Main Logo

Saturday 11 July 2015

මෛත්‍රිපාලගේ ගැටළුව

මෛත්‍රිපාලගේ ගැටළුව

මෛත්‍රිපාල සිරිසේන යනු බටහිරයන් හා ඉන්දියයන් අතෙහි මෙහෙයවෙන රෑකඩයක් පමණි. තමාට ලැබී තිබෙන කොන්ත්‍රාත්තුවෙන් විශාල කොටසක් ඔහු ඉටු කර ඇත. ඔහුට තවත් ඉතිරිව ඇත්තේ අගොස්තු 19 වැනි දාට පසුව, මනාප ගණන් කර අවසන් වී තවදුරටත් රනිල් පික්පොකට් අගමැති ලෙස රඳවා ගැනීම පමණ ය. ඉන්පසු රට පාලනය කරනු ඇත්තේ බටහිරයන්ගේ අවශ්‍යතාව පරිදි රනිල් ය. අද ඉන්දීය නියෝජිතයන් ලෙස කටයුතු කරන මලිත් ජයතිලක වැන්නන්ට ද සුළු කාර්යභාරයක් හිමි වනු ඇත.
 

මෛත්‍රිපාල තම කොන්ත්‍රාත්තුවෙන් විශාල කොටසක් ඉටු කර ඇති නමුත් ජනතාව අතර ඔහුගේ විශ්වාසනීයත්වය ඉතා පහතට බැස ඇත. ඔහු දේශපාලන වශයෙන් අද නන්නත්තාර වී ඇත. බටහිරයන් වැඩි කල් නොගොස් ඔහුගේ සේවයට ස්තුති කර පැත්තකට විසි කරනු ඇත. 

ඔහුගේ විශ්වාසන්ත ම දේශපාලන කණ්ඩායම අද එක්සත් යහපාලන පෙරමුණක් පිහිටුවාගෙන ඇත. රතන හිමියන් බොරු පම්පෝරි දෙසා වැදෑරුව ද, එය ජාතික හෙළ උරුමයේ පුළුල් පෙරමුණක් ලෙස හැඳින්වුව ද, එය එක්සත් ජාතික පක්‍ෂයේ අඬුවක් පමණකි. ඒ රතන හිමියන්, චම්පක, වෙල් විදානලාගේ අර්ජුන, ප්රාජිත ඇතුළු කණ්ඩායමට වක්‍ර ව එ ජා පක්‍ෂයට ගොඩ වීමට තනාගත් පාළමක් පමණකි. පාළම මාස හයක්වත් නොපවතිනු ඇත. ඒ යන පිරිස එ ජා පක්‍ෂය තුළ දියවෙනු ඇත. අවසානයේ දී අවස්ථාවාදී චම්පක රණවක දේශපාලනයේ තමාට හිමි තැනට ගොස් ඇත. සෝභිත හිමියනි, ඔබවහන්සේ කොහි වැඩ වසන්නේ දැයි දැනගනු කැමැත්තෙමි. 

එස් බී දිසානායක ද ඒ ගොඩේ ඇතැයි අපි සතුටින් පසු වීමු. එහෙත් ඔහු දැන් පවසන්නේ මහනුවර සංධාන කණ්ඩායමේ නායකයා ලෙස ඉදිරිපත් වන බව ය. එය වැළැක්විය හැකි නම් එසේ කළ යුතු ය. ඔහු පසුගිය කාලයේ සිංගප්පූරු ගොස් පැමිණීමෙන් පසු මහින්දට බැණ වැදුණු ආකාරය කිසිසේත් අනුමත කළ හැකි නො වේ. ඔහු සමහරවිට චම්පක සමග එකට එ ජා පක්‍ෂයට ගොඩ වීමට අකමැත්තක් පසුවනවා ඇත. ඒ චම්පක සමග එකම පක්‍ෂයක තරග කිරීමට ඔහුට යම් චකිතයක් ඇති බැවිනි. ඔහු යම්කිසි ආකාරයකින් සංධානයෙන් තරග කළත් ඔහුට මනාප නොදිය යුතු ය.       

මෛත්‍රිපාලට කොන්ත්‍රාත්තුවේ ඉතිරි කොටස සම්පුර්ණ කරගත හැක්කේ අගොස්තු 17 වැනි දා පැවැත්වෙන මැතිවරණයෙන් තම හිතවාදීන් පිරිසක් සංධාන ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර  එවීමට කටයුතු කිරීමෙනි. ඒ නඩයත්, චම්පකලා නඩයත්, එ ජා පක්‍ෂයත්, දෙමළ ජතික සංධානයත් මුස්ලිම් කොංග්‍රසයත් ජ වි පෙරමුණත් අවශේෂ ජාතිවාදී හා ආගමිකවාදී පක්‍ෂත් එකතු කර රනිල් පික්පොකට් අගමැති කර පික්පොකට් ආණ්ඩුවක් බිහි කිරීම බටහිරයන්ගේ ද ඉන්දියයන්ගේ ද සැලැස්ම වෙයි. ඔවුන් මහින්ද ගෙදර යැවීමට කටයුතු කරන්නේ ඒ සැලැස්ම ක්‍රියාත්මක කිරීමෙනි.   

මෛත්‍රිපාල තවමත් සිටින්නේ එ ජා ප සමග ය. ඔහුගේ සම්ප ම දේශපාලන හිතවතුන් වූ චම්පකලාට ද නොදන්වා ඔහු පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ රනිල්ගේ අවශ්‍යතාවට ය. ඉන්පසු ඔහු තම සමීපතමයන් යවන්නේ ද රනිල් වෙතට ය. ඔහු බටහිරයන්ගේ හා ඉන්දීයයන්ගේ අවශ්‍යතාව මත ක්‍රියා කරයි. එහෙත් ජාතික බලවේග අද ශක්තිමත් බැවින් ඔහුට එයට ද ඇහුම්කම් දීමට සිදු වී ඇත. ඔහු මහින්දට අපේක්‍ෂකත්වය ලබා දුන්නේ දිව්‍ය ලෝක සැප සම්පත් බලාපොරොත්තුවෙන් නොව එසේ නොකර ඔහුට මෙලොව පැවැත්මක් නැති බැවිනි. මෛත්‍රිපාල ගැන සත පහක විශ්වාසයක් තබා ගත යුතු නො වේ. මැතිවරණයේ දී මහින්ද මතවාදීන්ට පමණක් මනාප ලබා දීමටත් මෛත්‍රිපාලගේ අපේක්‍ෂකයන් වූ  මහින්ද විරුද්ධවාදීන්ට මනාප නොදීමටත්  සංවිධානාත්මක ව ක්‍රියා කිරීමෙන් බටහිර හා ඉන්දීය සැලසුම් පරාජය කළ හැකි ය. 

නලින් ද සිල්වා

2015 ජූලි 11