Main Logo

Sunday 12 July 2015

මෛත්‍රිගේ හා චන්ද්‍රිකාගේ බලපෑම් පරාජය කරමු

මෛත්‍රිගේ හා චන්ද්‍රිකාගේ බලපෑම් පරාජය කරමු

එක්සත්  ජනතා නිදහස් සංධානයේ කොළඹ දිස්ත්‍රික්කයේ හා ගම්පහ දිස්ත්‍රික්කයේ නාමයෝජනා ලැයිස්තු තවමත් සම්පූර්ණ නැත. මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් මුල සිට ම කටයුතු කළ කිහිප දෙනකුට ම නාමයෝජනා අහිමි වන ලකුණු පහළ වී ඇත. එයට ප්‍රධාන හේතු වන්නේ චන්ද්‍රිකාගේ හා මෛත්‍රිපාලගේ බලපෑම් යැයි වාර්තා වෙයි.


මේ දෙදෙනා ම විවිධ අවස්ථාවල ශ්‍රී ල නි පක්‍ෂයට ද්‍රෝහි වූවෝ වෙති. ඔවුන්ගේ වත්මන් ගෝල බාලයන් වන ප්රාජිත චම්පක ආදීහු බටහිර ගැති සිංහල විරෝධී එ ජා පක්‍ෂය සමග දැනටමත් සංධාන ගත වී ඇත්තාහ. එ ජා ප සංධානගත වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ඒ පක්‍ෂයට තනිව ම තරග කර ජයග්‍රහණය කිරීමට නො හැකි බව ය. ඒ අරුතින් දැනටමත් එ ජා පක්‍ෂය  පරාජය පිළිගෙන ඇත. ඒ පක්‍ෂය සමග සංධානගත වන ප්රාජිතලා චම්පකලා දේශපාලන අනාථයෝ වෙති. 

ඔවුන්ගේ ස්වාමියා හා ස්වාමි දියණිය වූ මෛත්‍රිපාලට හා චන්ද්‍රිකාට අද රටේ ජනතා පදනමක් නැත. ඔවුන් දෙදෙනාට ම කළ හැක්කේ නූල් සූත්තර ඇදීම පමණකි. ශ්‍රී ල නි පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සංධානය ඔවුන්ගේ බලපෑම්වලට යටවිය යුතු නො වේ. පක්‍ෂයෙන් ගිය පක්‍ෂයට ද්‍රෝහි වූ අයට කදසිම ඉඩක් නොදිය යුතු ය. 

ඔවුන්ගේ අවශ්‍යතාව ශ්‍රී ල නි ප හා සංධානය පරාජයන කිරීම මිස වෙනත් දෙයක් නො වේ. ඔවුන් බලපෑම් කරන දිස්ත්‍රික්ක වෙතොත් තවදුරටත් සංධානයේ  ලැයිස්තුවෙන් ඒ දිස්ත්‍රික්ක තරග කිරීම නිෂ්ඵල ක්‍රියාවකි. අද කළ යුත්තේ අඩුම තරමින් එවැනි දිස්ත්‍රික්කවල වෙනත් ලැයිස්තුවලින් මල්පොහොට්ටුවෙන් හෝ වෙනත් ලකුණකින් හෝ තරග කිරීම ය.

අද පක්‍ෂවලට වඩා මහින්ද රාජපක්‍ෂට රටේ වැදගත්කමක් ඇත. ජනතාව ඡන්දය දෙන්නේ මහින්දගේ පක්‍ෂයට මිස ශ්‍රී ල නි පක්‍ෂයට හෝ සංධානයට හෝ නො වේ.   

නලින් ද සිල්වා

2015 ජූලි 12