Main Logo

Monday 22 November 2021

හත්තිලවුවෙ ආගම්වාද ඇති කෙළේ කවුද?

 

හත්තිලවුවෙ ආගම්වාද ඇති කෙළේ කවුද?

 

මෙරට ආගම් වාද ඇති කෙළේ කවුද? මේ මාක්ස්වාදය කටගාගත් පඬි නැට්ටකුගේ ප්‍රශ්නයක්. ඒත් සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයක්. අද ඊනියා මාක්ස්වාදීන් (ඔවුන් හදාරා ඇති මාක්ස්වාදයක් නැහැ. මාක්ස්වාදය හදාරා ඇති අයකු කිසි දා ඊනියා නිර්ධන පංතියක් ගැන කතා කරන ජ වි පෙ සමග ඇයි හොඳයිකම් පවත්වන්නේ නැහැ), වමක් නැති වමාලා, ධනවාදීන්, බටහිර රාජ්‍ය විසින් මෙහෙයවෙන ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල හෙංචයියන් ආදීන් මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහිව අත්වැල් බැඳගෙන සිටිනවා.     

 

සිංහල බෞද්ධයන් ආගම්වාදීන් නොවෙයි. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් නම් ආගම්වාදීන්. ඔවුන් හැමදාමත් කියන්නේ බටහිර නූතනත්ව ක්‍රිස්තියානි සංස්කෘතියේ වැදගත්කම ගැන. ඔවුන් අපට කියන්නේ ඒ සංස්කෘතික ආධිපත්‍යය පිළිගැනීමට. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය පදනම් වන්නේ ග්‍රීක යුදෙව් හා ක්‍රිස්තියානි චින්තන මත. ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය විසින් ඔවුන්ට අනෙක් චින්තන මත පදනම් වූ දැනුම් පෙනීමට සලස්වා තිබෙන්නේ මිථ්‍යා මත ලෙස. නූතන බටහිර දැනුම ක්‍රිස්තියානි මුස්ලිම් යුදෙව් ඒබ්‍රහාමික ආගම්වල රේඛීය චින්තනය මත පදනම් වෙනවා.

 

වත්මන් බටහිර දැනුමේ යෙහෝවා දෙවියන් හෝ අල්ලා දෙවියන් හෝ නැති වෙන්න පුළුවන්. එහෙත් රේඛීය චින්තනවල පටන් ගැනීමක් තියෙනවා. මැවීමක් තියෙනවා. මැවීම දෙවියන් වහන්සේගේ වැඩක් වීම අවශ්‍ය ම නැහැ. ඉබේට මැවෙන්නත් පුළුවන්. පට්ටපල් බොරුවක් වූ මහා පිපිරුම තමයි බටහිර විද්‍යාවට අනුව ආරම්භය. එය කෙසේ ඇති වූවා ද කියා  විශ්වවේදයේ (විශ්වගේ වේදය නොවෙයි Cosmology) ඉගැන්වෙන්නේ නැහැ. බටහිර විද්‍යාවේ ඊනියා ශක්ති සංස්ථිති නියමය කියා එකක් තියෙනවා. ඒ අනුව ශක්තිය නිර්මාණය කරන්නවත් විනාශ කරන්නවත් බැහැ. විශ්වයට ඊනියා ආරම්භයක් තිබුණා නම් එහි දී ශක්තිය නිර්මාණය කෙරුණේ කෙසේ ද? මොන පට්ටපල් බොරු ගෙතුවත් ඒ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න බැහැ. ආරම්භයේ ආරම්භය කුමක් ද?

 

ඩාවින්ගේ පරිණාමවාදයත් ගලා එන්නේ රේඛීය චින්තනයකින්. ජීවයේ ආරම්භය, පරමාණුවල ආරම්භය ආදී වශයෙන් ගොස් අවසානයේ දී මහාපිපිරුමේ හිරවෙනවා. ඒ දෙවියන් වහන්සේ නැතුවත් දෙවියන් වහන්සේගේ කාර්යය ඉටු කිරීම. ඒ දෙවියන් වහන්සේ ඒ ඒ ආගමිකයන්ට මැවුම්කරුවා, ගුරුවරයා, වන්න පුළුවන්. දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයා වෙන්නත් පුළුවන්. සිංහල තරුණයන්ට අල්ලාහු අක්බාර් කියා තමන්ට නොතේරෙන පන්ජාබ් භාෂාවෙන් අල්ලා දෙවියන් ශ්‍රෙෂ්ඨ කියා ගයන්නත් පුළුවන්. පඬි නැට්ටන්ට ඒ උපයෝගි කරගෙන ආගම්වාද ඇති කෙළේ කවුද කියා අහන්නත් පුළුවන්. දෙවියන් වහන්සේ ලෝකය මවන විට ම ආගම්වාදත් ඇති වන හැටියට ලෝකය මැවුවා කියා කාට හරි කියන්න පුළුවන්. මොහිදීන් බෙග් බුදුගුණ ගී ගැයුවේ තමන්ට තේරෙන බසකින්.  ඔහු සිංහල බෞද්ධ ආධිපත්‍යයකට යට වී නොවෙයි ගී ගැයුවේ.

 

ඒ කොහොම වෙතත් බුදුහාමුදුරුවන් අපට උගන්වල තියෙන්නෙ අන්‍යාගම්වලට ගරු කරන්න කියලා. බෞද්ධයන් අනෙක් කිසිවකු බලහත්කාරයෙන් බෞද්ධ කරල නැහැ. එහෙත් යුදෙවු ආගම හැරෙන්න අනෙක් ඒබ්‍රහාමික ආගම් ගැන එවැන්නක්  කියන්න බැහැ. යුදෙව්වකු වෙන්නෙ උපතින්.  බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ක්‍රියා කරන්නෙත් ඒ අනෙක් ඒබ්‍රහාමික ආගම් ලෙස. අද අපට අධ්‍යාපන ආයතන හරහා ජනමාධ්‍ය හරහා ලැබෙන්නේ බටහිර රේඛීය චින්තනයේ දැනුම. එය අප මත බලහත්කාරයෙන් පටවනවා. අපට පාසල් නොගිහින් බැරි වෙන විධියට  සියල්ල සකස් කෙරිලා.  එය තරම් බලහත්කාරයක් ඉතිහාසයේ සඳහන් වෙන්නේ නැහැ.

 

පෘතුගීසීන් මෙරටට පැමිණීමට ටික කලකට පෙර ඉන්දියාවෙන් (එදා ඉන්දියාව කියා රටක් නැති වුවත් අප ඒ දේශයට සම්මුතියෙන් ඉන්දියාව කියා කියනවා) පැමිණි මුස්ලිමුන් සිංහලයන් බලහත්කාරයෙන් තම ආගමට හරවා ගැනීමට ගිය බවට සාක්‍ෂි නැහැ. එහෙත් මාල දිවයිනේ. ඉන්දුනීසියාවේ, මැලේසියාවේ, ඇෆ්ගනිස්ථානයේ වැසියන්ට එසේ බලහත්කාරකම් සිදු වුණා. පෘතුගීසීන් නම් මෙරට වැසියන් කතෝලික ආගමට හරවා ගත්තේ බයිනේත්තුවේ හා වරප්‍රසාද බලයෙන්. ලන්දේසීන් ද එසේමයි. ඔවුන් පාසල් ඇති කෙළෙ ඒ අරමුණින්. ගජමන් නෝනා කතා පුවතේ මේ කරුණු කියැවෙනවා. ඉංගිරිසින් ද ආරම්භයේ දී ආගම පැතිරවීමට පාසල් යොදා ගත්තා. එහෙත් 1833 කෝල්බෘක් කැමරන් ධනවාදී යෝජනාවලින් පසුව ආගමටත් එහා ගොස් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය අපට දුන්නා.

 

ඒ අතර ඉංගිරිසින් බුදුදහමට නිග්‍රහ කරන්න පටන් ගත්තා. ඇංග්ලිකන් හා මෙතෝදිස්ත පූජකවරුන් මෙන් ම සිරිමාන්න වැනි කතිකයන් ද බුදුදහමට අපහාස කළා. පංච මහා වාද ඇති වුණේ මේ අපහාස කිරීම්වලට විරුද්ධ ව. එදා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් වෙනත් භික්‍ෂූන් වහන්සේගේ ද සහාය ඇතිව බුදුදහමට අපහාස කළවුන්ගේ, එනම් පඬි නැට්ටන්ගේ පූර්වගාමීන්ගේ (මාක්ස්වාදය ද කතෝලික චින්තනයේ බිහි වුවක්), ඔද තෙද බින්දා. ගුණානන්ද හිමියන්ට ඉංගිරිසින්ගේ අඩත්තේට්ටම්වලට හසු නොවී කොළඹ ඒමට බලපිටියේ සිට බයිසිකල් පදින්න වුණා. පඬි නැට්ටන් අහන්න පුළුවන් හාමුදුරුවරුන්ට බයිසිකල් පදින්න පුළුවන් ද කියා!

 

මෙරට ආගම්වලට විරුද්ධ ව මුලදි වැඩ කෙළේ බටහිර ක්‍රිස්තියානින්/කතෝලිකයන්. පඬි නැට්ටන් කියන්නෙ ඉංගිරිසි හා අනෙක් ක්‍රිස්තියානින් බුදුදහමට අපහාස කරන විට සිංහල බෞද්ධයන් ආරණ්‍යගත විය යුතු බව ද? කසිකබල් මාක්ස්වාදය මෙරටින් අතු ගැවී ගියේ සිංහල ජාතිකවාදීන් නිසා. මා නව සමසමාජ පක්‍ෂයෙන් අස්වන විට ලියු ඉල්ලා අස්වීමේ ලිපියටවත් ඉන්පසු ලියූ මාක්ස්වාදයේ දරිද්‍රතාව හා අපෝහකයේ රූපිකයටවත් (මේ පොත් පිංච දෙක නැවත මුද්‍රණය කරන්න කියා ඉල්ලුමක් තියෙනවා) මේ වන තුරු කිසිම පඬි නැට්ටකු පිළිතුරු දී නැහැ. එය දෙමළ කතා කරන ජනයාට දෙමළ වීම නිසා පමණක් ඇති ප්‍රශ්නය කුමක් ද යන්නට පිළිතුරක් නැතුවා වගේ.

 

මෙරට සිංහලයන් සමග සාමයෙන් ජීවත් වූ මුස්ලිමුන් සිංහල බෞද්ධයනට විරුද්ධ ව යොදා ගනු ලැබුයේ ඉංගිරිසින් විසින්. සිංහල බෞද්ධ රාජ්‍යය (එහි රජවරුන් නායක්කාර් වාංශිකයන් වීමෙන් රාජ්‍යයේ සිංහල බෞද්ධකම නැති වන්නේ නැහැ. රාජ්‍යයක විවිධ වංශවල රජවරුන් ඉන්න පුළුවන්. මෞර්ය වාංශිකයන්, ලම්බකර්ණ වාංශිකයන් මෙරට රජ කළා. පඬි නැට්ටන් අගය කරන එංගලන්තයේ නෝර්මන්, ටියුඩර්, ස්ටුවර්ට් ආදී වාංශිකයන් රජ කර තියෙනවා. අද එහි රජ කරන්නේ වින්ඩ්සර් වාංශිකයන්. එලිසබෙත් වින්ඩ්සර් තමයි අද එංගලන්තයේ රැජින) බිඳ දැමීමට ඔවුන් මුස්ලිමුන් මෙන් ම ජේ ආර්ගේ මුත්තණුවන් වූ ක්‍රිස්තියානින් ද යොදා ගත්තා.

 

1915 මුස්ලිම් කැරැල්ල සිංහල බෞද්ධයනට විරුද්ධ ව ඇති කරනු ලැබුයේ ඉංගිරිසි ක්‍රිස්තියානින් විසින්. ඉංගිරිසින් ලෝකයේ හැම තැනක් ම බෙදා වෙන් කර පාලනය කළ බව බොහෝ දෙනා දන්නවා. එහෙත් නොදන්න දේ තමයි රටක සංස්කෘතිය බිඳ දැමීමට ඉංගිරිසින් ඊනියා ජනවර්ග යොදා ගත් බව. මෙරට විශේෂිත වූ සංස්කෘතිය සිංහල බෞද්ධ. එය පුරාණයේ දී නම් හැඳින්වුණේ සිංහල කියා. ඉන්දියාවේත් චීනයේත් සිංහල නැත්නම් සිහල භික්‍ෂුන් වහන්සේ ගැන මෙන් ම නැව් ගැන ද සඳහන් වෙනවා. එකල චීනයට පැමිණි විශාලතම නැව් සිංහල නැව් කියා චීන ඉතිහාසයේ සඳහන් වෙනවා. පසුව සිංහල බෞද්ධ යන යෙදුම අවශ්‍ය වූයේ ඇතැම් සිංහලයන් කතෝලික/ක්‍රිස්තියානි වූ නිසා.

 

වර්තමානයේ මෙරට මුස්ලිම් විරෝධයක් ඇත්තේ සිංහල බෞද්ධයන්ගේ පමණක් නොවෙයි. සිංහල  කතෝලිකයන්ගේ ද මුස්ලිම් විරෝධයක් තියෙනවා. පඬි නැට්ටන්ට එය පේන්නෙ නැහැ. මේ මුස්ලිම් විරෝධය ඇති වුණෙ මුස්ලිම් අන්තවාදීන් මෙරට තම අන්තවාදී මත අනුව කටයුතු කිරීම නිසා. පසුගිය දවස්වල විස්සයි විස්ස තරග නැරඹූ අය දැක්කා මුස්ලිම් තරුණියන් බුර්කාව නැතිව සිටි අයුරු. ඒ අරාබිකරයේ. එහෙත් ලංකාවෙ එහෙම බැහැ. මුස්ලිම් අන්තවාදීන්  සිංහලයන් කුපිත කරන අයුරින් හැසිරෙනවා. පඬි නැට්ටන්ගේ ගෞරවයට පාත්‍රවන ප්‍රංශය ඕස්ත්‍රේලියාව වැනි රටවල් නම් කිවුවේ තම රටේ සංස්කෘතියට අනුව ජීවත් වෙන්න බැරි නම් මුස්ලිමුන් වෙන රටකට  යා යුතු ය කියා. සිංහල බෞද්ධයන් කිසිවකුට එසේ කියා නැහැ.

 

පඬි නැට්ටන් කැමති ඇති සිංහල බෞද්ධ නොවන්නන් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට ක්‍රියා කිරීමට. පඬි නැට්ටන් කරන්නේත් එයමයි. ඔවුන්ට අවශ්‍ය අප ඉංගිරිසි ක්‍රිස්තියානි ආධිපත්‍යයට දිගින් දිගට ම යටත් කරන්න. එමෙන් ම පඬි නැට්ටන් කැමති ඇති සිංහල බෞද්ධයන් තමන්ට විරුද්ධ ව සිංහල බෞද්ධ නොවන්නන් ක්‍රියා කරන විට නවගුණවැල අතට ගන්නවට. එසේ නොවන විට පඬි නැට්ටන් කෑ ගහනවා සිංහල බෞද්ධයන් ආගම්වාද ජාතිවාද ඇති කරනවා කියා. මෙරට ආගම්වාද ජාතිවාද ඇති කෙළේ සිංහල බෞද්ධයන් නොවන අය.

 

මෙරට ප්‍රධාන ප්‍රශ්නය සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විය යුතු තැන අහිමි වීම. සිංහල බෞද්ධයන් සටන් කරන්නේ ඒ තැන ලබා ගැනීමට පමණයි. පඬි නැට්ටන් ඒ සටනට පමණක් ජාතිවාදී ආගම්වාදී විශේෂණ පට බඳින්නේ බටහිරයන්ගේ ද සහාය ඇතිව.  මෙය හත්තිලවුවක් ම තමයි. සිංහල බෞද්ධ සංස්කෘතියට හත්තිලවුවක් ඇති කරන්න උත්සාහ ගන්නවා.  හත්තිලවුවක් කියන්නෙ ඉලවු හතක්. මරණ හතක්. අද විවිධ කොටස් හතක් සිංහල බෞද්ධයනට මරණය ගෙන දීමට අත්වැල් බැඳගෙන.  ඒත් හිතන්න එපා සිංහල බෞද්ධයන් හත්තිලවුවට බයේ නිහඬ වෙයි කියලා.