ජනාධිපතිතුමා නොකී දේ
ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ජාතිය ඇමතුවා. එය කෙටියි හොඳයි. එහි කිව යුතු දේ ඉතා කෙටියෙන් තිබුණා. ඒත් මට හිතුණා කතාවට අටුවාවක් ලියන්න ඕන කියා. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති කළ යුතු යැයි මා ද කිවුවා. ඇතැම් රැස්වීම්වලත් කතා කළා. එතුමාට ඒ අවස්ථාවේ සිංහල ඡන්දවලින් පමණක් ජනාධිපති විය හැකි බවත් මා දැන සිටියා. මාත් ඔය හැටනව ලක්‍ෂයෙන් එක් අයෙක්. මා ඒ සියල්ල ගැන සතුටු වෙනවා. බැරි වෙලාවත් සජිත් ජනාධිපති වුණා නම් මෙරට තෙල් ප්‍රශ්නයක් ගෑස් ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. ඇති වන්න විධියක් නැහැ. අලි හෙම්බිරිස්සාවෙන් ම ජනගහනයෙන් ඉතා විශාල පිරිසක් මිය ගිහින්.
අද ඇති ආර්ථික අර්බුදය රාජපක්‍ෂලා ඇති කළ එකක්
නො වෙයි. එය 1952 පමණ සිට එන 1977න් පසු ඉක්මණින් වැඩුණු අර්බුදයක්.
රාජපක්‍ෂලාගේ වරද ඒ පාරේ ම ගිය එක. අලි
හෙම්බරිිස්සාවෙන් එය සන්නිපාතයක් වුණා. සංචාරක ව්‍යාපාරය (දැන් මේ හැම එකක් ම කර්මාන්තයක්
ලෙස හැඳින්වෙන කරුමයක් තියෙනවා) කඩා වැටුණා. රටවිරුවන්ගේ ප්‍රේෂණ අඩු වුණා. රට වහල
අපනයන අඩු වුණා. ඒත් ප්‍රශ්නයේ මුල අප තරමට වඩා වියදම් කිරීම, අපෙන්
රාජ්‍යයට නොව රාජ්‍යයෙන් අපට කියන ප්‍රතිපත්තිය, සාමූහිකත්වය වෙනුවට පෞද්ගලිකත්වය වැඩි
වීම, ආත්මාර්ථකාමී වීම, ඊනියා
උගත්කම දියුණු වීමේ මගක් ලෙස සලකා මඩෙන් ගොඩ වීම, ගොවිතැන පහත් කොට සැලකීම, ණයට
කෑම, සැලසුමක් නැතුව කෑම. නිෂ්පාදනයක් නැතුව කෑම.
යුතුකම් නැතුව අයිතිවාසිකම් පමණක් ඉල්ලීම, කෙටියෙන් කියනව නම් ඉල්ලන් කෑම.
අද මැදීන් පෝය. සිරීපාදේ වැඩියෙන් ම යන්නෙ මේ කාලෙ.
මා හිතන්නෙ හීතල දුරුත්තත් බක් මහ අකුණුත් මගහැරීම එයට හේතු වෙන්න පුළුවන්. ඒ මගේ
තවත් හිතිවිල්ලක් පමණයි. ඒ හරි ගියත් නැතත් මා අද උදේ රූපවාහිනියේ බලා හිටියා ජනයා
ඉතා සැදැහැ සිතින් සිරිපතුල වන්දනා කරනවා. ඒ වන්දනා කරන විට ඔවුන්ට බුදුහාමුදුරුවො
මෙතනට වැඩිය ද මේ සිරිපතුල ද වගේ ඕල්කට් පඬි සිතුවිලි එන්නෙ නැහැ. ඒ මොහොතේ ඔවුන්
මමත්වය කෙටි කාලයකට හරි අවමයක් කර ගෙන. ඒ දැක්කම මටත් සැදැහැ සිත් ඇති වුණා.
කොහොමටත් මා පඬියකු නො වෙයි.
ඒත් අවාසනාවකට ඒ ජනයාට ගෙදර ගිය ගමන් මමත්වය
වැඩි වෙනවා. නඩේ ඇති සාමූහිකත්වය වෙනුවට පෞද්ගලිකත්වය ඇති වෙනවා. අපි ජීවිතයෙ සුළු
මොහොතකට පමණක් බෞද්ධයො. ඉතා වැඩි වෙලාවක් නූතනත්ව දාසයො. අනුරාධපුරයට යන්න අප
කැමතියි. පොළොන්නරුවට එතරම් කැමති නැහැ. ඒ මෛත්‍රිපාල සිරිසේනට ඇති අකමැත්තක් නො
වෙයි. අප අවිඥානික ව හරි කැමති අනුරාධපුරයෙ සරල ප්‍රෞඪ බවට. ඒත් අද අපට ඇත්තෙ
සංකීර්ණ නිවට බවක්.
දැනට අවුරුදු හැටපහකට පමණ පෙර මද්දුමාගේ
අර්නෝලිස් ප්‍රනාන්දු නමැත්තෙක් පුවත්පතකට හොඳ ලිපියක් ලියා තිබුණා. ඔහු මගේ මවගේ
පොඩි මාමා. එකල කුඩා දරුවකු වුවත් මට ඒ ලිපිය තදින් හිතට කා වැදුණා. එහි මාතෘකාව
වුණේ අපේ බොරු ෂෝක්. එකලත්, පනහේ දශකයේ මුලත් අපි බොරු ෂෝක් කාරයො.
අද බොරු ෂෝක් පඬියොත් වෙලා. ඊනියා මානව ධර්මතා අප නිර්වචනය කරනවා. කාට තේරෙන කතා ද? ඒත්
අපි තේරුණා වගේ ඉන්නවා. අපට හොඳ උගත්කමක් හොඳ රැකියාවක් (ගොවිතැන නැතුව ඕන එකක්), හොඳ
ගෙයක්, හොඳ කාරයක්,
හොඳ භාර්යාවක් හොඳ ස්වාමි පුරුෂයෙක්, දරුවන්ට
හොඳ පාසල්, ඊට පස්සෙ දරුවන්ට ඒ චක්‍රය ම ඕන. මෙහි හොඳ
කියන්නෙ සම්‍යක් කියන එක නම් නො වෙයි.
ඉන්දියාව නිදහස ලබා ගෙන බොහෝ කාලයක් යන තුරු
මැති ඇමතිවරු ඇතුළු මධ්‍යම පාංතික කවුරුත් පාහේ පාවිච්චි කෙළේ ඇම්බසඩර් රථයක්. එහි
ඡායාරුපයක් මේ සමග පළවෙනවා. ඒකට අපි. මේ සම්බන්ධයෙන් මා අහල තියෙන හොඳ කතාවක්
තියෙනවා. ඉන්දියාවෙ සමාජවාදී පක්‍ෂයෙ නායකයෙක් ලංකාවට ඇවිත් සමසමාජ පක්‍ෂ කාර්යාලය
අසළින් ගිහින්. කාර්යාලය ඉදිරියේ ඉතා වටිනා කාර් රථ ගාල් කරල. අර නායකයා කියල
සමසමාජ පක්‍ෂෙ දේශපාලන මණ්ඩලය රැස්වෙනවා ඇති කියල!
මා දන්නවා ඇමරිකාවෙත් සමහර අවස්ථාවල රිය සාත්තු
(කාර් පූල්) සංවිධානය කරනවා. වරකට දුවන්නෙ එක් රියක් පමණයි. රිය මාරුවෙන් මාරුවට
පාවිච්චි කරන්නෙ. මෙරට කාර්යාලවල (කාර්යාල කිහිපයකට) එහෙම රිය සාත්තු සංවිධානය කළොත් සුළු මුදලක් හරි
ඉතුරු කර ගන්න පුළුවන්. ඒක සරල උදාහරණයක් පමණයි. අප ආකල්ප වෙනස් කර ගන්න ඕන.
මා හිතන්නෙ නැහැ අර්බුදය මහා දරුණු එකක් කියල.
අප තමා ගැන හිතනවාට කලින් රට ගැන හිතනවා නම් අපෙන් රටට දෙන්න පුළුවන් මොනව ද කියල
කල්පනා කරනවා නම් අපට ඊනියා ආරථිකමිතික (econometrics) නැතුව පඬි කතා නැතුව ප්‍රශ්නය විසඳ
ගන්න පුළුවන්. ආර්ථිකමිතික කියන්නෙ සංඛ්‍යානාත්මක ක්‍රම ආර්ථික විද්‍යාවෙ යොදා
ගැනීම. ආර්ථික විද්‍යාවක් කියා විද්‍යාවක් නැතුව සංඛ්‍යානාත්මක ක්‍රම යොදන්න
වෙන්නෙත් ඒත් අතට මේත් අතට.
ඊයේ ජනාධිපතිතුමා කියා සිටි පරිදි ප්‍රශ්නය
ආනයන අපනයනවලට වැඩි වීම. සංචාරක ආදායම රටවිරු ප්‍රේෂණ ආදී සියල්ල අපනයනවලට එකතු
කළත් ආනයනවලට සම කරන්න බැහැ. ඒක හැම ආණ්ඩුවක ම ප්‍රශ්නයක්. ඒ අපේ බොරු ෂෝක් හින්ද.
බොරු පඬිකමත් ඒකට එකතු වෙලා. අපට අනවශ්‍ය ආනයන සඳහා ණය ගන්න වෙනවා. එවිට ණය
පොළියත් එක්ක ගෙවන්න වෙනවා. එවිට අර ආදායම වියදම පරතරය තවත් වැඩි වෙනවා. එය සරල
කතාවක්.
ප්‍රශ්නය මේ පරතරය අඩු කරගන්නෙ කොහොමද කියන එක.
අපට අපනයන වැඩි කරන්න පුළුවන්. වැඩි කල් යන්න පෙර කාබනික ආහාර වගා කරල රට පටවන්න
පුළුවන්. කර්මාන්ත ඇති කරල ආනයන අඩු කරල සමහර විට අපනයනය කරන්නත් පුළුවන්. ඒත් ඒ
සියල්ල සමග අප සරල වෙන්න ඕන. අපේ බොරු ෂෝක් නවත්තන්න හිත හදා ගන්න ඕන. අපේ ආකල්ප
වෙනස් කර ගන්න ඕන. මා මියන්මා සිට එන විට ගෙනා ඩොලර් දහදාහක් පමණ උන්ඩියල් ක්‍රමයට
මාරු කෙළෙ නැහැ. එහෙදී ම ඩොලර් තුන්දාහක් පමණ වසංගත අරමුදලට ප්‍රදානය කළා. මා ඊනියා ගමන සඳහා
දෙන දීමනා අර ගත්තෙ නැහැ. මගේ දුරකතන වියදම මා දැරුවා. මා හොඳ මිනිහෙකු බව කියනවා
නො වෙයි. මා කොහොමත් වංචනිකයකු බව වමාලා ජනමාධ්‍යවේදීන් දන්නවා. මගේ දරුවන්ට
ඉගැන්වීමට මා ඔවුන් පිටරට යැවූ බව මාධ්‍යවේදීන් කියාවි. මා බරකරත්තයෙන් යන්නෙ
නැතුව ජපන් කාරයකින් ගියා කියලා වමාලා කියාවි. වමාලා පඬි නැට්ටන් කියාවි රාජපක්‍ෂලාට
කඩේ ගිහින් හම්බ කරපු සල්ලි කියල. එහෙම නැත්නම් කියාවි සාමාන්‍ය මිනිහෙකුට ගෙයක්
දොරක් හදාගන්න වැඩි සල්ලි ඕන කියා.
මා කියන්නෙ මධ්‍යම පංතියටයි. දුප්පතුන්ට වඩා මධ්‍යම පංතිය තම ආකල්ප වෙනස් කර ගන්න ඕන. අප කුඩා මෝටර් රථවල ගිහින් කුඩා ගෙවල්වල ජීවත්වෙනවා නම් තෙල් සිමෙන්ති වියදමවත් ඉතුරු කර ගන්න පුළුවන්. අප ඊනියා දියුණුව ලබා ගන්නට පෙර දියුණු ජීවිතයක් ගත කරළා ණය වෙලා. එදා ඉතා හොඳ වාහනවල ගිය අප එදා ඇම්බසඩර් රියේ ගිය ඉන්දියානුවන් ළඟට ණය ගන්න යනවා. ඔය ණය සඳහා අපට යාපනයයි ත්‍රිකුණාමලයයි දෙන්න වෙයි ද? එ ජා පක්‍ෂය තමයි මේ තත්වයට වැඩියෙන් ම වග කියන්න ඕන. අර ට්‍රාන්ස්ෆෝරමර් කඩපු ජෙප්පන් කියන දේ පයිසෙකට ගණන් ගන්න ඕන නැහැ.