Main Logo

Tuesday 23 November 2021

පොහොර හා පාදිලිතුමා ගැන පැහැදිලි කිරීමක්

 පොහොර හා පාදිලිතුමා ගැන පැහැදිලි කිරීමක්


රසායනික පොහොර ගෙන්වීම පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය මොකක් ද? රසායනික පොහොර යනුවෙන් හැඳින්වෙන්නේ කුමක් ද? සිරිල් ගාමිණී පාදිලිතුමා පාස්කු ප්‍රහාරය ගැන කියන කුමන්ත්‍රණය කුමක් ද? මා පියතුමා නොකියා පාදිලිතුමා හරි ෆාදර්තුමා හරි පූජකතුමා හරි කියන්නේ ඇයි? හිටපු නීතිපති දප්පුල ද ලිවේරා  ද පාස්කු ප්‍රහාරය පිළිබඳ කුමන්ත්‍රණයක් ගැන කියා ඇත්නම් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න නොකරන්නේ ඇයි. පාදිලිතුමා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද ප්‍රකාශයෙහි දප්පුල ද ලිවේරා ගැන කියා ඇත්නම් ඒ ගැන ප්‍රශ්න කිරීමට හිටපු නීතිපති කැඳවන්න බැරි ද? .


මා නම් කුමන්ත්‍රණ ගැන කියන්නේ නැහැ. දෙමළ ජාතිවාදය හා දෙමළ ත්‍රස්තවාදය කුමන්ත්‍රණයක් නො වෙයි. එය එංගලන්තයේ ඉන්දියාවේ මැදිහත්වීමෙන් මුල දී වෙල්ලාලයන් හරහා සිංහල බෞද්ධයන්ට විරුද්ධ ව කරන ලද සැලසුමක් කරෙයිවර් කුලය අතට පත් කිරීමක්. පසුගිය දා ඒ හා සම්බන්ධ සිදුවීම් දෙකක් අපට දැකගන්න හැකි වුණා. කැනඩාවේ ටොරොන්ටෝහි  දී සුමන්තිරන්ට හා දෙමළ ජාතික සංධානයේ තවත් මන්ත්‍රීවරයකුට විරුද්ධව දෙමළ විසුරුණු ජනතාව උද්ඝෝෂණයක් කර තියෙනවා. ටොරොන්ටෝවේ ස්කාබරෝ නගරය පුංචි යාපනයක්. එහි ඇතැම් කඩවල ප්‍රභාකරන්ගේ ඡායාරූප තිබෙනු මා දැක තියෙනවා. 


ඒ උද්ඝෝෂණය වෙල්ලාලයන්ට විරුද්ධ ව දෙමළ කොටි ත්‍රස්තවාදීන් කරන ලද්දක්. එංගලන්තය හැරුණු කොට දෙමළ විසුරු ජනයා වැඩි පුර ම ඉන්නේ කැනඩාවේ. ප්‍රභාකරන් පළමුව ඝාතනය කෙළේ සිංහලයන් නොව වෙල්ලාලයන්. දෙමළ කොටි එදත් අදත් හිතන්නේ වෙල්ලාලයන් තම සටන පාවා දුන් බවයි. එංගලන්තය අද දෙමළ විසුරුණු ජනයා නඩත්තු කරනවා. එහෙත් ප්‍රභාකරන් අද ජීවතුන් අතර නැහැ. මැතිවරණ ක්‍රමයේ දී වෙල්ලාලයන් බලවත් වෙනවා. එංගලන්තයට අද එතරම් දෙයක් කරන්න බැහැ. 


සිංහලයන් අතරත් එවැනි දේශපාලනයක් තියෙනවා. මැතිවරණ ව්‍යාපාරවල දී බලවත් වන්නේ ගොයිගම කුලයයි. සන්නද්ධ අරගලවල දී වෙනත් කුල බලවත් වෙනවා. ජ වි පෙ යනු මූලික වශයෙන් කරාව (විජේවීර) හා බත්ගම වැනි වෙනත් ගොයිගම නොවන කුලවල ඊනියා නිර්ධනයන්ගේ පක්‍ෂයක්. මා මෙය සඳහන් කරන්නේ කුල වශයෙන් සිතීමට නොව එසේ සිතීමට විරුද්ධවයි. රනිල්දාසලා යටත්විජිතලා නම් කොහොම හිතුවත් ප්‍රශ්නයක් නොවෙයි. 


දෙමළ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් එංගලන්තයේ හා ඉන්දියාවේ මැදිහත් වීම  පෙන්වන දෙවැනි සිදුවීම පසුගිය දා උතුරු පළාතේ දැක ගන්න පුළුවන් වුණා. මෙරට ඉන්දීය නියෝජ්‍ය කොමසාරිස්වරයකු දෙමළ කොටි ත්‍රස්තවාදීන් සැමරීමේ උත්සවයකට සහභාගි වී තිබුණා. අද හෙට බැසිල් රාජපක්‍ෂට ආයෝජන සඳහා සොයා බැලීමට ඉන්දියාවට යන්න වෙලා. ඉන්දියාව ඔහුට මොන මොන කොන්දේසි පනවාවි ද? අර දහතුන්වැනි සංශෝධනය පළාත් සභාවලට වැඩි බලතල දීම 13+ නැවත කතා බහට ලක් වේවි.


මියන්මාහි ආයෝජකයන් ඉන්නවා. මා තානාපති ව සිටිය දී ඔවුන් මෙරට ආයෝජනය කිරීම පිළිබඳ මූලික සාකච්ඡා පැවැත්තුවා. එහෙත් ඔවුන්ටත් ඩොලර් ප්‍රශ්නය තියෙනවා. ඔවුන් අපට දේශපාලන කොන්දේසි පනවන්නේ නැහැ. අප දෙරටට එකතු වී ඩොලර් ප්‍රශ්නයෙන් ගොඩ ඒමට මගක් ඇත්දැයි සොයා බලන්න ඕන. ලංකාව මියන්මා නේපාලය බංග්ලාදේශය එකතු වී සාමූහික ක්‍රියාවලියකට යන්න පුළුවන් ද? ඉන්දියාව එවැනි ක්‍රියාවලියක් කඩාකප්පල් කිරීමට වෙර දරාවි.


ආණ්ඩුවේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය මට නම් ඉතා පැහැදිලියි. විවිධ පුද්ගලයන් එය විවිධාකාරයෙන් දකින එක ගැන මා පුදුම වන්නේ නැහැ. අපට වියුක්තව හිතන්න බැහැ.   හරිත කෘෂිකර්මය පිළිබඳ ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ වෙනසක් සිදු වී නැහැ. රසායනික පොහොර (සම්මත ආකාරයට) ගෙන්වීම තහනම්. රජය කෙසේවත් රසායනික පොහොර ආනයනය කරන්නේ නැහැ. එහෙත් පවත්නා දේශගුණික තත්වයන් යටතේ එළවළු, තේ, බඩඉරිඟු හා තවත් භෝග කිහිපයක් සඳහා ගොවීන්ට අවශ්‍ය ප්‍රමාණයට රසායනික පොහොර ගෙන්වීමට පෞද්ගලික අංශයට තාවකාලික ව බලය දී තියෙනවා. 


ඇතැම් සමාගම් සභාපතිවරු සාකච්ඡාවක දී ඒ අවශ්‍ය පොහොර ප්‍රමාණය දැන සිටියේ නැති නිසා ඔවුන්ට අදාළ තොරතුරු ලබා ගෙන එන ලෙස ජනාධිපතිතුමා කියා තිබුණා. මා නම් දත්ත හා තොරතුරු එකතු කරන්නෙක් නො වෙයි. එහෙත් සමාගම් සභාපතිවරු දිව අග තොරතුරු තබා ගත යුතුයි. ආණ්ඩුවට ඒ තොරතුරු අවශ්‍ය පෞද්ගලික ආයතන ආනයනය කළ යුතු  රසායනික පොහොර ප්‍රමාණය දැන ගැනීමටයි. පෞද්ගලික ආයතන වී වගාව සඳහා රසායනික පොහොර ආනයනය නොකරන බවට ආණ්ඩුවට වග බලා ගන්න වෙනවා. වි වගාවට රසායනික පොහොර ගෙන්වීම තහනම් බව පැහැදිලියි. 


ආණ්ඩුව පෞද්ගලික සමාගම්වල තොරතුරු මත පමණක් නොරැඳිය යුතුයි. ගොවීන්ට අවශ්‍ය අදාළ පොහොර ප්‍රමාණය ප්‍රදේශීය ලේකම්වරුන්ගෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ද ගෙන්වා ගත යුතුයි. ආණ්ඩුව පොහොර සමාගම්වලට ඩොලර් ලබා දීමේ දී පරෙස්සම් වෙන්න ඕන. 


නෙල්සන්ලා නලින් බණ්ඩාරලා කැරට් අල පෙන්වීම ගැන අප කලබල විය යුතු නැහැ. ඔවුන් දන්නේ අල පෙන්වීමට පමණයි. අද ඔවුන් ප්‍රචාරයෙන් නම් දිනුම්. එහෙත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා පවසන්නේ මේ කන්නයට රසායනික පොහොර දී ඇති බවයි. ඔහු කියන විධියට ප්‍රශ්නය එන්නේ ඊළඟ කන්නයේ දී. ආණ්ඩුව නිසි ගණන් හිලවු ඇතිව තම ප්‍රතිපත්තිය ප්‍රකාශ කරන්න ඕන.


විවිධ නිලධාරීන් වරදවා වටහා ගැනීමෙන් හරි වුවමනාවෙන් හරි වැරදි ගැසට් නිකුත් කරනවා. අර ග්ලයිෆොසේට් තහනම ඉවත් කෙළේ කාගේ වුවනාවට ද? ග්ලයිෆොසේට් පිළිකා කාරකයක් බව කියන්නේ මෙරට ඉන්න ඊනියා විද්‍යාඥයන්ගේ බටහිර ස්වාමිවරුන්මයි. මේ ඊනියා විද්‍යාඥයන් කාගේ නියෝජීතයන් ද? ඔවුන් සමහරුන් කෘෂිරසායනික ද්‍රව්‍ය ආනයනය කරන සමාගම් හා සම්බන්ධ ද? අර චීන පොහොර නියැදිය චීන සමගමේ නියෝජිතයන් ඉදිරියේ ලංකාවේ ම දින තුනක් වෙනුවට දින පහක් පරීක්‍ෂා කර චීන සමාගම වැරදි බව පෙන්වීමට පියවර ගන්නවා ද?  


අප කැලණියේ දී පොහොර ආනයනය කරන සමාගම්වල නියෝජිතයන් විද්‍යා පීඨයට ගෙන්වා ඔවුන් ඉදිරියේ දී ම ෆොස්ෆේට් පොහොරවල ආසනික් තිබෙන බව පෙන්නුවා. ඇතැම් ඊනියා විද්‍යාඥයන් මේ කිසිවක් දන්නේ නැහැ. ඔවුන් තවමත් කියන්නේ නාථ දෙවියන් කී පමණින් අප ආසනික් ගැන කිවුවා කියා. නාථ දේව මණ්ඩලයෙන් අපට ලැබුණේ අදහස පමණයි.


පාදිලිතුමා යන්න මා හිතන විධියට පෘතුගීසී වචනයකින් ලබා ගත්තක්. අප කුඩා කල ව්‍යවහාර කළ වචනය වූයේ පාදිලිතුමා යන්නයි. පෘතුගීසි භාෂාවෙන් පූජකතුමාට කියන්නේ පද්රෙ කියායි. එය සිංහලට පාදිරි වෙලා පසුව ර ල මාරුවීමේ රීතිය අනුව  පාදිලි වෙලා තියෙනවා කියන එකයි මගේ වැටහීම. පෘතුගීසි භාෂාවෙන් පියාට කියන්නේ පායි කියා. ලතින් භාෂවෙන් කියන්නේ පේටර් (ඉංගිිරිසි උච්චාරණය) කියා. එකල ප්‍රභූ පාසල්වල ඉගෙන ගත් සමහර සිසුන් පියා හැඳින්වූයේ පේටර් කියා. ඔවුන් බොහෝ දෙනකු දැන සිටි ලතිනයක් නැහැ. එහෙත් එය තමයි එකල විලාසිතාව. ඉංගිරිසියෙන් පූජකවරුන් ෆාදර් කියාත් හඳුන්වනවා. පියාට තාත්තා කියන යෙදුම සංස්කෘත භාෂාවෙන් ලැබුණු එකක් ද? තෙළිඟු භාෂාවෙන් තාත්තා කියන්නේ සීයාට. ඒ ඒ භාෂාවල පියා හඳුන්වන ආකාරය ම අධ්‍යනයක් සඳහා සුදසු මාතෘකාවක්. 


පෘතුගීසීන් බිෂොප් යන්නට කියන්නේ බිස්පො කියා. අප සිංහලෙන් බීස්කු කියා උච්චාරණය කළා. මගේ මතකයක් තියෙනවා ඊ ආර් එරත්න ශූරීන් පරිවර්තනය කර ප්‍රසිද්ධ කළ රොමාගේ වාසනාව කෘතියේ බීස්කුන් ගැන ලියා ඇති බවට. මගේ මතකය දුර්වලයි. මා වැරදි වෙන්න පුළුවන්. මා රොමාගේ වාසනාව කියවා අවුරුදු හැටපහක් පමණ වෙනවා. එහෙත් පසු කලෙක මට විශ්වවිිද්‍යාලයේ දී එරත්න ශූරීන්ගේ පුතකු දැන හැඳින ගන්න ලැබුණා. ඒ නම මට අමතක වන්නේ නැහැ. අපට කතෝලික ආගම ලැබුණේ පෘතුගීසීන්ගෙන් නිසාත් කුඩා කළ දැන සිටි වචන නිසාත් මා පාදිලිතුමා බීස්කුතුමා යන වචන යොදා ගන්නවා. එකල මෙරට කාදිනල්තුමකු නොසිටි නිසා සිංහලෙන් කියැවෙන අදාළ පෘතුගීසි වචනයක් නැහැ. මා පියතුමා කියන සිංහල වචනය යොදන්නේ ජෛවීය පියතුමකු හඳුන්වන්න පමණයි. උදාහරණයක් ලෙස රොමාගේ වාසනාව මගේ මිතුරකුගේ පියතුමාගේ පරිවර්තනයක්.