Main Logo

Thursday 2 July 2015

මහින්දට සංධානයෙන් බැහැ

මහින්දට සංධානයෙන් බැහැ

අද (2015 ජූලි 02) සවස මෛත්‍රිපාල සිරිසේන හමු වූ සංධාන නායකයනට ඔහු පවසා ඇත්තේ මහින්ද රාජපක්‍ෂට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් මැතිවරණ අපේක්‍ෂකත්වය ද නොලැබෙන බව ය. ඊයේ සවස මෛත්‍රිපාල හමු වූ එංගලන්ත හා ඉන්දීය මහකොමසාරිස්වරුන් ද ඇමරිකන් තානාතිවරයා ද මහින්ද රාජපක්‍ෂට සංධානයෙන් මැතිවරණය තරග කිරීමට ඉඩ දීම පිළිබඳ තම විරුද්ධත්වය පළ කර ඇත. ඔවුන්ට අමතරව චන්ද්‍රිකා කුමාරතුංග ද ප්රාජිත ද චම්පක ද තම විරුද්ධත්වය පළ කර ඇත.


ඒ විරුද්ධත්වය හමුවේ තම අදහස් නැවතත් වෙනස් කර ගත් මෛත්‍රිපාල තමන් විශ්වාස කටයුතු පුද්ගලයකු නොවන බව තවත්් වරක් තහවුරු කර ඇත. මෛත්‍රිපාල විශ්වාස නොකරනු යැයි අප කියා දින කිහිපයක් ගත වීමට පෙර ම මෛත්‍රිපාල විදේශීක තානාපතිවරුන් හමුවේ දණ්ඩ නමස්කාර කර ඇත. අද මෙරට ජනාධිපති ධුරය උසුලන්නේ එවැනි පුද්ගලයකු වීම රටට ම නින්දාවකි. 

අද රට පාලනය කෙරෙන්නේ ජනාධිපති විසින් නොව තානාපතිවරුන් තිදෙනකු විසිනි. ජනවාරි 8 වැනි දා සිට තත්ත්වය එබඳු ය. ඉතා පැහැදිලි ව ම මහින්ද රාජපක්‍ෂගේ දේශපාලන ජීවිතය අවසන් කිරීමේ අවශ්‍යතාව බටහිරයන්ට හා ඉන්දීයයන්ට ඇත. මේ යටත්විජිත තත්ත්වය වෙනස් කිරීම සඳහාවත් මහින්ද රාජපක්‍ෂට බලය ලබා දිය යුතුව ඇත.

එහෙත් අද මහින්ද ඉදිරිපත් කරනු ලැබිය යුත්තේ කවුරුන් විසින් ද යන ප්‍රශ්නය නැවතත් මතු වෙයි. එහි දී දැනට ලියා පදිංචි කෙරී ඇති පක්‍ෂයක් තෝරා ගත යුතු වෙයි.  ඒ සඳහා දැනටමත් පක්‍ෂ කිහිපයක නම් සඳහන් වෙයි. අප සිතන ආකාරයට නම් ඒ සඳහා සුදුසු ම පක්‍ෂය මහජන එක්සත් පෙරමුණ ය. අපට දැන ගැනීමට ලැබී ඇති ආකාරයට ම එ පෙ ලියා පදිංචි කිරීම සඳහා සියළු නිර්ණායක සපුරා ඇත. එය ඉතා වැදහත් වෙයි. කරුණු සම්පුර්ණ  නැති පක්‍ෂයකින් ඉදිරිපත් වුවහොත් මැතිවරණ කොමසාරිස්වරයා නාම යෝජනා නොපිළිගැනීමට වැඩි සම්භාවිතාවක් වෙයි. 

අනෙක් අතට ම එ පෙ එවැනි  පරිත්‍යාග මෙයට පෙර ද කර ඇත. එපමණක් නොව පනස්හයේ ජයග්‍රහණය ද ම එ පෙ නමින් සිදුවිය. අද නැවතත් පනස්හයක් අවශ්‍ය වෙයි. එහි දී ම එ පෙරමුණට වඩා අයිතිවාසිකම් කිව හැකි වෙනත් පක්‍ෂයක් නැත. මෙහි දී බලපාන තවත් සාධකයක් නම් අදාළ පක්‍ෂයෙහි ලේකම් විශ්වාස කටයුතු පුද්ගලයකු වීම ය. ම එ පෙරමුණෙහි ලේකම්වරයා ඒ නිර්ණායකය ද සපුරා ලයි.

ඒ අතර මුදල් ගනුදෙනුවක් මගින් තම පක්‍ෂය තරග කිරීමට කුලියට දී ඉතා ම සැක කටයුතු අතීතයක් ඇති පුද්ගලයෙක්  බොර දියේ මාළු බෑමට සැරසෙයි.  ඔවුන් අතේ දුරින් නොව ගවු ගණනාවක් ඈතින් තැබිය යුතු ය. සන්ධානයේ නීච ප්‍රතිපත්ති ගැන ප්‍රසිද්ධ අය සහෝදරයන් අතර භේද ඇතිකරමින් අගමැති ලෙස සද්ධාචමල් ඉදිරිපත් කිරීමට සැරසෙති. මේ නීච උත්සාහය ද වහාම පරාජය කළ යුතු වෙයි. ඉදිරි දින දෙකෙහි මහින්ද කණ්ඩායම ගන්නා තීරණයෙන් මෙරට ඉතිහාසය තීරණාත්මක ලෙස වෙනස් වනු ඇත.

නලින් ද සිල්වා

2015 ජූලි 02