අයවැය ගැන නොවෙයි
අයවැය ගැන කියන්න දෙයක් නැහැ. ආණ්ඩු පක්‍ෂයට අයවැය හොඳයි. විපක්‍ෂයට හොඳ නැහැ. අයවැය ලේඛනය කියන්නෙ තවත් දේශපාලන ලියවිල්ලක් පමණයි. කාලෙක ඉඳලා අපේ අයට වඩා වැය වැඩියි. ඒ පරතරය පියවන්නෙ කොහොමද කියල පස්සෙ තමයි තීරණය වෙන්නෙ. ණය ගත්තට ප්‍රශ්න විසඳෙන්නෙ නැහැ. අපේ ණය කොච්චර ද කියන එක මා දන්නේ නැහැ. මා සංඛ්‍යා ලේඛනවලට ප්‍රිය කෙනෙක් නො වෙයි. ඒත් යමපාලකයන් ණයට කෑව බව නම් දන්නවා.
හැමෝ ම වගේ කියාවි අපට ජාතික ප්‍රතිපත්තියක් නැහැ කියල. අපට ජාතික ප්‍රතිපත්තියක් ඇති කර ගන්න බැහැ. අප ජාතියක් හැටියට කටයුතු කරන්නෙ අප රට සහභාගි වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල දි පමණයි. අප සාම්ප්‍රදායික කුල වශයෙන් නව රැකියා කුල වශයෙන් ආගම් වශයෙන් දේශපාලන පක්‍ෂ වශයෙන් බෙදිල. මා හිතන්නෙ ජාතියක් හැටියට ක්‍රියා කරන්න තව කාලයක් ගත වේවි කියල. ජාතික ප්‍රතිපත්ති ඇති කර ගන්න ඊටත් වඩා කලක් යාවි. ඒ නිසා ජාතික ප්‍රතිපත්ති ඇති කර ගනිමු කියන එකටත් ඉල්ලුමක් තියෙනවා. අප සමහරකුට ජාතික ප්‍රතිපත්ති ඇති කර ගනිමු යන්න කියව කියව සමාජයේ ප්‍රබුද්ධයන් වෙන්න පුළුවන්.
ජාතික ප්‍රතිපත්ති නැති අපට තනිකර ම පක්‍ෂ ප්‍රතිපත්ති අනුව රට කරවන්න සිද්ධ වෙනවා. පක්‍ෂ ප්‍රතිපත්ති කිවුවත් ඒ බොහෝ වෙලාවට පුද්ගල ප්‍රතිපත්ති. බලය ලබා ගැනීමේ හරි බලය රැක ගැනීමේ හරි ප්‍රතිපත්ති. පුද්ගලයන්ට පක්‍ෂ මාරු කරන එක කමිස මාරු කරනවා වගේ දෙයක්. දේශපාලනයේ ස්ත්‍රීන් එතරම් නැති නිසා සාරි මාරු කිරීම් ගැන කියවෙන්නෙ කලාතුරකින්.
වත්මන් පාර්ලිමේන්තුවේ දිගට ම එක ම දේශපාලන පක්‍ෂයක හිටි මන්ත්‍රීවරුන් කී දෙනකු ඊනියා ජ්‍යෙෂ්ඨයන් අතර ඉන්නවා ද? නවකයන්ට තවම දේශපාලන පක්‍ෂ මාරු කිරීමේ අවස්ථාව ඇති වෙලා නැහැ. ඔවුන්ට ඉක්මණින් ඒ අවස්ථාව ලැබේවි. මන්ත්‍රී විශ්‍රාම වැටුප ලබා ගැනීමට අවුරුදු දහයක් ඉන්න ඕන නිසා සමහරු කොහොම හරි ඊළඟ පාර්ලිමේන්තුවටත් පත් වෙන්න බලාවි.
ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ටත් අවුරුදු දහයේ නීතිය බලපානවා ද? ඔවුන් පාර්ලිමේන්තුවට පත් වුණෙ අවුරුදු පහෙන් විශ්‍රාම වැටුප හිමි වෙන නීතිය යටතේ. ඔවුන්ගෙ අයිතියක් එහෙම වෙනස් කරන්න පුළුවන් ද? එය මානව අයිතිවාසිකම් කඩ කිරීමක් ද? යමකු යම් ආයතනයක රැකියාවකට පත්වෙන විට තියෙන කොන්දේසි වෙනස් කරන්න පුළුවන් එයින් ඒ තැනැත්තාට වාසියක් වෙනව නම්. මන්ත්‍රී කමත් රැකියාවක් තමයි.
රාජ්‍ය සේවකයන්ගෙ විශ්‍රම ගැනීමේ වයස හැටපහ දක්වා දික් කරලා. ඒක බොහෝ දෙනකුට වාසියක්. ඒ නිසා ඒ වයස එසේ දික් කරන එක ප්‍රශ්නයක් නො වෙයි. ඒත් මා හිතන්නෙ නැහෑ ඒක අනිවාර්ය විය යුතු ය කියල. අවශ්‍ය කෙනකුට විශ්‍රාම වැටුපට බල නොපාන පරිිදි අවශ්‍ය නම් හැටේ දි විශ්‍රාම ගැනීමටත් පුළුවන් වෙන්න ඕන. කොහොමටත් රාජ්‍ය සේවය නම් රටට බරක්. කියන විධියට රජයේ ආදායමෙන් 80%ක් පමණ රාජ්‍ය සේවයේ වැටුප් විශ්‍රාම වැටුප් ආදිය ගෙවීම සඳහා වැය වෙනවා. එහෙත් රාජ්‍ය සේවයෙන් සිදුවන සේවය කුමක් ද? අඩු තරමේ රජයේ ප්‍රතිපත්ති ප්‍රශ්න ඇති කරන්නෙ නැතිව ක්‍රියාත්මක කරන්න රාජ්‍ය සේවයට පුළුවන් ද? රාජ්‍ය සේවය දේශපාලන පක්‍ෂවල ආධාරකරුවනට හිතවතුනට රැකියා සපයන ආයතන නොවිය යුතුයි.
අයවැය තීරණයට විරුද්ධ ව විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගැබේ උද්ඝෝෂණයක් කරවි ද? ඉල්ලීම් හරියට දිනා නොගත්තත් ගුරු බොරුවන් තමන්ගෙ උද්ඝෝෂණ ඉවර කර ඇති නිසා පාර්ලිමේන්තු සභා ගැබේ උද්ඝෝෂණ පටන් ගන්න පුළුවන්. ඒත් අර ගොවි උද්ඝෝෂණ ඉවර නැහැ. විපක්‍ෂයෙ සමහර මන්ත්‍රීවරුත් ඒ උද්ඝෝෂණවලට සහභාගි වෙනවා. ඔවුන් කියාවි ඒ ගොවීන්ගෙ ආධාරයට කියා. ඒත් මට සිහි වෙන්නෙ කුඹුරක් දැක නැති දැරියන් වේදිකාවෙ ගොයම් කැපීම. සමහර ගොවියන් ගැනත් කියන්නෙ තියෙන්නෙ ඒකමයි.
මා අහගෙන හිටියා එක් ගොවියකු කියනවා තම මුතුන් මිත්තන් මේ ආණ්ඩුවට ශාප කරාවි කියල. ඒ මුතුන් මිත්තන් ඔය කෘෂිරසායනික පොහොර කියන ඒවා දැම්ම ද කියල ඔහු කිවුවෙ නැහැ. පොහොර ප්‍රශ්නයට විසඳුම් දීමේ දී අඩුපාඩු සිදු වී තියෙනවා. එහෙත් මුතුන් මිත්තන් නම් කැමති වේවි කෘෂිරසායන පොහොර යොදා ගන්නෙ නැත්නම්. මුතුන් මිත්තන් කාට ශාප කරාවි ද යන්න නම් ප්‍රශ්නයක්.
ජනමාධ්‍ය සුපුරුදු පරිදි ප්‍රශ්න අවුල් කරනවා. එකල ජාතික මතවාද වෙනුවෙන් කටයුතු කළ දිවයින පුවත්පත හැරුණු විට ජනමාධ්‍ය බලන්නෙ තම ග්‍රාහකයන් වැඩි කර ගන්න. ඔවුන් රටට හිතකර යැයි හිතෙන මතයක් සමාජගත කිරීමට වෙහෙසෙන්නෙ නැහැ. ග්‍රාහකයන් වැඩි වූ තරමට වෙළෙඳ දැන්වීම් හා එමගින් ආදායම වැඩි වෙනවා. නිවේදක නිවේදිකාවන් බලන්නෙ තම ජනප්‍රියතාව වැඩි කර ගන්න. ග්‍රාහකයන් වැඩි වන තරම අනුව ජනමාධ්‍ය බද්දක් අය කරන්න බැරි ද?