Main Logo

Wednesday 2 March 2022

කුමරතුඟුවන් සිංහලය හා නූතනත්ව කුණු ඇපල්

 

කුමරතුඟුවන් සිංහලය හා නූතනත්ව කුණු ඇපල්

 

මට අද ලිවීමට අවශ්‍ය වූයේ නූතනත්ව කුණු ඇපල් ගැනයි. එක්ස් කණ්ඩායමේ ඇතැමුන් පශ්චත්නූතනවාදය අමතක කර නුතනත්වයට වඳින්න පටන් ගැනීම ගැනයි.  නිවුටන්ගේ කිසිවකුත් දැක නැති ගුරුත්වාකර්ෂණ පට්ටපල් බොරුව ගැනයි.  යුක්‍රේනය ගැනත් තවත් ලිවීමට ඇති මුත් එයට පසුව නැවත එන්න පුළුවන්. එහෙත්  පැහෙන්නට පෙර ම කුණු වූ ඇපල් ගැටයකු ලියා තිබුණා හෙළ හවුල ද නූතනත්වයේ ප්‍රතිඵලයක් කියා. මේ ලිපිය ලියන්න හිතුනේ ඉන් පසුවයි. නූතනත්වවාදයක් කියන්නේ යම් කිසි කාල පරිච්ඡෙදයක දී ලියැවුණු දෙයක් නො වෙයි. නූතනත්වයට පසුබිම් වූ චින්තනයක් තියෙනවා. ඒ බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයයි. හෙළ හවුලට එවැනි චින්තනයක් තිබුණේ නැහැ. හෙළ හවුල පදනම් වූයේ පස්වැනි සියවසට පෙර සිංහල චින්තනයෙහි. එය ඊනියා මූලධර්මවාදයක් නොවෙයි. එය නූතනත්ව චින්තනයක් ද නොවෙයි.

 

අද කුමරතුඟු දිනයයි. කුමාරතුංග මුනිදාසයන් තම නම සිංහලෙන් ලිවුවේ කුමාරතුංග මුනිදාස කියා මිස මුනිදාස කුමාරතුංග කියා නො වෙයි. නූතනත්ව සම්ප්‍රදායට අනුව නම් ඔහු තම නම ලිවිය යුතුව තිබුණේ මුනිදාස කුමාරතුංග කියායි. කොළඹ විශ්වවිිද්‍යාලය නිල වශයෙන් පිහිටා ඇත්තේ කුමාරතුංග මුනිදාස මාවතේ බව එහි ඉන්නා පඬි නැට්ටන්ට බලා ගන්න පුළුවන්. කුමරතුඟුවන් විශ්වවිද්‍යාලයකට බඳවා ගනු ලැබුයේ නැහැ. ඒ නූතනත්ව විශ්වවිද්‍යාලයීය සම්ප්‍රදාය අනුව.

 

මා කුමරතුඟුවන් දකින්නේ පස්වැනි සියවසෙන් පමණ පසු මෙරට බිහි වූ පළමු බුද්ධිමතා ලෙස. ඒ බව මා අවුරුදු කිහිපයකට පෙරත් කියා ඇති. බුද්ධිමතා හා උගතා කියන්නේ දෙදෙනෙක්. මෙරට විශ්වවිද්‍යාලවල උගතුන් මිස බුද්ධිමතුන් නැහැ. පස්වැනි සියවසෙන් පමණ පසුව මෙරට උගතුන් මිස බුද්ධිමතුන් බිහි වීම ඇණ හිටියා.  බුද්ධිමතුන් අලුත් අලුත් දේ නිර්මාණය කරනවා. අලුත් අලුත් දේ නොතනන ජාතියකට මිය යෑමටයි සිදු වන්නේ. ඒ බව කුමරතුඟුවන් දැන හිටියා.

 

පස්වැනි සියවසට පමණ පෙර මෙරට බුද්ධිමතුන් සිටි බවට සාක්‍ෂි තියෙනවා. මා දන්නා ආකාරයට වෙනස්වීම පිළිබඳ කතාවක් සිංහල භික්‍ෂූන් වහන්සේ ගොඩ නගා තිබුණා. වෙනස්වීම යන්න අමාරු සංකල්පයක්. වෙනස්වීම යන්නෙන් යම් කිසිවක හරි යම් පුද්ගලයකුගෙ හරි වෙනස්වීමක් ගැන කියන්න බැහැ. එය පුද්ගලවාදීයි නැත්නම් ආත්මවාදීයි. එය බුදුදහමට එකඟ නැහැ. කිසිවක් හෝ කිසිවකු හෝ නැතුව වෙනස්වීම ගැන කියන්නට සිංහල භික්‍ෂූන් වහන්සේ සමත් වුණා.

 

එමෙන් ම බිංදුවට නැත්නම් ශූන්‍යයට සංකේතයක් සංස්කරණය කළේ සිංහලයන්. ඒ හල් කිරීම. ඒ පිටුපස ඇත්තේත් බුදුදහමයි. අගයක් තිබීම මෙන් ම නොතිබීම  බිංදුවේ මෙන් ම හල් කිරීමේ ද තියෙනවා. ඒ පිළිබඳවත් මා ලියා ඇති. සිංහල භාෂාවේ ව්‍යාකරණය පිළිබඳ මතභේද තියෙනවා. අප බුදුදහමෙන් පෝෂණය වී ඇත්තේ එකී සංස්කෘතිය මෙරට පැරණි සංස්කෘතිය සමග සමපාත වූ අවස්ථාවල දී කියා හිතන්න පුළුවන්. එහෙත් අවාසනාවකට අප කලක දී පළමුව පාලි භාෂාවේත් පසුව සංස්කෘත භාෂාවේත් වචන පමණක් නොව රීතිත් ලබා ගෙන තියෙනවා. අද සිංහල ව්‍යාකරණය තනිකර ම කැඳ හැලියක්. 

 

බුදුදහම ඉතා මෑතක් වන තුරු අපේ ආගමක් වුණේ නැහැ. අපේ ජීවන දැක්ම හා බුදුදහම එකතු වීමයි සිදු වී තියෙන්නෙ. අද අප ගමයි පන්සලයි වැවයි දාගැබයි ගැන කියනවා. එය ආගමක් පිළිබඳ කතාවක් නොව ජීවිතය පිළිබඳ කතාවක්. අපේ ජීවිතය ගොඩ නැගී තිබුණේ වැවයි දාගැබයි වටා. එහෙමත් නැත්නම් ගමයි පන්සලයි වටා. මිහිඳු මහා රහතන් වහන්සේ අපට බෝධීන් වහන්සේ වැඩම කරවීමට කටයුතු කෙළේ අපේ සංස්කෘතිය තවත් තහවුරු කරවීමට.

 

සිංහල භාෂාවේ ව්‍යාකරණය පිළිබඳ ව කුමරතුඟුවන් මත ප්‍රකාශ කර තියෙනවා. සිංහලයෙහි ක්‍රියා පද වර්ග හයකට ගොනු කරන්න පුළුවන් කියන එක ම වැදගත් මතයක්. අවශ්‍යකමක් තිබුණා නම් ක්‍රියා විවරණයට ආචාර්ය උපාධියක් දී කුමරතුඟුවන් විශ්වවිද්‍යාලයට බඳවා ගන්න තිබුණා. මා දන්නා තරමින් එතුමාට ඩී ලිට් සම්මාන උපාධියක් පිරිනමා නැහැ. එතුමාට එවැන්නක් අවශ්‍ය වූයේ නැහැ. එහෙත් එය වෙන ම කරුණක්.

 

සිංහල භාෂාවෙහි කාලත්‍රයක් නැති බව කුමරතුඟුවන් ප්‍රකාශ කළා. එතුමා කියා සිටියේ ඇත්තේ අතීත හා අනතීත කාල දෙක බව. පහුගිය කාලයේ තමලු පියදිගම සිංහලයෙහි කාල භේදයක් නැති බව කියා හිටියා. බුදුදහම අපට කියන්නේ වර්තමානය ගැන. එයින් කියන්නේ අතීතයක් අනාගතයක් නැහැ කියන එක නො වෙයි. වර්තමානයෙහි ජීවත් වීමේ වැදගත්කම ඉන් කියැවෙනවා. නිවන වුණත් වත්මනෙහි සම්මාබෝධය ලබා ගන්න පුළුවන්. අමාවතුරෙහි කාල භේදය හා පැරණි සෙල්ලිපිවල කාල භේදය හැදෑරීමට කවුරු හරි ඉදිරිපත් වන්නේ නම් එය කුමරතුඟුවන්ට කරන උපහාරයක් වනු ඇති.

 

අපේ පොත්පත් පාලියට පෙරළීම කුමරතුඟුවන්ට ප්‍රශ්නයක් වී ඇති බව පැහැදිලියි. එතුමා කියා සිටියේ පාලිය මහාවිහාර භික්‍ෂූන් වහන්සේගේ නිර්මාණයක් කියායි. මා හිතන්නේ කුමරතුඟුවන්ගේ සිංහලකමට මෙය බාධාවක් වුණා කියායි. සිංහලකම බුදුහමෙන් වෙන් කරන්න බැහැ. කාදිනල්තුමාත් ඒ බව දන්නවා. පොත්පත් පාලියට පෙරළීමෙන් සිංහලයට පමණක් නොව සිංහලෙන් හිතීමට ද බාධා ඇති වුණා. පොත්පත් පාලියට පෙරළුණේ ආන්ද්‍ර භික්‍ෂූන් වහන්සේ මැදිහත් වීමෙන්. අපත් මියන්මා දේශයත්  සතුව අද ඇත්තේ ආන්ද්‍ර බුදුදහමක්. එය හෙළටුවාවල බුදුදහම නොවෙයි කියන එකයි මගේ හැඟීම. එහෙත් අපට දැන් හෙළටුවා හොයා ගන්න බැහැ. අප අද ථෙරවාදය ලෙස දකින ආන්ද්‍ර බුදදුහමේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යෑමයි කළ යුත්තේ. එය තරමක භාරදුර වැඩක්. එසේ නැතුව බෞද්ධ වත් පිළිවෙත් අත හැරීම සිංහලකමෙන් යම් කොටසක් අත් හැරීමක් වෙනවා. බුදුදහම ආගමක් ලෙස නොසිතීමට අප පුරුදු වන්න ඕන. අද ඕල්කට්තුමා නිසා එය ආගමක් බවට පත් වෙලා.

 

කෙසේ වෙතත් හෙළ හවුල කියන්නෙ ඊනියා නූතනත්වයේ තවත් කුණු ඇපල් ගෙඩියක් නොවෙයි. හෙළ හවුල කුමරතුඟුවන් අනුගමනය කරමින් අලුත් මත තනන්න උත්සාහ ගත්තේ යැයි කියන්න බැහැ. ඒ වෙනුවට හෙළ හවුල එතුමාගේ එක් කාර්යයක් පමණක් වූ හෙළ වචන හැදීම පමණක් කරගෙන ගියා, ඔවුන් වදන් වඩුවන් වුණා. හෙළ වදන් අවශ්‍යයයි. එය වැදගත්. අද ඇති සංස්කෘත පාරිභාෂික වචන ආධාර කරගෙන අපට අලුතෙන් හිතන්න බැගැ. හෙළ හවුල අලුත් වදන් මෙන් ම අලුත් ප්‍රවාද (කතා) ද හදන්න උනන්දු වෙනවා දැකීම මගේ පැතුමයි.