වකුගඩු රෝගය පිළිබඳ අපේ පර්යේෂණ
චන්න ජයසුමන හා පර්යේෂණ කණ්ඩායම ගැන තවදුරටත් කියන්න ඕන. ඒ ඔවුන් දක්‍ෂ විිද්‍යාඥයන් බව කීමට නො වෙයි. ලංකාවේ විද්‍යාඥයන් නැහැ. මා දන්නා තරමින් සංකල්පීය වශයෙන් බටහිර විද්‍යාවට අලුතෙන් යමක් එකතු කළ අයකු ලංකාවේ නැහැ. බටහිර ලෝකයේ ඒ කිට්ටුවටත් ආවෙ අසාමාන්‍ය වකුගඩු රෝගය ගැන පර්යේෂණ කළ කණ්ඩායමයි. ඒ අපේ චින්තනය මත පදනම් ව සංස්කෘතියට සාපේක්‍ෂව බටහිර අච්චුවේ පර්යේෂණ කිරීමෙන්. මා කලින් දවසක සඳහන් කළ වසන්ත කටුගම්පොළ ඇතුළු පිරිස ද යම් යම් දේ එකතු කර ඇති නමුත් බටහිර ලෝකය තවමත් ඒ පිළිගැනීමට මැළිකමක් දක්වනවා.
අවකාශ කාලයටත් ද්‍රව්‍යවලට මෙන් ගුණ ඇති බවත්
එය විකර්ෂණය වන බවත් ඔවුන් පෙන්වා දී තියෙනවා. අවකාශ කාලයත් ශක්තියක් ලෙස ක්‍රියා
කරනවා. එමෙන් ම අවකාශ කාලය ද්‍රව්‍යවලටත් ද්‍රව්‍ය අවකාශ කාලයටත් හරවන්න පුළුවන්
බවත් ඔවුන්ගේ මතයයි. අර විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට හරවනව වගේ. වස්තු දිගින්
දිගට ම කඩා නොවැටෙන බවත් එක්තරා අවස්ථාවකින් පසු අවකාශ කාලයේ විකර්ෂණය නිසා කළු කුහර සෑදීම වෙනුවට කළු පෘෂ්ඨ සාදන බවත්
පෙන්වා දී තියෙනවා. එහෙත් ඒ මත බටහිර ලෝකයට දිරවා ගැනීම තරමක් අපහසුයි. අවකාශ කාලය
ද්‍රව්‍ය බවට හරවන්නේ කෙසේ ද කියන එක ගැන පර්යේෂණ කරන්න තේරෙන්නේ නැහැ.
එහෙත් අසාමාන්‍ය වකුගඩු රෝගය එසේ නො වෙයි. එය
ඇස් පනා පිට පේන දෙයක්. එයට හේතු කියන එක බටහිර ලෝකයේ කෙරී නැහැ. ඒ නිසා තමයි ඒ
රෝගය හේතුව නොදත් නිදන්ගත රෝගය ලෙසින්
හැඳින්වෙන්නෙ. පොහොරවතීලාට එයට හේතු නැහැ. එය බෝවෙන රෝගයකුත් නොවෙයි. අපේ කණ්ඩායම
තමයි මුලින් ම හේතු කියන්නෙ. මා හිතනවා ඒ කණ්ඩායම හඳුන්වා දීම මගේ යුතුකමක්.
චන්න ජයසුමනට හා සරත් ගුණතිලකට අමතර ව එහි ප්‍රධානීන්
වූයේ ප්‍රියානි පරණගම හා මාලා අමරසිංහයි. ඒ දෙදෙනා මා කලින් සඳහන් කර ඇති ආකාරයට
කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියන්. එයට අමතර ව රජරට විශ්වවිිද්‍යාලයේ වෛද්‍ය
විද්‍යාව පිළිබඳ මහාචාර්ය සිසිර සිරිබද්ධනත් කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යනාංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කිත්සිරි සේනානායකත් හිටියා. කිත්සිරි ප්‍රියන්තා සේනානායක
මහත්මියගේ ස්වාමි පුරුෂයා. ඔහු පර්යේෂණය හා සම්බන්ධ ගණනයන්හි දී උපකාර කළා. එමෙන්
ම බටහිර වෙද මහත්වරු කිහිප දෙනෙක් ද ඒ
කණ්ඩායමේ හිටියා. ඔවුන් අතර කේ එස් දහනායක,
ඒ එම් පී මහමිතව, චින්තක විජේවර්ධන නම් කරන්න පුළුවන්. මේ අය මා පෞද්ගලික ව
දන්නවා. එයට අමතර ව තවත් අය හිටියා.
මේ පරයේෂණවල ප්‍රතිඵලයක් ලෙස චන්නට ඇමරිකානු
විිද්‍යාභිවර්ධන සංගමයේ සම්මානයක් ප්‍රදානය කෙරුණා. එමෙන් ම ඔහු ඒ පර්යේෂණ පිළිබඳ
ව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් සංස්කරණය කර ප්‍රසිද්ධ කෙරෙන බටහිර වෛද්‍ය විද්‍යාව
පිළිබඳ ග්‍රන්ථයක පරිච්ඡෙදයක් ලිවීමට දායක වුණා. මා මේ සියල්ල සඳහන් කරන්නේ
පොහොරදාසලා හා පොහොරවතීලා අපේ කණ්ඩායමේ පර්යේෂණ නොසලකා හරින බැවින්. ඔවුන් කිසිම
පරයේෂණයක් නොකර අප දක්වන කරුණු හේතු නොවන බව පමණක් කියන බැවින්.
අපේ පර්යේෂණ මගින් හෙළිදරවු වුණා ෆොස්ෆේට්
පොහොරවල ආසනික් තියෙන බව. අප ඒ පොහොර ගෙන්වන මහාරාජා සමාගම ඇතුළු සමාගම් කිහිපයක
නියෝජිතයන් කැලණිය විශ්වවිිද්‍යාලයට ගෙන්වා ඔවුන් ඉදිරියේ දී ම ඒ පොහොරවල ආසනික්
තියෙන බව පෙන්නුවා. එමෙන් ම අදාළ ප්‍රදේශවල පසෙහි ශාඛවල ආසනික් ඇති බව පෙන්නුවා.
සහල්වල ද ආසනික් ඇති බව අපට පෙනී ගියා. එහෙත් බත් කෑ පමණින් මිනිසුන් මිය නොයන බව
අප කිවුවා. එසේ කිවුවේ එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂට දැක්වූ ප්‍රතිචාරයක් ලෙස.
අදාළ ප්‍රදේශවල රෝගීන්ගේ හා රෝගී නොවන්නන්ගේ
නියැදි පරීක්‍ෂා කිරීමේ දී අපට පෙනී ගියේ රෝගීන්ගේ හිසකෙස් නිය ආදියෙහි අනෙක් අයට
වඩා ආසනික් තිබෙන බව. එමෙන් ම කිවුල් ජලය පානය කරන්නන් හා රෝගය අතර සම්බන්ධයක් ඇති
බව ද අප දැන ගත්තා. කිවුල් ජලයේ කැල්සියම් හා මැග්නීසියම් ලවන තියෙනවා. එහෙත්
කිවුල් ජලය ඇති ලිඳකින් වතුර බිවු පමණින් රෝගය හැදෙන්නේ නැහැ. අප කුඩා කල වතුර
ගත්තේ කිවුල් ලිඳකින්. නල ජලය ලැබීමට පෙර මා හිතන්නේ අවුරුදු විසිපහක් පමණ අපේ
දෙමවුපියන් බිවුවේ කිවුල් ජලය. ඔවුන් අවුරුදු අසුපහකට වඩා ජීවත් වූවා. ඔවුන්ට
වකුගඩු රෝගය හැදුණේ නැහැ. අප දැනගත් තවත් දෙයක් තමයි පළිබෝධනාශකවල ෆොස්ෆේට් හා බැර
ලෝහ තිබෙන බව. ග්ලයිෆොසේට් පළිබෝධනාශකය පිළිකා කාරකයක් බව බටහිර දැන් තහවුරු වී
අවසන්.
මාතලේ ප්‍රදේශයේ කිවුල් ලිං තියෙනවා. එහෙත්
එපමණින් මාතලේ වැසියන්ට අසාමාන්‍ය වකුගඩු රෝගය හැදිලා නැහැ. ශරීර සාධකයකුත් තියෙන
බව අප අමතක කරන්නේ නැහැ. බටහිර වෙදකමේ සියලු මනුෂ්‍යයන් එක සමාන ලෙස සලකා ක්‍රියා
කළත් ඒ එසේ නොවන බව අප දන්නවා.
දැන් ප්‍රශ්නයක් තියෙනවා. අප කණ්ඩායම අසාමාන්‍ය
වකුගඩු රෝගය හා සම්බන්ධ හේතු කාරක කිහිපයක් දැන ගත්තා. ඒ කරුණු එකතු ව රෝගය
සෑදෙන්නේ කෙසේ ද යන්නට යම් අදහසක් තියෙන්න ඕන. බටහිර විද්‍යාවට බහු හේතු ක්‍රියාත්මක
වන විධිය දැන ගන්න බැහැ. බටහිර විද්‍යාවේ ඒකහේතු තමයි සම්පරීක්‍ෂණවලින් නිරීක්‍ෂණය
කෙරෙන්නේ. නියැදි දෙකක් තෝරා ගෙන ඒ නියැදිවලට එක සාධකයක් හැර අනෙක් සාධක සමාන ව ක්‍රියත්මක
කර අර එක් සාධකය පමණක් නියැදි දෙකින් එකකට පමණක් ලබා දී යම් ගුණයකට එකී සාධකය
හේතුවක් ද යන්න බලනවා.
අප කණ්ඩායම පරීක්‍ෂණ කෙළේ වෙනත් පදනමකින්. මා
ඊයේ (නොවැ 08) සඳහන් කළා අප බටහිර විද්‍යාවේ අච්චුවේ පරීක්‍ෂණ
කළත් අප වෙන ම සුසමාදර්ශයක පදනම් වුණා කියා. සුසමාදර්ශය කියන එක කූන්ගේ සංකල්පයක්.
අප එය අවශෝෂණය කර ගෙන කියා ඇති යම් චින්තනයක විවිධ සුසමාදර්ශ ඇති බව. කූන් ඒ බවක්
කියා නැහැ. ඔහුට චින්තනය කියන සංකල්පය තිබුණේ නැහැ. අප මෙහි දී වෙන ම සුසමාදර්ශයක්
යනුවෙන් සඳහන් කරන්නේ බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ සුසමාදර්ශයක්
නොව සිංහල බෞද්ධ චින්තනයේ සුසමාදර්ශයක්. අප බහු හේතු නිරීක්‍ෂණය කළා.
අසාමාන්‍ය වකුගඩු රෝගය බෝ වෙන රෝගයක් නො වෙයි.
ඒ හැදෙන්න මූලික වන හේතු ගණනාවක් අපේ පරීක්‍ෂණවලින් අපට ලැබුණා. මේ හේතු ක්‍රියාත්මක
වීම පිළිබඳ කතාවක් අපට තියෙනවා. කිවුල් ජලයේ ඇති කැල්සියම් හා මැග්නීසියම් ලවන හා
ආසනික් ප්‍රතික්‍රියා කර ආසනික් ලවන හැදෙනවා. මේ ආසනික් ලවන ග්ලයිෆොසේට් සමග එකතු
වී දැලිසක් (lattice) හැදෙනවා. එය වකුගඩුවට යනවා. එහි දී
කැඩ්මියම් බැර ලෝහය උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරනවා. අසාමාන්‍ය වකුගඩු රෝගය
හැදෙන්නේ එලෙසයි.
බටහිර විද්‍යාවේ බහුවිධ හේතු ක්‍රියාත්මක වන
ආකාරය දැන ගැනීමක් නැහැ. මේ පිළිබඳ ව බෙල්ජියමේ විද්‍යාඥයන් පිරිසක් සමග චන්න
ජයසුමන පර්යේෂණ ආරම්භ කරලා. එහෙත් එහි ප්‍රශ්නයක් තියෙනවා. බෙල්ජියන් විද්‍යාඥයන්ට
මීයන් මරන්න වෙනවා. එය සිංහල බෞද්ධ ක්‍රමයට විරුද්ධයි. දැන් පඬි නැට්ටකු සිංහල
බෞද්ධයන්ට යුද්ධ කරන්න පුළුවන් ද කියා අසාවි. අර දෙමළ ක්‍රිස්තියානි ස්ටැන්ලි
තම්බයියාත් ඒ ප්‍රශ්නය ඇසුවා. සිංහල බෞද්ධයන් තමන් මරන්නට එන විට නවගුණවැල අතට
ගන්නේ නැහැ. එහෙත් රසායනාගාර මීයන් අප මරන්න එන සතුන් නො වෙයි.
මේ බහුවිධ සාධක ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න
පිළිබඳ ව ගම්පහ රෝහලේ වෛද්‍ය මහාචාර්ය අරුණ මුනසිංහ පරීක්‍ෂණ කරනවා. හදිසි අනතුරක
දී විවිධ ඉන්ද්‍රිය ආබාධවලට ලක් වෙනවා. ඒ ඒ ඉන්ද්‍රිය අතර සම්බන්ධය දැන ගැනීම මෙහි
දී වැදගත් වෙනවා. අප ටිකෙන් ටික බටහිර
විද්‍යා අච්චුවේ අපේ චින්තනයේ සුසමාදර්ශ ක්‍රියාත්මක කිරීම කරා යොමු වෙමින්
ඉන්නවා. එසේත් නැත්නම් අපේ චින්තනයට බටහිර ශිල්පීය ක්‍රම අවශෝෂණය කරමින් ඉන්නවා. ඒ
අතර අපට අපේ චින්තනය මත පදනම් වී අපේ සුසමාදර්ශ ක්‍රියාත්මක කරන්නත් තියෙනවා.