නොදන්නා දෙමළෙට ගිහින් වරිගෙ නසා වලිගෙ බේරා
ගැනීම
පසුගිය දහඅටවැනි දා අනුරාධපුරයේ පැවති සඳ හිරු සෑය සසුනට පූජාකිරීමේ පින්කමට සහභාගි වීමට නොහැකි වීම ගැන මා කණගාටු වෙනවා. මට ආරාධනයක් ලැබී එහි යෑමට නොහැකි වූයේ අදාළ යම් යම් කරුණු සපුරා ගැනීමට නොහැකි වූ බැවින් මිස ඇතැම් පඬි පෝතකයන් මෙන් එයට විරුද්ධත්වය දැක්වීම සඳහා නො වෙයි. මා දහනවවැනි දා පැවැත්වූ උත්සවයටත් රුවන්වැලි සෑ පරිශ්‍රයේ පැවැත් වූ පින්කමටත් සහභාගි වුණා. පසුදා ගොස් සඳ හිරු සෑය වැඳ පුදා ගත්තා.
අරහත් මහේන්ද්‍ර ග්‍රාමණී රාජ අග්‍රාමාත්‍ය
මහේන්ද්‍ර මැයෙන් මා ලියූ ලිපියට ඇතැමුනට තරහ ගිහින්. ලිපියක් කියවා තේරුම් ගැනීමට
බැරි පඬි නැට්ටන් ජනමාධ්‍යයේ මෙන් ම ඉන් පිටතත් ඉන්නවා. මේ බොහෝ දෙනකු සාමාන්‍ය
පෙළ සාමාන්‍ය විද්‍යාවෙන් එහාට බටහිර විද්‍යාව හදාරා නැති නමුත් බටහිර විද්‍යාවට
දණ්ඩ නමස්කාර කරනවා. ඔවුන් බටහිර දැනුම් ආධිපත්‍යය පිළිගන්නවා. ඔවුන් හිතන්නේ
මහාචාර්යවරුන් ඊනියා විශේෂඥයන් මහා බුද්ධිමතුන් කියා. අපි නොදන්න මහාචාර්යවරු. මේ
සියලු දෙනා වැඩිම වුවහොත් දත්ත ගබඩා පමණයි. ඔවුන් දන්නවා එදා පාස්කු ඉරිදා උදේ
සහාරාන් කෑවෙ මොනවා ද කියාත්.
මා දුටුවා රොහාන් ගුණරත්න නම් ඊනියා විශේෂඥයා
එක් නාළිකාවක සහාරාන් ගැන කියවනවා. ඔහුගේ විශේෂඥකම අනුව ඔහු ඒ දිනවල කිවුවේ ප්‍රභාකරන්
පැරදවිය නොහැකි බව. ඔහුට කිසිම ලජ්ජාවක් නැහැ ඔහු කී දේ වැරදීම පිළිබඳවවත්.
මහාචාර්යවරුන් කියන අය ලෝකයට ඉදිරිපත් කර ඇති අලුත් අදහස් මොනවා ද? මහාචාර්ය
පදවියට පත්වීම පිළිබඳ ව ඇති ලකුණූ ක්‍රමය හැදෑරීමෙන් හා ඒ අනුව කටයුතු කිරීමෙන්
මහාචාර්යවරයකු වෙන්න පුළුවන්. ශිෂ්‍යත්වය අසමත් වූ අය, විශ්වවිද්‍යාල ප්‍රවේශයෙන් මුල දී
ඇතුල් වෙන්න බැරුව පසුව පැමිණි අය (බෝට්ටුවේ), සාමාන්‍ය
උපාධි ලබා ගෙන පසුව පශ්චාත් උපාධියක් ලබා ගත් අය, බාහිර උපාධිධාරීන් ව පශ්චාත් උපාධි ගත් අය ආදී
පිරිසක් මහාචාර්යවරුන් අතර දකින්න පුළුවන්. ඔවුන් කියාවි තමන් පසු කාලීන ව
වර්ධිතයන් වූ අය (late developers )
බව. ඒත් මට නම් එහෙම වර්ධනයක් පෙනෙන්න නැහැ. ඉංගිරිසි ලේට් කියන වචනය මියගිය අය
ගැන කීමටත් යොදා ගන්නවා.
ගැමුණු රජු රුවන්වැලි සෑය කරවීම පිළිබඳ
ඉතිහාසයක් තියෙනවා. එය ථූපවංශය මහාවංශය වැනි පොත් කියවා දැන ගන්න පුළුවන්. එතුමා
රුවන්වැලිය කරවීමට රත්නවල්ලී දෙවඟනගේ පුදබිම යොදා ගත්තෙ. රුවන්වැලිය එසේ නම් කෙරී
ඇත්තේ ඇගේ නමින් මිස ඊනියා ස්වර්ණමාලියකගේ නමින් නො වෙයි. ඒ කුමක් වුණත් ගැමුණු
රජුගේ ව්‍යායාමය වූයේ බුදුසසුනේ චිරස්තිථිය මිස රජ සැප නො වෙයි. බුදුසසුනේ
චිරස්ථිතිය සඳහා තමයි එළාර පැරැද්දුවේ. ගැමුණු රජු ගැන අප දන්නේ එළාර පරදවා රුවන්වැලිය කරවූ රජු ලෙස මිස වැවු
තැන වූ රජකු ලෙස නො වෙයි. මිරිසවැටිය හාමුදූරුවරුන්ට දානයක් වැරදීම නිසා කළ චෛත්‍යයක්.
මිරිසවැටිය ගැමුණු රජුගේ වැඩක් ද කියා ඇතැමුන් නොදන්නවාත් ඇති.
රුවන්වැලිය බුදුසසුනේ චිරස්තිථිය සඳහා කරවූවක්
මිස පෞද්ගලික කටයුත්තක් මුල් කරගෙන තැනවූවක් නො වෙයි. එළාර නොපරදවන්න බුුදුසසුන
ලංකාවෙන් නැති වී යන්න ඉඩ තිබුණා. වංශකතාවල ඇත්තේ මොනවා ද කියන එක දැනගෙන සිටීම
දත්ත ගබඩාවල කටයුත්තක්. ඒත් වංශකථාවල ඇති කරුණු අතරින් (ඉංගිරිසියෙන් කියන විධියට
පේළි අතරින්) පොඩි දෙයක්වත් අලුතෙන් ඔවුන්ට කියන්න බැහැ. ඒ ඊනියා උගත්කමේ ලක්‍ෂණයක්.
මා කලින් කී ලිපියෙහි මෙසේ සඳහන් කළා. ඒ මා උගතකුවත් දත්ත ගබඩාවක්වත් නොවන නිසා.
“රුවන්වැලි සෑය ඉදි කෙරුණේ ගැමුණු (ග්‍රාමණී)
රජු එළාර සමග යුද්ධ කර රට එක්සේසත් කර සිංහල බුදුසසුන රැක ගැනීම සිහි වීමට. සඳ
හිරු සෑය ඉදි කෙරුණේ මුල සිට එංගලන්තයෙන් හා යම් කාලයක ඉන්දියාවෙන් අනුග්‍රහය
ආශිර්වාදය හා අනුබලය ලැබූ දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව. සෑ
රජුන් එක් පැත්තකින එකල හා මෙකල රණවිරුවන් සිහිකිරීමත් සඳහා.”
අප ජයග්‍රහණ සමරනවා. සිදුහත් කුමරු මාර පරාජය
කර බුදු වීම අපි අවුරුදු පතා සමරනවා. එහි දී පරාජය වුණු මාරයා ගැන මගේ නම්
අනුකම්පාවක් නැහැ. සමහර විට මගේ පෙර භවයක මා මාරයා වී ඉන්නත් ඇති. සමහරුනට මා
මාරයකු සේ පෙනෙන්නේත් ඒ නිසා වෙන්න ඇති. ඒ කොහොම වුණත් මුගලන් හාමුදුරුවොත් මාරයා
වී උපත ලබා ගෙන තියෙනවා. එසේ වුවත් මාර පරාජය ගැන අප අවුරුදු පතා සතුටු වෙනවා. එය
සමරනවා. උත්සව පවත්වනවා. මොනවා වුණත් මාරයා සත්වයකු කියා අප කණගාටු වන්නේ නැහැ.
එළාර මෙරටට කොහේ සිට පැමිණියත් ඔහු පරාජය
නොකරන්න බුදුසසුනේ චිරස්තිථියක් දැක ගන්න බැහැ. එළාර පරාජය නොකළා නම් අද සියලු
පරාජිතයන් හමුවේ කරුණාව උපදවා ගෙන කටයුතු කරන ඇතැම් හාමුදුරුවරුන්ට බයිලා කියන්න
අවස්ථාවක්වත් ලැබෙන්නේ නැහැ. ඒ එදා. මෙදා පරාජය වුණේ මෙරට දෙමළ ජනයා නො වෙයි. දෙමළ
ජනයාට විරුද්ධ ව හමුදාව සටන් කෙළේ නැහැ. හමුදාව කෙළේ මානුෂික මෙහෙයුමක්. ඒ දෙමළ
කතා කරන ජනතාවත් දෙමළ ත්‍රස්තවාදයෙන් ගලවා ගැනීමට. අද දෙමළ කතා කරන ජනතාවට තම
දරුවන්ට උගන්වා ගෙන වැඩක් පළක් කර ගෙන ඉන්න පුළුවන් අපේ හමුදාව දෙමළ ත්‍රස්තවාදය
පරාජය කළ බැවින්. එ ගැන දෙමළ කතා කරන ජනයාටත් සතුටු වෙන්න පුළුවන්. අද එය වළක්වනවා
නම් ඒ බටහිරයන්ගේ අනුග්‍රහය ආශිර්වාදය හා අනුබලය ලබන දෙමළ වෙල්ලාල නායකයන් මිස වෙන
කවුරුන්වත් නො වෙයි. දෙමළ කතා කරන ජනයාට යහපතක් වනු දැකීමට අකමැති විග්නේස්වරන්
වැනි දෙමළ වෙල්ලාල නායකයන්. විග්නේස්වරන් උතුරු පළාත් සභාවට වෙන් කළ මුදලවත් එහි
ජනතාවගේ යහපත වෙනුවෙන් වැය කෙළේ නැහැ.
අපේ හමුදාව පරාජය කෙළේ දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය.
මා රොහාන් ගුණරත්න වැනි විශේෂඥයකු නො වෙයි. ඒ නිසා මා ලොකුවටවත් කුඩාවටවත් නාභිගත (focus) වෙන්නේ නැහැ. උගතකු නොවූ මා එදා සිට ම
කිවුවේ දෙමළ ජාතිවාදය ලන්දේසීන්ගේ හා ඉංගිරිසින්ගේ නිර්මාණයක් බවත් දෙමළ ත්‍රස්තවාදය
එංගලන්තයේ හා ඉන්දියාවේ අනුබලය අනුග්‍රහය හා ආශිර්වාදය මත කෙරුණු එකක් බවත්.
නන්දිකඩාල් කලපුවේ පරාජය වුණේ මේ සියල්ලන් මිස දෙමළ කතාකරන ජනයා නො වෙයි.
ඉන්දියාවේ එංගලන්තයේ හා ඔවුන්ගේ දාසයන්ගේ
අයගේ පරාජය වෙනුවෙන් අප අනුකම්පා කළ යුතු නැහැ. බුදුසසුනේ චිරස්ථිතිය සඳහා
ඔවුන් පරාජය කළ යුතු ව තිබුණා. ඔවුන් ද මාරයන්. නොඑසේ නම් තව ටික කලකින්
හාමුදුරුවරුන්ට මහාචාර්යවරුන් වෙන්න බැරි වෙන්න තිබුණා. හාමුදුරවරුන්
මහාචාර්යවරුන් වීම බුදුසසුනේ චිරස්ථතිය සඳහා අවශ්‍ය යැයි මා කියනවා නො වෙයි.
අද නම් අර ලකුණු ටික එකතු කර ගත්තම ගිහි පැවිදි
ඔිනෑම අයකුට මහාචාර්යවරයකු වෙන්න පුළුවන්. ඒ නිසා කිසිවකු මහාචාර්යවරයකු වීම නිසා
තවත් අයකු පරාජය වන්නේ නැහැ. ඒත් පළමුවෙන් පරිවාස කථිකාචාර්ය ධුරයක් ලබා ගන්නේ
බොහෝ විට වෙනත් අය පරාජය කරමින් ඔවුන්ට එ අහිමි කරමින්. අප ඒ ජයග්‍රහණ සමරනවා
පමණක් නො වෙයි ඒ මත පදනම් වී ශිෂ්‍යත්ව ලබා ගෙන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යකම්
මහාචාර්යකම් ලබා ගන්නවා. අප පරාජිතයන් ගැන කරන අනුකම්පාවක් නැහැ. අප කරන්නේ ලකුණු
එකතු කිරීමයි.
ඊනියා මහාචාර්යවරුන් තමන් නොදන්නා දේ කතා නොකර
ඉන්න ඕන. අර මියන්මාරයේ සු චී කියන්නෙ එරට චන්ද්‍රිකා. ඇයත් බටහිර අතකොළුවක්. ඇය
තව අවුරුදු කිහිපයක් බලයේ සිටියා නම් මියන්මාරය හතට අටට කැඩෙනවා. චන්ද්‍රිකා මෙරට
බලයේ සිටිය නම් අප රට කැඩෙනවා. එවිට බුදුසුනත් නැති වෙනවා. ඉන්දියාව අද දක්වන
කරුණාව ව්‍යාජයක් පමණයි. කුසිනාරාවට ගුවන් ගමන් සැපයුවත් බුද්ධගයාව ඇති බිහාරය
දුගී ප්‍රාන්තයක්.
වජිරාට සම්මාන දෙන්නේත් යොහානි පුම්බන්නේත්
සිංහලයන්ගේ විශේෂයෙන් ම මධ්‍යම පංතියේ හිත දිනාගැනීම සඳහා මිස බුදුසසුනේ
චිරස්ථිතිය සඳහා නො වෙයි. ඉන්දියාවට අවශ්‍ය කවදා හරි අප එහි ප්‍රාන්තයක් කර
ගැනීමයි. එළාරට එවැනි අදහසක් නොතිබුණේ එදා ඉන්දියාවක් නොතිබූ නිසයි. ඔහුට අවශ්‍ය
වූයේ මෙරට දෙමළ රටක් කිරීමට. ප්‍රභාකරන් හා දෙමළ ත්‍රස්තවාදය ජයගත්තා නම් ඉන්දියාව
හා එංගලන්තය එකතු වී අප තමිල්නාඩුවේ කොටසක් බවට පත්කරනවා. ඔය මහාචාර්යවරුන් අද
ඊනියා ජාතික සමගියක් ගැන කතා කළත් සිංහලයන් දෙමළ ඉගෙන ගත යුතු බව කීවත් ඔවුන් දන්නා දෙමළක් නැහැ. ඔවුන් කරන්නේ පුහු
වීරයන් වීම සඳහා නොදන්නා දෙමළෙට ගිහින් වරිගෙ නසා ගැනීම පමණයි. ඔවුන්ට ඉතිරි වන්නේ
වලිගෙ පමණයි.