Main Logo

Thursday 23 July 2015

මහින්ද රාජපක්‍ෂගේ ආරක්‍ෂාව

මහින්ද රාජපක්‍ෂගේ ආරක්‍ෂාව 

සුදු වෑන් කතා අතනින් මෙතනින් ඇසෙයි. මහින්ද රාජපක්‍ෂ යෑමට නියමිත මාර්ගවල බෝම්බ තිබී හමුවේ. අකුරැස්සේ දී බීමත් ව සිටි යා යැයි කියන අයකු මහින්ද රාජපක්‍ෂගේ අත මිරීකු බවට ප්‍රවෘත්ති හා ඡායාරූප පළවෙයි. එහි දී මහින්ද රාජපක්‍ෂ අදාළ පුද්ගලයාට පහර දුන් බව දේශදේශාන්තරවල පැතිර ගොස් ඇතැයි ආණ්ඩුවේ ජනමාධ්‍ය හෙළිදරවු කරයි. එය තවත් සිරිකොත හෙළිදරවුවක් බව පැහැදිලි ය. එහෙත් මේ හෙළිදරවුව සඳහා භික්‍ෂූන් වහන්සේ ද සහභාගි වෙති. මේ රටේ ඇතැම් භික්‍ෂූන්  වහන්සේ ගැමුණු රජුට ද විරුද්ධව ක්‍රියා  කර ඇති බැවින් මෙහි පුදුම වීමට දෙයක් නැත. මෙවැනි භික්‍ෂූන් වහන්සේගෙන් පන්සිල් සමාදන්වන ගිහියන්ට දෙවියන්ගේ ම පිහිට ය. 


ඒ අතර නැපෝලියන් බොනපාට් ගැන නවතම මතයක් පළ කර ඇති මෙරට අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහින්ද රාජපක්‍ෂට විශේෂ ආරක්‍ෂාවක් දීම ගැන උරණ වී ඇත. අප කුඩා කල මත්පැනින් සප්පායම් වී වෙරි මරගතේ නොයෙකුත් කතා කීමට පුරුදු වී  සිටි අයට බොනේපාට් (බොනපාට් නොව) යැයි කීවෙමු. අකිල විරාජ් කාරියවසම්  නැපෝලියන් බොනපාට් පළමු ලෝක මහා යුද්ධය යැයි හැඳින්වෙන්නෙහි දී දැක ඇත්තේ බොනේපාට් කෙනකු ලෙස දැයි නො දනිමු. ඒ කෙසේ වෙතත් ඉතිහාසයට නොබෙල් තෑගි දෙන්නේ නම් අකිල විරාජ්ට 2015 සඳහා ඒ තෑග්ග දීමට තිබිණි. එහෙත් ඔහුගේ නිහතමානීත්වය නිසා ම ඔහු ඒ ත්‍යාගය ප්‍රතික්‍ෂෙප කර ඉතිහාසගත වීමට තිබිණි. 

අකිල විරාජ් කාරියවසම්ට අනුව ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කයේ එ ජා ප කණ්ඩායමේ නායකයා ය. මහින්ද රාජපක්‍ෂ ඒ දිස්ත්‍රික්කයේ ම සංධාන කණ්ඩායමේ නායකයා ය. අකිල බොනේපාට්ට අනුව දෙදෙනාටම ලැබිය යුත්තේ එක සමාන ආරක්‍ෂාවකි. දෙදෙනාම නායකයෝ ය. ඔහු ඉන් නොනැවති මහින්ද රාජපක්‍ෂට වාදයකට අභියෝග කරයි. පෙර කල රා බිව් බොනේපාට් මියකු ද මෙවැනි දේ කළ බවට එකල ජනමාධ්‍යවල වාර්තා වෙයි. 

අකිලගේ නායකයා රනිල් ය. මහින්ද ද රනිල් ද අගමැති අපේක්‍ෂකයෝ වෙති. මෛත්‍රිපාල බටහිරයන්ගේ හා එ ජා පක්‍ෂයේ අවශ්‍යතා පරිදි මොන තරම් උත්සාහ කළත් මහින්දට අගමැති අපේක්‍ෂකත්වය ලැබිණි. එහෙත් ඒ අපේක්‍ෂකත්වය දුන්නේ ඔහු නොව ශ්‍රී ල නි ප හා සංධාන නායකයන් ය. එයින් පැහැදිලි වන කරුණක් වෙයි. නීතිය අනුව ශ්‍රී ල නි පක්‍ෂයේ ද සංධානයේ ද නායකයා මෛත්‍රිපාල සිරිසේන වුවත් පාක්‍ෂිකයන්ට අනුව ඔහු නායකයා නොවන බව ය. එසේ වුවත් ඔහු ජනාධිපති ය. මහජනයාට ඔහුගේ ජනාධිපතිකම ද හිස් ධුරයක් බවට පත්කිරමේ අවස්ථාවක් අගොස්තු 17 වැනි දා උදාවෙයි. 

මෛත්‍රිපාල සිරිසේන බටහිරයන් හා ඉන්දීයයන් සමග එකඟ වී ඇත්තේ මැතිවරණයෙන් පසුව ද අකිලගේ ස්වාමියා වූ රනිල් අගමැති කිරීමට ය. මම මෛත්‍රිපාල සිරිසේන සතපහකට විශ්වාස නො කරමි. ඔහු මහින්ද රාජපක්‍ෂ අගමැති පදවියට පත්කරනු ඇත්තේ වෙන කිසිවක් කිරීමට නොහැකි නම් පමණකි. මෛත්‍රිපාල සිරිසේන කොටුකිරීමට හැකියාව ඇත්තේ මහජනයාට ය. ඒ මහින්ද රාජපක්‍ෂට ඉස්තරම් ලෙස (වැනි වැනී නොව) පක්‍ෂපාති මන්ත්‍රිවරුන් 125 දෙනකු හෝ වැඩි දෙනකු හෝ පාර්ලිමේන්තුවට තෝරා පත්කර එවීමෙනි. එසේ නොවුවහොත් ඩොලර් ඇමතිකම් විසිකෙරෙන රටක කුමක් වේ ද යන්න සිතා ගැනීම අපහසු නැත. අප ක්‍රියා කළ යුත්තේ මෛත්‍රිපාල සිරිසේන යනු විශ්වාස නොකට යුතු පුද්ගලයකු යන උපකල්පනය පෙරදැරි කර ගෙන ය. 

මෛත්‍රිපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ දුස්සංයෝගය මහින්ද රාජපක්‍ෂට ලබාදිය යුතු උපරිම ආරක්‍ෂාව ලබා නො දෙනු ඇත. ඔවුන් ලබා දෙන  ආරක්‍ෂාව හිස් පත්‍රිකාවලට පමණක් සීමාවනු ඇත. සුදුවෑන් ගැන වරද මහින්ද පිට පැටෙව්ව ද චම්පකලා ද වෙල් විදානේලා ද සුදු වෑන් ගැන දනිති. මහින්ද ඒ ගැන පමණක් නොව බටලන්ද ගැන ද නියම පරීක්‍ෂණ නොපැවැත්වීම ගැන වෑරදි කරුවෙයි. මෙවර බලයට පැමිණීමෙන් පසු එක්නැලිගොඩලා ලසන්තලා අතුරුදහන්වූයේ කෙසේ ද යන්න පිළිබඳ ව  විධිමත් පරීක්‍ෂණ පැවැත්විය යුත්තේ බටලන්ද සහ තවත් දුෂණ හා භීෂණ ගැන පවත්වන අතර ය. අද ආණ්ඩුවේ ආධාරයෙන් බෝසතුන් මෙන් පෙනී සිටින ජ වි පෙ නායකයන් එදා මිනිමැරුවේ කෙසේ ද යන්න ද සොයා බැලි ය යුතු ය. 

අකුරැස්සේදී මහින්ද රාජපක්‍ෂගේ අත මිරිකූ තැනැත්තා එසේ කෙළේ ඔහු ද බොනේපාට් කෙනකු නිසා දැයි නො දනිමි. අර හාමුදුරුවන් ඒ ගැන කිසිවක් දෙසා නැත. එහෙත් මේ හොඳ පෙරනිමිත්තක් නො වේ. අද ලංකාවේ වඩාත්ම තර්ජනය ඇත්තේ අකිලටවත්, රනිල්ටවත්, මෛත්‍රිපාලටවත් නොව මහින්දට ය. ඔහුට කිහිප පැත්තකින් තර්ජන වෙයි. කොටි සංවිධානය බටහිරයන්ගේ සම්බන්ධන්ලාගේ හා වෙනත් අයගේ ආධාරයෙන් නැවතත් හිස එසවීමට මාන බලයි. බටහිරයෝ තම ලංකා වසන්තය සාක්‍ෂාත් කර ගැනීම සඳහා මහින්ද ජීවිතයෙන් ම අතුගා දැමීමට උත්සාහ කරති. ඉන්දීයයයෝ ඔවුන්ට ආධාර කරති. රනිල් ද අද කතාකරන්නේ මහින්ද රෙජිමය පරාජය කිරීමට නොව රාජපක්‍ෂලා අතුගා දැමීමට ය. ඔහු බටලන්ද ගැන පමණක් නොව මහා බැංකු කොල්ලය ගැන ද නරක සිහින දකිමින් සිටියි. චම්පක හා සුදු වෑන් අතර සම්බන්ධය, වෙල් විදානේලාගේ කියුම්  කෙරුම් අනුව මහින්ද බලයට පත්වීමට පෙර ම ඔහු අතුගා දැමීමට හැකිනම් එසේ කිරීමට ඔවුන් සිහින දකිනු වැළැක්විය නො හැකි ය. මේ සියල්ලන්ම අද එකතු වී සිටින්නේ රටට ඇති අදරයක් හෝ යහපාලනයක් හෝ නිසා නො වේ. ඔවුහු යමපල්ලෝ වෙති. 

නලින් ද සිල්වා

2015 ජූලි 23