Main Logo

Tuesday 29 March 2022

අනේ වජිර අනේ රනිල්

 

 

අනේ වජිර අනේ රනිල්

 

වජිර අබේවර්ධන කියල රනිල් අගමැති නම් මේ ප්‍රශ්න නැහැ කියල හරි එවැනි තේරුමක් දෙන කතාවක්. ඔහු වෙන මොනව කියන්න ද? අකිල විරාජ් කාරියවසම් ඒ කතාව අනුමක කරන බවට සැකයක් නැහැ. රනිල් ඊයෙ 360ට ඇවිත්. මා නම් බැලුවෙ නැහැ. මොකෝ අලුත් දෙයක් කියනවැයි. හැමදා ම කියන කතා තමයි. මං පොර සංකල්පය රනිල්ටත් තියෙනවා. ලංකාවෙ මං පොර නොවන්නෙ කවුද? රනිල් කියන්නෙ අවුරුදු එකහමාරක් දෙකක් තිස්සෙ තමා මේ අර්බුදය ගැන කියන බව. බලාගෙන යනකොට ලංකාවෙ මාධ්‍යයට එන හැමෝ ම වගේ මේ අර්බුදය ගැන අනාවැකි කියල ඒත් ආණ්ඩුව ඒ කිසිවක් සතපහකට ගණන් අරන් නැහැ.

 

එක අතකට රනිල් මේ අර්බුදය ගැන කලින් ම දැනන් ඉන්න ඕන. ඔහු මේ අර්බුදයට විශාල ප්‍රමාණයකට වග කියන්න ඕන. තමා වග කියන්න ඕන දෙයක් ගැන රනිල් දන්නෙ නැත්තන් කවුද දන්නෙ. අජිත් නිවාඩ් කබ්රාල් සර්ව පාක්‍ෂික සම්මේලනයෙ දි යහපාලන ආණ්ඩුව කාලයෙ රටේ ආර්ථිකය කඩා වැටුණ බව කිවුව ම රනිල් විරුද්ධ වෙලා. රනිල් කියල මේ ප්‍රශ්නෙ ඉතිහාසය හොයන්න ගියොත් විජය රජු ගාවට යන්න වෙයි කියල. කුවේණි විජයට ඩොලර්වලින් ගෙවුවයි කියල මහානාම හාමුදුරුවො සඳහන් කරල නැහැ. ඒ කොහොම වෙතත් සාතන් ඒවට ඩොලර්වලින් ගෙවුව කියලත් පරණ තෙස්තමේන්තුවෙ සඳහන් වෙන්නෙ නැහැ. ඒ දවස්වල ඇපල් ගෙඩියක් කීය ද? පලස්තීනෙ ඇපල් තිබුණ ද කියල මගෙන් අහන්න එපා. තහනම් ගහ මොකක් ද කියල අපි දන්නෙ නැහැ.

 

රනිල් කියන්නෙ යැංකි ඩිකීගෙ බෑණා. වර්තමානයෙහි ලංකාවෙ ඉන්න බටහිර නියෝජිතයා. ඔහු දන්න එකම දේ ජමූලට යන එක. ණයක් ගන්න එක. එහෙම නැත්නම් ණය ඊනියා ප්‍රතිව්‍යුහගත කරන එක. ඒ කියන්නෙ සාමාන්‍ය සිංහලෙන් නම් ණය ගෙවීම කල් දාගන්න එක. නිෂ්පාදන නැති කරන එක හැරෙන්න වෙන මොනවද රනිල් දන්නෙ. ඔය ණය ගන්න කතාවත් ඔහුට කියල දෙන්නෙ බටහිරයන්ම තමයි. ඔය ණය අරගෙන ජනතාවට කීයක් හරි මුදා හැරල ඊනියා ජනරංජනයක් කරපු එක තමයි එ ජා ප ආණ්ඩු හැමදාමත් කෙළෙ.

 

එ ජා ප ප්‍රධාන ආණ්ඩු හා ශ්‍රී ල නි ප ප්‍රධාන ආණ්ඩු අතර තියෙන ප්‍රධාන ම වෙනස ජාතිකත්වය පිළිබඳ වෙනස. එ ජා පක්‍ෂෙ කිසිම ජාතිකත්වයක් නැහැ. කසිකබල් මාක්ස්වාදීන්ට ඒ වෙනස තේරෙන්නෙ නැහැ. ඒ වෙනස තේරුම් ගන්න ඊනියා පංති විග්‍රහයක් නැහැ. කලක් කුමාර් රූපසිංහ එක්ක හිටපූ  රාජිත දැන් කියනවා ඔය සියල්ල සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ කියල. රාජිත මාක්ස්වාදය සංශෝධනය කරල ද? රාජිත කියන්නෙ පෙරළුණු පැත්ත හොඳයි කියන වගේ කතාවක්.

 

ඒ කොහොම වෙතත් බටහිරයන් එ ජා ප ප්‍රධාන ආණ්ඩු පවත්වාගෙන යෑමට ඩොලර් ණය සොච්චමක් දෙනවා. ඒ සොච්චමෙන් සොච්චමක් ඊනියා ජනරංජනයට යොදනවා. ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නැහැ. ප්‍රශ්නෙ කල් දැමීම විතරයි කෙරෙන්නෙ. ඒත් ශ්‍රී ල නි ප ප්‍රධාන ආණ්ඩු තියෙන විට (දැනුත් තියෙන්නෙ හරය වශයෙන් ගත්ත ම ශ්‍රී ල නි ප ප්‍රධාන ආණ්ඩුවක්. පොදුජන පෙරමුණ කියල පක්‍ෂයක් නැහැ. ඒක බැසිල්ගෙ ඒකාධිකාරයක් පමණයි. මෛත්‍රිපාලගෙ ශ්‍රී ල නි ප යහපාලනෙට ගිහිල්ල ශ්‍රී ල නි ප නැතිකරගත්තු විගඩමක් පමණයි.) බටහිරයන් ඒ කඩාකප්පල් කරන්න හැකි සෑම උත්සාහයක් ම දරණවා. අද වෙලා තියෙන්නෙත් ඒකයි. රනිල් හිටිය නම් ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නැහැ. අපට බටහිිරින්  ජමූලෙන් කොන්දේසිවලට යටත්ව ණය සොච්චමක් ලැබෙනවා. අද ඒක ලැබෙන්නෙ නැහැ. වසංගතයත් එක්ක ඇති වෙච්ච ප්‍රශ්න නිසා අද අර්බුදය නහයටත් උඩින් ගිහින්.

 

හිටපු විගණකාධිපති ඊයෙ කිවුව හොරු ගැන. ඒකත් අලුත් දෙයක් නොවෙයි. හැම පක්‍ෂයක ම හොරු ඉන්නවා. හඳුන්නෙත්තිගෙන් අහන්න. ඔය ජ වි පෙරමුණට අයත් ය කියන දේපොළ විතරක් නොවෙයි හඳුන්නෙත්ති සහෝදරයා තම පටියත් පක්‍ෂ සහෝදරයන් දුන්න බවට මාක්ස්ගෙත් විජේවීරගෙත් නාමයෙන් දිවුරාවි. හිටපු විගනකාධිපතිතුමා දන්නවා ද රාජ්‍ය නිලධාරීන් කරන හොරකම්. එතුමා සඳහන් කළ අර පොහොර නැවේ සිද්ධිය දන්නවා ද? ඒක අශූචි කියල නිගමනය වුණෙ කොහොමද? බටහිරයන් හා ඉන්දියාව නිලධාරීන් ද අල්ල ගෙන අප චීනය සමග තරහ කළා ද? අපට සහනයක් ලබා ගැනීමට හිටපු චීනය තරහ කළාට පසු අපට බටහිර හා ඉන්දියාව සරණ යෑම හැර වෙනත් විකල්පයක් නැති බව රනිල් නම් දැන ඉන්න ඇති. රනිල්දාස ගැන මොනව කියන්න ද? ඔහු කියන්නෙත් රනිල් කියන දේම තමයි.

 

රනිල්ගෙ ඉතිහාසයට මා යන්නෙ නැහැ. ඔහු මාමගෙ ආණ්ඩුවෙ අධ්‍යාපන ඇමති වෙලා හිටිය. මතක ද ධවල පත්‍රිකාව. ඒ කාලෙ කොළඹ විශ්වවිද්‍යාලෙ ශිෂ්‍යයන් ජේ ආර් බෞද්ධාලෝක මාවතෙ යන විට හූ කිවුව කියල පොලීසිය මගෙන් ප්‍රශ්න කළා. ජෙ ආර් හිතුව ද දන්නෙ නැහැ මා ශිෂ්‍යයන් ලවා ජෙ ආර්ට හූ කියෙවුවා කියල. පොලීසියට ප්‍රශ්න දෙක අහන කොට මගේ කිසිම සම්බන්ධයක් නැති බව තේරුම් ගියා. ජේ ආර් හූ කියන්නවත් වටින පුද්ගලයකු නො වෙයි.

 

අර හොරු ගැන කියද්දි මහා බැංකු මහා මංකොල්ලය ගැන මතක් වෙන්නෙ නැත්තෙ කාටද? ඒ මුදල ඩොලර් බිලියන ගණනක් නොවෙන්න පුළුවන්. ඒත් ඒක රටට නැති වුණා. අර්ජුන් මහේන්ද්‍රන් රනිල්ට කියල ගියා කියනවා කාගෙද මගුල් ගෙදරක යනව කියල. තවම මගුල් ගේ ඉවර නැතුව වෙන්න ඇති. ඒත් ඒ සල්ලි එ ජා ප මැතිවරණ ව්‍යාපාරයට යෙදෙවුව බවක්වත් මගුල් ගෙදරට යෙදෙවුව බවක්වත් අර්ජුන් මහේන්ද්‍රන් කියල නැහැ. ඒ නිසා රනිල් අත නැත දෝසා.

 

රනිල් කියනවා ජාතික රාමුවක් හදා ගන්න ඕන කියල. රනිල්ට දැන් වයස හැත්තෑතුනයි. අවුරුදු පනහක්වත් දේශපාලනයෙ ඉන්න ඇති. මා අහන්නෙ නැහැ රනිල් ජාතික සංහිඳියාවක් වෙනුවෙන් මොකක් ද කෙළෙ කියල. මා අහන්නෙ ඉතා සරල ප්‍රශ්නයක්. රනිල්ට බැරි ද සජිත් එක්ක සංහිඳියාවක් ඇති කර ගන්න. ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ කියල කතාවක් තියෙනවා. අනුන්ට ඔවා දෙන්න පෙර තමා සම්මතෙහි පිහිටන්න කියල පැරැන්නන් කියල තියෙනවා. නැහැ ජේ ආර්වත් සේනානායකලවත් නොවෙයි.  ඇත්තට ම එ ජා පක්‍ෂෙ අය රනිල් අතහැරියෙ ඇයි. මා කියන්නෙ වජිරල චම්පකල අකිලල ගැන නො වෙයි.

 

අද පාර්ලිමේන්තුවට බලයක් නැහැ. එය රබර් මුද්‍රාවක් පමණයි. අද බලය තියෙන්නෙ බටහිරයන්ට හා ඉන්දියාවට. මා හිතන්නෙ ඉන්දීය විදේශ ඇමති තමයි අපේ විසූරේ නැත්නම් වයිස්රෝයි. නැහැ වයිස් කැප්ටන් රෝයි ඩයස් නොවෙයි. රනිල්ටවත් බැසිල්ටවත් මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තු එන්න බැහැ. ඒත් ඔවුන් තමයි අද බලවත්තු. ඔවුන් සර්වපාක්‍ෂික සම්මේලනය මගින් අවශ්‍ය තීරණවලට එනවා. රනිල් බැසිල් පිටුපස ඉන්නෙ එංගලන්තය හා ඉන්දියාව. පාර්ලිමේන්තුවත් ඔහෙ තිබිච්චාවෙ. ඇඟේ පතේ කටේ හයිය පෙන්නන්න තැනක් එපායැ.