තියෙනවා. කාබනික ගොවිතැන කියන්නෙ වැරදි සංකල්පයක්. ඒ ගැන පසුව කතා කරමු. සිංහල වෙදකමට යම් තැනක් ලැබුණත් එය ප්‍රමාණවත් වූයේ නැහැ. බටහිර වෙදකමේ ආධිපත්‍යය කඩන එක ලෙහෙසි වැඩක් නො වෙයි. පඬි නැට්ටන් ඊනියා දාර්ශනිකයන් වී ඇත්තේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය ඔවුන්ට ආරක්‍ෂාව සපයන බැවින්. නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන අසපුවාදීන්ගෙන් මෙන් ම අන්‍ය ආගමිකයන්ගෙන් ද බේරා ගැනීමට කළ යුතු දේ කෙරුණේ නැහැ. පනස්හයේ සඟ වෙද ගුරු ගොවි සංයුතිය ආණ්ඩුවෙන් ඈත් වුණා. ආණ්ඩුවේ දේශපාලනඥයන් කොළඹට සීමා වුණා. ඒ සමග ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත් වුණා. බටහිර ගැති දේශපාලනඥයන් මෙන් ම රාජ්‍ය නොවන ගැත්තන් පඬියන් පඬිපෝතකයන් පඬිනැට්ටන් ආදී සිංහල බෞද්ධ විරෝධීන්ට ජනතාව අතරට යෑමට හැකි වුණා.

 

මේ වැරදි හදාගන්න පුළුවන්.  මා කලින් කීවාක් මෙන් මට තුවාල පාරන්න ඕන නැහැ. ඒත් යම් ආකාරයකට ඇතැම් ආයතන විකිණීම පිටුපස ඉන්න අය හඳුනාගෙන ඒ නවත්තන්න ඕන. නැති වී ගිය සිංහල අයිතිවාසිකම් ලබා දීමට කටයුතු කරන්න ඕන. සිංහල මධ්‍යම පංතියට තම කිසි වැදගැම්මකට නැති අරමුණු ප්‍රාර්ථනා බලාපොරොත්තුවල නිස්සාරණත්වය ගැන කතා කරන්න ඕන. අද ඒ වැදගැම්මකට නැති දේ හාමුදුරුවරුන්ටත් වෙද මහතුන්ටත් ගුරුවරුන්ටත් ගොවීන්ටත් ගිහින්. දේශපාලනඥයන් ගැන කීම අනවශ්‍යයයි. ඩොලර් ප්‍රශ්නයට


විසඳුම් ලෙස අපට එක්වරට අපනයන වැඩි කරන්න බැහැ. බලාපොරොත්තුවන තරමට සංචාරකයන් එන්නෙත් නැහැ. අපට ආනයන අඩු කර ගන්න වෙනවා. මධ්‍යම පංතිය එයට කැමති කරවා ගැනීම අද ඇති මූලික ප්‍රශ්නයයි. ඒ සඳහා ඔවුන් අතර දේශපාලනය කරන්න ඕන. ගුරුවරුන් ගොවීන් අතර දේශපාලනය කරන්න ඕන. යම් යම් වැරදි තිබුණත් මේ ආණ්ඩුව පරාජය කර අප නැවතත් රට ම පාවාදෙන සජිත්ලා කිරිඇල්ලලා චම්පකලා පත් කර ගන්නවා ද?