තුන්වැනි වසරට පිය නැගීම
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ තම ධුර කාලයේ තුන්වැනි වසරට පිය නගන්නේ අර්බුද මැද. ඒ අර්බුද අවුරුදු දෙකක මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් නොව අවුරුදු හැත්තෑ දෙකකින් බහුතර කාලයක තිබූ යමපාලනවලින් ඇති වුූ දේ. අර්බුදය ටිකින් ටික මෝරා ඇවිත් වසංගතය නැත්නම් අලි ගෙම්බිරිිස්සාව නිසා ඉස්මත්තටම ඇවිත්. වසංගතයට මා අලි හෙම්නිරිස්සාව කියන්නේ එය උග්‍ර වර්ගයක හෙම්බිරිස්සාවක් වැන්නක් නිසා. අලි හෙම්බිරිස්සාවට බටහිර වෙදකමේ ප්‍රතිකාරයක් නැහැ. එහෙත් සිංහල පාරම්පරික වෙදකමේ නොයෙකුත් බෙහෙත් වර්ග තියෙනවා. ඒ හැම එකක ම පාහේ සුදුළුණු ගම්මිරිස් තියෙනවා.
අද අප වෙනත් සුසමාදර්ශයකට නොව වෙනත් චින්තනයකට මාරුවීමේ අවශ්‍යතාව පැන නැගිලා. එහෙත් එය සීරුවෙන් කළ යුත්තක්. චින්තන වෙනසක් අවුරුදු තුනක දී සම්පූර්ණ කරන්න බැහැ. එය ක්‍රමානුකූල ව පියවරෙන් පියවර කරන්න ඕන. මා හිතනවා අප පොහොර ප්‍රශ්නයෙන් පාඩමක් ඉගන ගන්න ඕන කියා. චින්තන වෙනසක් එක් පෑන් පහරකිනුත් කරන්න පුළුවන්. ඒ ඒකාධිපතිවාදයක. ලෙනින් ඊනියා සෝවියට් දේශයේ කළේ එවැන්නක්. ඔහු ඊනියා සෝවියට් දේශයට ධනවාදය (අවශ්‍ය නම් රාජ්‍ය ධනවාදය) හඳුන්වා දුන්නා. එංගලන්තයේ ධනවාදය එසේ ඇති වුණේ නැහැ. ඒ සඳහා කාලයක් ගත වුණා. ලෙනින්ට ධනවාදය ගැන පරීක්‍ෂණ (අත්හදා බැලීම්) කරන්න අවශ්‍ය වුණේ නැහැ. ඔහුට බටහිර යුරෝපයෙන් ඉගෙන ගන්න හැකි වුණා.
ලංකාවේ එවැන්නක් !833 කෝල්බෘක් කැමරන් කොමිසමෙන් කෙරුණා. මෙරට ධනවාදය ඇති කෙරුණේ ඒ කොමිසමේ යෝජනාවල ප්‍රතිඵලයක් ලෙස. මේ යෝජනා ඉංගිරිසින් විසින් ද ඔවුන් අනුව යන අනුකාරක ජී සී මෙන්ඩිස් පූජකතුමාගේ ගණයේ පරපුටු කිසිම නිර්මාණශීලි අදහසක් නැති ගිරවා අච්චුවේ ඉතිහාසඥයන් විසින් ද හඳුන්වනු ලබන්නේ ලැබුයේ කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණ ලෙස. ප්‍රතිසංස්කරණය කෙරුණේ කුමක් ද? එය ප්‍රතිසංස්කරණයක් නොව මෙරට ධනවාදයට යට කිරීමක්.
වමක් තිබූ කාලයේ වාමාංශිකයන් ද වමක් නැති මෙකල වමාලා ද, අවිචාරයෙන් මෙරට ට ධනවාදය හඳුන්වා දුන් මේ ඒකාධිපති යටත්විජිතවාදී යෝජනා ඊනියා ප්‍රතිසංස්කරණ ලෙස හඳුන්වනවා. කෝල්බෘක් කැමරන් රාජකාරි ක්‍රමය අහෝසි කළා. අනුකාරක අධ්‍යපනයක් මෙරට නීතිගත කළා. මෙරටට පැමිණි මිෂනාරි මෙතෝදිස්ත පූජකවරුන් 1814 දී රිච්මන්ඩ් විදුහල ඇති කෙළේ ප්‍රධාන වශයෙන් ම තම ආගම ප්‍රචාරය කිරීමට. කෝල්බෘක් කැමරන් ඉන් එහාට ගොස් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මෙරට අධ්‍යාපනයෙන් දරුවන්ට කැවීමට කටයුතු කළා. අධ්‍යාපනය සඳහා කොමිසමක් පත් කෙරුණා. එංගලන්තයේ ඊනියා මහජන පාසල් (පබ්ලික් ස්කූල්ස්) නමින් හැඳින්වුණු හැරෝ ඊට්න් ප්‍රභූ පාසල් අච්චුවේ පාසලක් මෙරට පිහිටුවීමට යෝජනා කෙරුණා.
1835 දී කොළඹ ඇකඩමිය (විවිධ නම්වලින් හඳුන්වනු ලැබ අවසානයේ දී රාජකීය විදුහල ලෙස නම් කෙරුණු) පිහිටුවීමේ දී ඒ අදහස් යොදා ගැණුනා. කොළඹ ඇකඩමිය එදත් අදත් රජයේ පාසලක්. රාජකීය විදුහල ලංකාවේ ඊට්න් විදුහල ලෙස හැඳින්වුණේ මේ සම්ප්‍රදායේ. අදත් මෙරට ඇත්තේ ඒ අධ්‍යාපන ක්‍රමයයි. ඕල්කට්තුමා එය වෙනස් කෙළේ නැහැ. ආනන්ද විදුහල බෞද්ධාලේපිත රාජකීය විදුහලක් පමණක් වුණා. එය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිිද්‍යාලයේ බිත්තියක බෞද්ධ කොඩිය ආලේප කර තියෙනවා වගේ. අද වන විට පිරිවෙන් ද ක්‍රියාත්මක වන්නේ ක්‍රිස්තියානි සංස්කෘතික අච්චුවේ. මේ අධ්‍යාපනය වෙනස් කරන්න ඕන. ඒත් ඉංගිරිසින්ට මෙන් අපට එය එක් පෑන් පහරකින් කරන්න බැහැ. මෙරට ඒකාධිපති රාජ්‍යයක් නැහැ. එහෙත් අපට යම් මූලික යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්.
ආකල්පවල වෙනසක් ඇති වෙන්න ඕන. අලි හෙම්බිරිස්සාව ඒ සඳහා යොදා ගන්න පුළුවන්. පාරම්පරික අත් බෙහෙත් ගැන පාසලේ කියා දෙන්න පුළුවන්. පරිසරයේ ඇති පැලෑටි ගස්වැල් හඳුනා ගැනීමට උගන්වන්න පුළුවන්. ආචාර ධර්ම වැඩි හිටියන්ට ගුරුවරුන්ට සැලකීම, පාරේ සහ වෙනත් තැන්වල විනය පවත්වා ගෙන යෑම ගැන පාඩම් ඉදිරිපත් කරන්න පුළුවන්.
පරිසරය අප වෙනුවෙන් යොදා ගැනීමේ යුදෙවු ක්‍රිස්තියානි අදහස වෙනුවට පරිසරය සමග ජීවත්වීම (සහජීවනය) කියා දෙන්න පුළුවන්. පෞද්ගලිකත්වය නොව සාමුහිකත්වය වැදගත් බව, අපට යුතුකම් කියා කොටසක් ඇති බව උගන්වන්න පුළුවන්. ජී සී මෙන්ඩිස් අච්චුවේ නොවන ඉතිහාසයක් පාසල් පොත්වල තියෙන්න ඕන. සෞන්දර්යය අපට ආවේණික අයුරකින් විඳින්න සලස්වන්න ඕන. මගේ රසායන විද්‍යා ගුරුවරයා අපට අවුරුදු දහහතරේ දී කියා දුන් චක්‍රීය චින්තනය සිසුන්ට ලබා දෙන්න පුළුවන්. ගණිතය පළමුව සංයුක්ත ව උගන්වා පසුව වියුක්තයට ක්‍රමික ව යන්න ඕන. එකයි දෙකයි එකතු කරන්න පෙර ළමයකු හා ළමයි දෙදෙනකු එකතු කරන්න ඕන. එකේ ගොඩ දෙකේ ගොඩ ආදී වශයෙන් උගන්වන්න පුළුවන්. වියුක්ත සංකල්ප පළමුවෙන් ගොඩ නැගෙන්නේ සංයුක්ත සංකල්ප ඇුසුරෙන්. එහෙත් පසුව වියුක්ත සංකල්ප වියුක්ත සංකල්ප ඇසුරෙන් ම ඇති වෙනවා.
ආර්ථික අර්බුදය අද ඔඩු දුවා ගොස්. එය තමයි ක්‍ෂණික ප්‍රශ්නය. එයට ප්‍රධාන හේතුව අපනයනවලට වඩා ආනයන වැඩි වීම. අනවශ්‍ය ප්‍රමාණයට ණය ගැනීම. කෙටියෙන් කිවුවොත් ණයට කෑම. අපේ අපනයනවලට ලැබිය යුතු ඩොලර් පිටරට ම තැන්පතු වීම. බැංකුවලට ඩොලර් නොලැබීම. පිටරට අයකු ඩොලර් දී ලබා ගෙන ඔහුගේ නියෝජිතයකු මෙරට දී රුපියල් දීම. ඒ සියල්ලට ම වඩා කොමිස් ලබා ගැනීම, දූෂණය හොරකම් කිරීම. මේ ප්‍රශ්නවලට ඉක්මණින් විසඳුම් සොයා ගන්න ඕන.
අපනයන වැඩි කිරීම එක දවසකින් කරන්න බැහැ. එහෙත් ආනයන අඩු කරන්න එහෙමත් නැත්නම් ප්‍රශස්තකරණයට ලක් කරන්න කටයුතු කිරීමට පුළුවන්. උදය ගම්මන්පිළ කියන දෙයක් බොහෝ දෙනකු එක්කෝ තේරුම් ගන්නේ නැහැ. එහෙම නැත්නම් තේරුම් නොගත්තා වගේ ඉන්නවා. සාමාන්‍ය තත්වයන් යටතේ නම් බැරතෙල් ගෙනැවිත් පිරිපහදු කිරීම ලාබයි. පිරිපහදුවෙන් පෙට්‍රල් හැරෙන්න තවත් දේ ලැබෙනවා. උදය එය අමතක කරනවා නො වෙයි. එහෙත් ඔහු කියන්නේ මේ අවස්ථාවේ සාපේක්‍ෂ ව පෙට්‍රල් හා ඩීසල් අනෙක් දේට වඩා අවශ්‍ය බවත් ඒ තත්වය සැලකිල්ලට ගතහොත් බැරතෙල්වලින් පෙට්‍රල් හා ඩීසල් ලබා ගන්නවාට වඩා පෙට්‍රල් හා ඩීසල් ආනයනය කිරීම ලාබ බව. ප්‍රශ්නවලට දෙන උත්තර සන්දර්භය මත රඳා පවතිනවා. පාසල්වල එය උගන්වන්න ඕන. සන්දර්භය වෙනස් වන විට උත්තර වෙනස් වෙන්න පුළුවන්. අද උග්‍ර ඩොලර් හිඟය හමුවේ අවශ්‍ය කෙටි කාලීන මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන විසඳුම්. මේ අධ්‍යාපනයෙන් බිහි කෙරුණු ඊනියා ආර්ථික විද්‍යාඥයන්ට මොන විසඳුමක්වත් නැහැ. අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම අනිවාර්යයි.