Main Logo

Tuesday 2 November 2021

අප එංගලන්තයට පැරදුණේ ඊයේ නො වෙයි

 

අප එංගලන්තයට පැරදුණේ ඊයේ නො වෙයි

 

වමාලාට වම නැති වීම ගැන තවදුරටත් කතා කරන්න ඕන. ඒත් අද එයට වඩා වැදගත් දෙයක් කතා කරන්න අවශ්‍යයි. වමාලාට අද කරන්න පුළුවන් අනෙක් අයට නොදැනෙන්නට ධනවාදයට ආවැඩීමත් ජාතිකත්වයට විරෝධය දැක්වීමත් පමණයි. ඔවුන් කිහිප අතකින් හැටේ දශකයේ බිහි වූ විරෝධය කණ්ඩායමේ අනුප්‍රාප්තිකයන්. අද ඉන්න බොහෝ පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් විරෝධය කණ්ඩායම ගැන දන්නේ නැහැ. ඒත් කම්කරු මාවත එක්ස් කණ්ඩායම ආදිය එහි පුනරුත්පත්ති. එසේ කීම ගැන වමාලා විරුද්ධ වේවි. ඔවුන් ගුණදාස අමරසේකර ආදී ප්‍රබුද්ධයන් මෙන් ම පුනරුත්පත්තියක්, පුනබ්භවයක් පිළිගන්නේ නැහැ.  ඔවුන් හා අමරසේකර බටහිර දැනුම් ගණිකාවන් ඇසුරෙන් යළි යළි උපදින බව නම් මා හොඳින්  ම දන්නවා.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ස්කොට්ලන්තයේ (එංගලන්තයේ නොවන බව කීමට අවශ්‍ය ඇතැම් ජනමාධ්‍යවේදීන් එසේ කියන නිසා) ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන දේශගුණය වෙනස්වීම ජෛවවිවිධත්වය ආදිය  හා විසඳුම් යන තේමාවෙන් පැවැත්වෙන ඊනියා ජාත්‍යන්තර සම්මේලනයක දී වැදගත් කතාවක් කර තියෙනවා.  එතුමා කෘෂිකාර්මික විප්ලවයක අවශ්‍යතාව ගැනත්, හරිත කෘෂිකර්මයක් ගැනත්  ජනතාව ස්වභාව ධර්මය සමග එකට ජීවත් විය යුතු බවත් කියා තියෙනවා. මේ අදහස් අප දශක ගණනාවක් තිස්සේ කියා තියෙනවා. ඒ අදහස් ප්‍රකාශ කිරීම ගැන අප එතුමාට ස්තුතිවන්ත වෙනවා.

 

ඒත් ඔය සම්මේලනය නම් තවත් වැඩකට නැති සම්මේලනයක් පමණයි. මෙවැනි සම්මේලන පැවැත්වෙන්නේ ඔය කියන ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට නො වෙයි. සම්මේලන පැවැත්වෙන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය පදනම් කරගෙන, ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ. ඒ ප්‍රශ්න ඇති කර තිබෙන්නේත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයමයි. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට ඔය ප්‍රශ්නවලට විසඳුම් නැහැ. ඒ ප්‍රශ්නවලට වෙනත් චින්තනවල විසඳුම් නැතුවා නො වෙයි. එහෙත් ඒ විසඳුම් සමග බටහිර ක්‍රිස්තියානි නූතනත්වයත් අභාවයට යනවා. ඒ නිසා බටහිරයන් එවැනි විසඳුම්වලට හීන් නූලෙන් විරුද්ධ වෙනවා.

 

මේ සම්මේලන එක් අතකින් වරදකාරී විඥානයක් ඇතුව කෙරෙන දේ. තමන් දන්නවා තමන් වරදක් කර ඇති බව. එයින් ගැලවෙන්න මෙන් මෙවැනි සම්මේලන සංවිධානය කෙරෙනවා. එය එක් අතකින් පවු සමාකිරීමක්. අපේ චින්තනයේ පවු සමාකිරීමක් නැහැ. අපට වෙනත් අදහස් තියෙනවා. ඒත් ඒ අදහස්වලට බටහිර ක්‍රිස්තියානි නූතනත්වය එරෙහි ව ක්‍රියාත්මක වෙනවා. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය දන්නවා ඒ අදහස් ක්‍රියාත්මක කිරීම මගින් තමන් නැති වන බව. එබැවින් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය සියළු වෙර යොදා විවිධ ක්‍රමවලින් ඒ අදහස් ක්‍රියාවට නැංවීම වළක්වනවා.

 

මා මෙයින් අදහස් කරන්නේ ජනාධිපතිතුමාගේ කතාව අවතක්සේරු කිරීමට නො වෙයි. ඒ අදහස් දර්ශනීය ග්ලාස්ගෝ නුවර දී ම ප්‍රකාශ කිරීමත් වදගත්. ග්ලාස්ගෝ යන්න ඉංගිරිසි උච්චාරණය. එය ස්කොටිෂ් භාෂාවෙන් නම් ග්ලාස්ෂූ කියන්න පුළුවන්. එයට හයවැනි සියවසට දුවන ඉතිහාසයක් තියෙනවා. ඒ කාලය වන විට මහානාම හිමියන් හා බුද්ධඝෝෂ හිමියන් සිංහල බෞද්ධ සංස්කෘතිය හැඩගස්සවා ඉවරයි.  එහි අඩුපාඩු නැතුවා නො වෙයි. අපට අවශ්‍ය මහාවිහාර සම්ප්‍රදායේ ඌණතා  නැති කරන්න. අප විජයගේ මිනිසුන් නො වෙයි.

 

ග්ලාස්ගෝ රයිඩ් ගඟ ආශ්‍රිත ව බිහි වූ නගරයක්. ස්කොට්ලන්තය ඉංගිරිසි ආධිපත්‍යයට යට වුණා. එය එංගලන්තයේ යටත්විජිතයක්. අද ඔවුන් ඊනියා එක්සත් රාජධානියෙන් වෙන් වීමට උත්සාහ කරනවා. ජනාධිපතිතුමාගේ කතාව ස්කොටිෂ් භාෂාවට පරිවර්තනය කර ප්‍රසිද්ධ කරන්න පුළුවන් නම් වැදගත් වේවි. ක්‍රිස්තියානි ඉංගිරිිසින්ට වඩා කතෝලික ස්කොට්ලන්තවාසීන්ට එය තේරේවි. එය දේශපාලනිකවත් වැදගත්.

 

අද ලංකාවේ ම සිදුවන ක්‍රියාදාමය විමසන්න. පොහොර ප්‍රශ්නය ගැනත් තවත් ලියන්න දේ තියෙනවා. ජනාධිපතිතුමාගේ කෘෂිකාර්මික ප්‍රතිපත්තියට තමයි වැඩියෙන් ම විරෝධය ඇත්තේ. ඒ ප්‍රතිපත්තිය පිටුපස ඉන්නේ කවුදැයි මා දන්නේ නැහැ. ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී යම් අඩුපාඩුකම් සිදුවන්න ඇති. එහෙත් අද එයට විරුද්ධ වන්නේ ඒ අඩුපාඩුකම් නැති කර ගන්න නො වෙයි. ගොවීන් අද අපේ සංස්කෘතිය අනුව පොල් ගසන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්කෘතියේ පරිසර විරෝධී    ජීවීන්ට හානිකරන පොහොර, වල් නාශක හා කෘමිනාශක ලබා ගන්න!

 

අද ඇතැම් ජනමාධ්‍යවේදීන් ද ඊනියා විද්‍යාත්මක කෘෂිකර්මයක් ගැන කියවනවා. බටහිර විද්‍යාව සමග පරිසරය රැකගන්න බැහැ. බටහිර විද්‍යාව බිහි වී ඇත්තේ ම ස්වභාව ධර්මය සමග එකට සහයෝ්ගයෙන් ජීවත් වීමට (සහජීවනය)  නොව ස්වභාව ධර්මය ගසා කෑමට. බටහිර විද්‍යාව පදනම් වී ඇති ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය අනුව ස්ත්‍රිය ද ඇතුළු ස්වභාව ධර්මය මවා හෝ මැවී ඇත්තේ පිරිමියාගේ අවශ්‍යතා සපුරා ලීම සඳහා. අද ඒ පිරිමියා යන්න සුදු පිරිමියා බවට පත් වී තියෙනවා. අද ස්ත්‍රීන් ඊනියා කාන්තා විමුක්තියක් නාමයෙන් හදන්නේ පිරිමින් වීමට. එහෙත් ඔවුන් හිතන පතන විධිය බටහිර විද්‍යාවේ හිතන පතන විධියට වෙනස්. ලංකාවේ නම් පිරිමින්ටත් බටහිර විද්‍යාවේ ක්‍රමයට හිතන්න බැහැ. ලංකාව ඇතුළු වෙනත් එවැනි රටවල පිරිමිත් සුදු පිරිමින්ගේ අවශ්‍යතා සපුරා ලීම සඳහා ඉන්නවා. මා කියන්නේ ලිංගික අවශ්‍යතා ගැන නො වෙයි. අද මෙරට පිරිමි ගොවීන් පෙළපාලි යන්නේ සුදු පිරිමින් වෙනුවෙන්. මෙරට පිරිමි හා ගැහැණු විද්‍යාඥයන් කියන අය ජනමාධ්‍යයට එන්නේ බටහිර පිරිමින් වෙනුවෙන්.

 

මේ ගොවීන් උද්ඝෝෂණය කරන්නේ බටහිර පොහොර සමාගම් වෙනුවෙන්. ඔවුන් පොල් ගසන්නේත් බටහිර පොහොර සමාගම් වෙනුවෙන්. අප එංගලන්තයට පැරදිලා හුඟක් කල්. ඊයේ ක්‍රිකට් පරාජය ඉතා සුළු දෙයක්. මා ක්‍රිකට් පිති පන්දු හා අනෙක් මෙවලම් හදන්නේ කොහේ ද කියා අසන්නේවත් ක්‍රිකට් නවත්වන්න කියන්නේවත් නැහැ.  

 

පොදු ජන පෙරමුණේ පස්වැනි සංවත්සරයේ දී අගමැති මහින්ද රාජපක්‍ෂ හොඳ කතාවක් කරල. ගුරු ප්‍රශ්න ගොවි ප්‍රශ්න ආදිය නිසා ආණ්ඩුව අද හෙට කඩා වැටේ කියා හිතන අයට ඒ කතාවෙන් රිදෙන්න ඇති. අගමැතිතුමා වටිනා අදහස් කිහිපයක් ප්‍රකාශ කරල. පොදු ජන පෙරමුණටත් පක්‍ෂ එකොළහටත් හිතන්න දේ ඒ කතාවේ තියෙනවා. ආණ්ඩුවේ ආධාර කරුවන් ගොවීන් අතර දේශපාලනය කරන්න ඕන. හැම දෙයක් ම නිලධාරීන්ට පවරල ඉන්න බැහැ. පොහොර ප්‍රශ්නය ගොවීන්ට තේරුම් කර නො දීම නිසා අද විපක්‍ෂය ගොවි ගැලවුම්කරුවන් බවට පත්වෙන්න හදනවා. මේ ගැලවුම්කරුවන් පෙනී සිටින්නේ ඔවුන්ගේ ස්වාමිවරුන් වූ බටහිර සමාගම් ගලවා ගන්න. ගොවීන් මේ රැවටිලිකාරයන්ගෙන් ගලවා ගන්න ඕන.  ගොවීන්ට හරිත කෘෂිකර්මය තේරෙන්නෙ නැහැ කියා හිතන්න එපා.