Main Logo

Sunday 7 November 2021

වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීම හා එන්නත්

 වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීම හා එන්නත්


මේ රටේ තරම් උගතුන් බුද්ධිමතුන් වියතුන් විිද්‍යාඥයන් සහ ඔවුන්ගේ ස්ත්‍රී ලිංගිකයන් ඉන්න රටක් තවත් නැහැ. සකර්බර්ග් පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් ද ඒ අතර ඉන්නවා. අද මා එක්තරා අලුත් විද්‍යාඥ වර්ගයක් හඳුනා ගත්තා. ඒ වෛද්‍ය රසායන විද්‍යාඥයන්. ජෛවීය රසායන විද්‍යාඥයන් ගැන නොවෙයි මේ කතා කරන්නේ. රසායන විද්‍යා සහකාරයන් තමයි එයින් හැඳින්වෙන්නේ. මේ කතාවෙන් වැදගත් කරුණක් පැහැදිලි වෙනවා. ඒ අපේ රටේ විද්‍යාඥයා යන්න යොදා ගන්නා ආකාරයයි. මෙරට හරි හමන් විද්‍යාඥයකු නැති නිසා ම රසායන විද්‍යා සහකාරයන් ද විද්‍යාඥයන් වෙනවා. අර ඊනියා ජෛවීය රසායන විද්‍යාඥයන් ද රසායනාගාර සහකාරයන්ගෙන් වෙනස් වෙන්නෙ නැහැ. ඔවුන් සියල්ලන් ම නිවේදක නිවේදිකාවන් පමණයි.

 

පොහොර ගැන තවදුරටත් පසුව කතා කරනවා. ඒත් අදත් කතා කරන්නෙ බටහිර විද්‍යාව ගැන. විශේෂයෙන් ම බටහිර වෛද්‍ය විද්‍යාව කියන්න ගැන. කොවිඩ් 19 සඳහා එන්නත් නිපදවා තියෙනවා. ඒ එන්නත් ගැන ජනතාව  තුළ විශ්වාසයක් ඇති කෙරුණා. ඒ විශ්වාසය අනුව අප රටේ ද එන්නත ලබා දීම කෙරුණා. අද වන විට එන්නත මාත්‍රා දෙක ම මෙරට 60%ට වැඩි පිරිසකට දී ඇති බව කියැවෙනවා. ඒ අතින් ලංකාව ලෝකයේ ඉහලින් ම තියෙන රටක් බවට පත්වෙලා. එය වරදක් නො වෙයි. බටහිර ලෝකයේ ලංකාවට ගෞරවය ලැබෙන වැඩක්.

 

බටහිර වෛද්‍ය විද්‍යාව ආධිපත්‍යය දරණ ලෝකයේ ඇති රටක් හැටියටත් ඒ ආධිපත්‍යය තියෙන රටක් හැටියටත් මෙරට එන්නත දෙන්න වෙනවා. මෙරට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවටවත් සිංහල පාරම්පරික වෙදකමටවත් (එය විද්‍යාවක් ලෙස හඳුන්වන්නෙ නැති තරමට හොඳයි) වැදගත් තැනක් නිල වශයෙන් හිමි වෙලා නැහැ. අද ඇතැම් ආයුර්වේද වෙද මහතුන් පවා හදන්නේ අර දොස්තර නලාව කියන එක බෙල්ල වටා දාගෙන ඩොක්ටර්ලා වෙන්නයි. ඒ තමයි බටහිර වෛද්‍ය විද්‍යා ආධිපත්‍යය.

 

විවිධ කොවිඩ් එන්නත් අප අතරට ආවා. ඒ අතර ෆයිසර් මොඩර්නා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ක්‍රියාකාරීත්වය මාස කිහිපයක් යන විට අඩු වෙන බව වාර්තා වෙලා. දැන් කියන විධියට මාස හයකින් පමණ බූස්ටරයක් හෙවත් වර්ධකයක් ලබා දෙන්න සිදු වෙනවා. ඉන් පසු අපට තව තවත් එන්නත් ගන්න වෙයි ද? බටහිර වෛද්‍ය විද්‍යාවට කොවිඩ් 19 සඳහා සාර්ථක එන්නතක් නිපදවීමට නො හැකි ද?

 

මට ඊටත් වඩා ප්‍රශ්න තියෙනවා. කොවිඩ් 19 වෛරසයකින් ඇති වන රෝගයක් ද? මෙය තවත් කොරෝනාවක් ද? කොවිඩ් 19 විකෘතීන් (mutations) ගැන ඒ දිනවල කතා වුණා. විකෘතියක් කියන්නෙ ජෛව වර්ගයක ඇති වෙන වෙනසක්. ඒ වෙනස හේතුවෙන් නවත ම ජෛව වර්ගයක් ඇති වෙනවා. ඒ විකෘතිය පිළිබඳ සංකල්පය වෛරස  සඳහාත් යොදා ගන්න පුළුවන් ද? අද කොවිඩ් 19 විවිධ විචල්‍ය ගැන කියනවා. ඇල්ෆා බීටා ගැමා ඩෙල්ටා එප්සයිලොන් ආදී වශයෙන් ඒ නම් කෙරී තියෙනවා. ඒ විචල්‍යයන්වලත් තව තව ප්‍රභේද තියෙනවා. ඇතැම් එන්නත් සමහර විචල්‍යවලට හරි ගියත් තවත් විචල්‍යවලට හරි යන්නේ නැහැ.

 

ඇතැම් බටහිර වෛද්‍ය විද්‍යාඥයන් කියා තිබුණා එන්නත් නිසා ඒවාට ඔරොත්තු දෙන නව ප්‍රභේද බිහි වෙන බව. ඒ කියන්නේ එන්නත රෝගය යම් ආකාරයකට පතුරවන බව. යුරෝපයේ ශීත සෘතුව ඇරඹීමත් සමග එය කොවිඩ් 19 ප්‍රධාන මධ්‍යස්ථානය බවට පත් වෙන බවක් කියනවා. එන්නතට මොකද වෙලා තියෙන්නෙ?  මා කියන්න හදන්නෙ බටහිර වෛද්‍ය විද්‍යාව දැන් කඩා වැටී ඇති බව. කොවිඩ් 19  ප්‍රතිකාරයක් දීමට නොව මුහුණ දීමටවත් බටහිර වෛද්‍ය විද්‍යාවට බැහැ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට හා සිංහල පාරම්පරික වෙදකමට අද මෙයට වඩා වැදගත් තැනක් දීමේ අවශ්‍යතාව මතුවෙලා තියෙනවා.

 

එන්නත් මාත්‍රා දෙක ම ලබා දුන් අයගෙන් යම් පිරිසක් මිය ගිහින්. සකර්බර්ග් පඬි නැට්ටන් ඒ ගැන හ්ම් කියන්නෙ නැහැ. අර ධම්මික පැනිය බී කිසිවකු මිය ගිය බවට ආරංචියක් නැහැ. බැරි වෙලාවත් එවැන්නකු මිය ගියා නම් සකර්බර්ග්ට නිදා ගන්න හම්බ වෙන එකක් නැහැ. ඔහුගේ සමාගම මෙටා නොව පඬි නැට්ටන්ගේ නමින් නැටා ලෙස නම් කරන්න සිද්ධ වෙන්න තිබුණා. පඬි නැට්ටන් බටහිර විද්‍යාව පිළිබඳ හසල දැනුමක් ඇත්තවුන් බව සකර්බර්ග් පවා දන්න බවට සැකයක් නැහැ.

 

බටහිර පොහොර වෙනුවෙන් කතා කරන පොහොරදාසලා හා පොහොරවතීලා සහ කොවිඩ් 19 ගැන කියන බටහිර වෙදමහතුන් අතර වෙනසක් නැහැ. ඔවුන් දන්නේ නැහැ බටහිර විිද්‍යාව කඩා වැටිල බව. ඔවුන් බටහිර විද්‍යාඥයන් නොවැ. අප අලුත් දැනුමක් ඇත්තට ම අපේ චින්තනය මත පදනම් වූ දැනුමක් ඇති කර ගැනීමටයි කතා කරන්නෙ. එවැනි දැනුම් විවිධ රටවල ඇති නූණොත් ලෝකය ම අනාථයි. නාථ දෙවියන්ටවත් එවිට පිහිට වෙන්න බැරි වේවි.

 

මා විද්‍යාඥයකු නොවන නිසා මට බටහිර විද්‍යාවේ හා පොදුවේ බටහිර දැනුමේ කඩා වැටීම පේනවා. බටහිර භෞතික විද්‍යාව කඩා වැටී තරමක කාලයක් වෙනවා. අද එය හුදු ගණිතයක් බවට පත් වෙලා. ඊනියා තන්තුවාද කිහිපයක් තියෙනවා. ඒ සියල්ල එකතු කරන්න එඩ් විට්න් කාලයකට ඉස්සර M Theory තියරි (ප්‍රවාදය) කියා එකක් හැදුවා. ඒ ගණිත ප්‍රමේයකට වැඩි දෙයක් නො වෙයි. මහා පිපිරුම ගැන මා කියා තියෙනවා. කළු කුහර තියෙන්නෙ වෙනත් විශ්වයක ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු අපේ චින්තනයේ තියෙනවා. ඒ පිළිතුරුත් තවත් ප්‍රශ්නවලට පිළිතුරුත් කැලණිය විශ්වවිද්‍යාලයේ හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරීන් දී තියෙනවා. ඔවුන්ට කරන ගෞරවයක් වශයෙන් ඔවුන්ගේ නම් සඳහන් කරනවා. වසන්ත කටුගම්පොළ, සුරාජ්, කුමුදුමලී ජයකොඩි, ශෂිනිකා විමලධර්ම, ධරනීත,  නන්දසේන ගමගේ.

 

මානව ශාස්ත්‍රවල බටහිර දැනුමේ ඇති වූ පශ්චාත්නූතනවාදයට මොක ද වුණේ. මා ලංකාවේ ඊනියා පශ්චාත්නූතනවාදීන් ගැන අහන්නේ නැහැ. ඒ අනුකාරකයන් ගැන අහවල් දේකට කතා කරන්න ද? ලෝකයේ පශ්චාත්නූතනත්වයක් නැහැ. ඇත්තේ පශ්චාත්තාපයක් පමණයි.   

                      

අප බටහිර දැනුම අවශ්‍ය පරිදි අවශෝෂණය කර ගත්තේ නැහැ. අප කෙළේ අනුකරණය පමණයි. බටහිර දැනුම කඩා වැටෙන විට වඳින්න ගිය දේවාලෙ හිසේ කඩා වැටීම ගැන අපේ පැරැන්නන් කියා ඇති දේ මතක් වෙනවා.