Main Logo

Friday, 12 November 2021

ජ වි පෙ හා නොනවතින විප්ලවය නැවතීම

 

ජ වි පෙ හා නොනවතින විප්ලවය නැවතීම

 

මෙම ලිපිය නොවැම්බර් 1වැනි දා පළ වූ ලෙනින් මෙහෙය වූ ධනවාදී විප්ලවය හා එයට පෙර පළ වු වමාලාට වම නැති වීම ලිපිය හා සම්බන්ධයි. එක් පඬි නැට්ටකු කියා තිබුණා වමාලා වම හොයා ගනීවි මා කලබල නොවිය යුතුයි කියලා. පඬි නැට්ටන්ට තේරෙන තරම. මා කියන්නේ ම වමාලාට හොයා ගැනීමටවත් වමක් නැති වීම ගැනයි. ජනාධිපතිතුමා මේ ආණ්ඩුවට අකමැති නම් ජනතාව පරණ යමපාලකයන් නොව අලුත් පිරිසක් බලයට පත් කර ගත යුතු ය කී විට ඇතැමුන් හිතනචා ඒ කිව්වේ ජ වි පෙ ගැන කියා. මා හිතන්නේ නැහැ ජනාධිපතිතුමා එවැන්නක් කී බවක්. එතුමා දන්නවා ජ වි පෙ චන්ද්‍රිකා ආණ්ඩුවේ ඇමතිකම් දැරූ බවත් අර වැව් දාහ තාම හදන බවත් ඔවුන් යමපාලන ආණ්ඩුවේ බැළ මෙහෙකරුවන් වූ බවත්. ජ වි පෙරමුණට තමන්ගේ වැඩ පිළිවෙළක් හැටියට තියෙන්නේ ප්‍රධාන පක්‍ෂ දෙකෙන් එකකට සහාය දීම පමණයි. ගුරුබොරුවන්ගේ වැඩ වර්ජනයෙන් පසු මහින්ද ජයසිංහගේ හා අනෙක් ජ වි පෙ නායකයන්ගේ බොරුව තව දුරටත් හෙළිදරවු වෙලා. ඔවුන්ට මේ වන විට 3%ත් නැහැ.

 

ජ වි පෙ බිහිවුණේ හැටේ දශකයේ අගභාගයේ. ඒ හැටහතරේ දී වාමාංශිකයන් සභාග ආණ්ඩුවට එකතු වීමෙන් පසුව. හැටහතරට ට්‍රොට්ස්කිවාදීන් හා ස්ටැලින්වාදීන් (ගුරුබොරු වර්ජක ස්ටැලින්ගේ අනුගාමිකයන් නොවෙයි) ප්‍රතික්‍රියා කෙළේ දෙවිධියකට. විජේවීර වැනි ස්ටැලින්වාදීන් ඒ වන විට මාඕවාදීන් වෙලා තිබුණා. අද ජ වි පෙ සජිත් අනුව යමින් චීන විරෝධීන් වීම වෙනත් කරුණක්. මාඕවාදීන් කල්පනා කෙළේ තිබුණු වම විප්ලවවාදී නොවූ බවයි. ඔවුන් විප්ලවය කිරීමට සූදානම් වුණා. ඔවුන් කම්කරු පංතිය ලෙස දැක්කේ නිර්ධනයන්. ඔවුන්ට නිෂ්පාදනය මත පංතිවලට බෙදීම් මත පදනම් වූ  පුස් කෑ අවලංගු මාක්ස්වාදී මතය ගැන වැටහීමක් තිබුණේ නැහැ. ඔවුන් රැකියා නැති ගැමි තරුණ තරුණියන් සොයා ගමට ගියා.

 

විජේවීර හා ධර්මසේකර එහි නායකයන් වුණා. මුල දී වැඩි පිරිසක් හිටියේ ධර්මසේකරට. එහෙත් ධර්මසේකර විජේවීරට වඩා නගරයට කොටු වුණා. ඔහු ඇමරිකන් තානාපති කාර්යාලයට පහර දීම වැනි නාගරික වාම කටයුතුවල නිරත වුණා. විජේවීර ගමට ගොස් ගැමි තරුණ තරුණියන් සංවිධානය කළා. ධර්මසේකර විජේවීරට පැරදුණා. විජේවීර නාගරික ගැමියකු වූ ප්‍රේමදාසට පැරදුණේ මහා ජීවිත හානියක් කරමින්. ධර්මසේකරට පමණට නැති වුවත් විජේවීරට යම් ජාතිකත්වයක් තිබුණා. ජ වි පෙරමුණේ තිබූ සුළු ජාතිකත්වයත් සෝමවංශ අමරසිංහගෙන් පසු නැති වී ගියා. විමල් වීරවංශලා ජ වි පෙ හැර ගියත් තවමත් මාක්ස්වාදය හැර ගිහින් නැහැ.

 

අද වන විට ජ වි පෙ විප්ලවය නාමයෙන් මිනිසුන් මැරූ පක්‍ෂයක් පමණයි. ඔවුන්ට වමක් නැහැ. එයට ප්‍රධාන හේතුව වම කියන සංකල්පය ම ව්‍යාජයක් වීම. මාක්ස්ගේ සමාජවාදය තරම් මානෝරාජික සමාජවාදයක් තවත් නැහැ. ලෙනින්ලා ගිහින් තියෙන්නේ මිරිඟුවක් පසුපස. පුටින් එය පෙන්නා දී තියෙනවා. ලෙනින් ඇත්තට ම කර ඇත්තේ නැගෙනහිර යුරෝපීය වැඩවසම් රාජ්‍යයක් වෙනුවට ධනවාදී රාජ්‍යයක් ඇති කිරීම. එය රුසියාවට ආවේණික ආකාරයකින් කර තියෙනවා. චීනයේ මාඕ කර ඇත්තේත් එවැන්නක්. හම්බන්තොට වරාය බද්දට ගත් චීනය සමාජවාදී රාජ්‍යයක් නො වෙයි.

 

ඇතැමුන් හිතනවා කියුබාව සමාජවාදී කියා. කස්ත්‍රෝ බලයට පත් වූ අවධියේ ම ට්‍රොට්ස්කිවාදීන් අතර සාකච්ඡාවක් තිබුණා කියුබාවේ කම්කරු පංති විප්ලවයක් සිදු වුණා ද යන්න ගැන. හැත්තෑ ගණන්වල නව සමසමාජ පක්‍ෂයෙත් ඒ පිළිබඳ විවාදයක් තිබුණා. අද වන විට පැහැදිලියි කියුබාවේ සිදු වී ඇත්තේ බැටිස්ටාගේ වැඩවසම් රාජ්‍යය පෙරළා ධනවාදී රාජ්‍යයක් ඇති කිරීම බව. අපට ධනවාදය ලැබුණේ ඊනියා විප්ලවයකින් නොවේ. ඉංගිරිසි යටත්විජිතවාදය අප මත ධනවාදය පැටෙවුවා.

 

එසේ නොවුණා නම් විජේවීරට හරි ධර්මසේකරට හරි පුළුවන්කමක් තියෙන්න ඇති විප්ලවයක් මගින් මෙරට ධනවාදය බිහි කරන්න. එහෙත් ධනවාදය යටත්විජිත පැටවීමක් වූ ලංකාවේ ඊනියා වමට කළ හැකි දෙයක් තිබුණේ නැහැ. ජ වි පෙ මිනිස් ඝාතන පමණක් සිදු කරද්දී ට්‍රොට්ස්කිවාදීන් කෙළේ විප්ලවය හුරතල් කිරීම. තිස්ගණන්වල සිට හැටහතර දක්වාත් වම කෙළේ විප්ලවය හුරතල් කිරීම පමණයි.

 

හැටහතරේ සමසමාජය සභාගයට යෑමෙන් පසු විශ්වවිද්‍යාලවල, විශේෂයෙන් පේරාදෙණිය මුල් කර ගෙන විරෝධය නමින් ට්‍රොට්ස්කිවාදී කණ්ඩායමක් බිහි වුණා. ඔවුන් එඩ්මන්ඩ් සමරක්කොඩි මෙරිල් ප්‍රනාන්දු කරාලසිංහම් ආදීන්ගෙන් වෙනස් වුණා. සමරක්කොඩිලා විප්ලවයේ අපිකේන්ද්‍රය වතුකරයේ දකිමින් පාර්ලිමේන්තු මැතිවරණවලටත් ඉදිරිපත් වුණා. ඔවුන්ට යම් ආකාරයකට සමාජ බලයක් තිබුණා. ඔවුන්ට ජනතා පදනමක් තිබුණා. විරෝධය කණ්ඩායමට ඒ කිසිවක් තිබුණේ නැහැ. ඔවුන් සුපිරි විප්ලවවාදීන් වුණා. ඒ තමයි ජනතාව සහභාගි නොවන සුපිරි විප්ලවය. ජනතාව නැතිව ජනතාව සංවිධානය නොකර විප්ලවය ගැන තම බුද්ධි මට්ටමෙන් ඔවුන් සාකච්ඡා කළා. සඟරා පුවත්පත් පළ කළා. ඔවුන්ගේ කතා නර්මාලාප පමණක් වුණා. ඔවුන් නිතර ම සිතා සිටියේ පොලීසිය ඔවුන් පසපස එනවා කියා. එහෙත් පොලීසිය ඔවුන් ගණන් ගත්තේ නැහැ. පොලීසියට වෙනත් වැඩ තිබුණා. 

 

විය යුතු පරිදි ම විරෝධය හුදු සමාජ කොරෝධයක් බවට පත්වී විසිරී ගියා. එහෙත් ඔවුන්ගෙන් සමහරු කම්කරු මාවත වැනි සංවිධාන මගින් විප්ලවය හුරතල් කළා. කීර්ති බාලසූරිය විජේගුණසිංහ (විජේ ඩයස්) ආදීන් එහි ප්‍රමුඛයන් වුණා. ඒ කාලයේ මාක්ස්වාදියකු බවට පත් වූ සුචරිත ගම්ලත් එහි ප්‍රකාශකයකු වුණා. ගම්ලත්ට ජනමාධ්‍යයේ ප්‍රසිද්ධිය ලැබුණා. ඔහුට භික්‍ෂූන් වහන්සේ නමක ලෙස සිටිය දී තමන් ලැබූ පිරිවෙන් අධ්‍යාපනය තමන් නොදත් මාක්ස්වාදයක් තමන් තරමටවත් මාක්ස්වාදයක් නොදත් ජනමාධ්‍යවේදීන්ට අලෙවි කරන්න උපකාර වුණා.   පසුව ඒ ඒ අය අතර මතභේද ඇති වුණා. නොනවතින විප්ලවය මොරටුවේ දී නැවතුණා.  විප්ලවය ඉන් එහාට ගියේ නැහැ. කොළඹ දිස්ත්‍රික්කය හා කළුතර දිස්ත්‍රික්කය වෙන් කරන මොරටුවේ දිගරෝල්ල පාලමෙන් එහාට විප්ලවය හුරතල් කිරීම වෙනත් කණ්ඩායමකට පැවරුණා.  අපි ඒ ගැන හා නව සමසමාජ පක්‍ෂය ගැන පසුව කතා කරමු.