Main Logo

Thursday 16 July 2015

චීන විද්‍යාවේ වෙනස (විදුසර ලිපියකි)


චීන විද්‍යාවේ වෙනස

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා ඉතාමත් පහත් මට්ටමකට වැටී ඇත. දැන් මා එසේ කත පමණින් ඒ පිළිගැනීමට පාඨකයන් බැඳී නැත. එබැවින් මට ඔහුගේ ලිපිවලින් ඇතැම් විට දිර්ඝ වශයෙන් උපුටා දැක්වීමට සිදුවෙයි. සාමාන්‍ය පාඨකයා විදුසර පෙර කලාප නැවතත් කියවීමට නො පෙළඹෙයි. එබැවින් පාඨකයාගේ පහසුව හා යහපත සඳහා ම මට අමරතුංග මහතාගේ ලිපිවලින්  පාඨ උපුටා දැක්වීමට සිදු වෙයි. එයට අමරතුංග මහතා අකමැති වීම පුදුමයක් නො වේ. ඒ මා ඔහුගේ වැරදි ඔහුගේ කටින් ම කීමට සලස්වන බැවිනි. 


අමරතුංග මහතාගේ ජූලි 08 වැනි දා ලිපියෙහි මෙසේ සඳහන් වෙයි. “මේ සාකච්ඡාවේ ආරම්භක ලිපියේ සැකෙවින් අප විස්‌තර කළේ චීනයේ ඉතිහාසය ඒ රටේ ශිෂ්ටාචාරයේ ඉතිහාසය, සහ ඔවුන් ගේ දර්ශනය විද්යාපවට බල පෑ අයුරු ය. අප එම ලිපියේ අවසානයේ පැවසුවේ චීන දර්ශනය ස්‌වභාවධර්මයට අනුකූලව චක්රීහය වූ එකක්‌ බව ය. එය වර්ධනය වූයේ කෙසේ දැයි පෙන්වා දී ඇත. එසේ ම යුරෝපයේ දර්ශනය කාලය සමග බැඳුණු රේ‚ය එකක්‌ බව ද පෙන්වා දුන්නෙමි. දර්ශනය යනු කුමක්‌ දැයි නො දන්නා බහුභූතවාදියා මේවා ගැන නන් දොඩවයි. ඒ ඔහුට අලුතින් කීමට දෙයක්‌ නැති නිසා ය. කරන්නට වෙන වැඩක්‌ ද නැති නිසා අප ගේ ලිපියෙන් බාගයක්‌ උපුටා දක්‌වමින් විදුසර පිටු පුරවයි. මට කිව හැක්‌කේ තමන් ගේ වැඩක්‌ බලාගන්න කියා ය. මෝඩකම සහ නොදැනුවත්කම එළිදරව් නො කර සිටින මෙන්ය.”

අමරතුංග මහතා මට අපහාස කරන්නේ ඔහුට තම තර්කය සනාථ කර ගැනීමට නොහැකි බැවිනි. මා මෙන් දර්ශනය නොදන්නා මෝඩයකු විය නොහැකි අමරතුංග ප්‍රාඥයා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ චීන දර්ශනය ස්වභාව ධර්මයට අනුකුල වූ චක්‍රීය එකක් බවත් ය්‍රුරෝපීය දර්ශනය රේඛීය එකක් බවත් ය. මේ සම්බන්ධයෙන් මා නන්දොඩවා ඇත්නම් අමරතුංග මහතා මා උපුටා දක්වමින් ඒ බව ප්‍රකාශ කළ යුතු ය. මට මගේ වැඩක් යැයි කිවහැකි දෙයක් ඇත්නම් ඒ ඉතාමත් පෞද්ගලික දේ ය. මගේ වැඩ සියල්ල ම පාහේ සමාජය සමග බැඳී ඇත. එබැවින් මට මගේ වැඩක් බලාගෙන සිටිය නො හැකි ය. මට සමාජයීය වගකීමක් හා කාර්යභාරයක් ඇත. මා බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් යැයි කියන්නේ ද ඒ සංදර්භයෙහි ය.   

කෙසේ වෙතත් මහාචාර්ය අමරතුංග මහතා චීනයේ හා යුරෝපයේ දර්ශන අතර වෙනසක් තිබූ බව පිළිගනියි. ඒ වැදගත් ය. එසේ පිළිගැනීම ගැන අප ඒ මහතාට කෘතඥ විය යුතු ය. එහෙත් ඉහත උපුටා දක්වන ලද ඡෙදයෙහි ආරම්භයෙහි මේ වැකිය ද වෙයි. “මේ සාකච්ඡාවේ ආරම්භක ලිපියේ සැකෙවින් අප විස්‌තර කළේ චීනයේ ඉතිහාසය ඒ රටේ ශිෂ්ටාචාරයේ ඉතිහාසය, සහ ඔවුන් ගේ දර්ශනය විද්යාඅවට බල පෑ අයුරු ය.” මෙයින් කියැවෙන්නේ කුමක් ද? යම් රටක දර්ශනය එ රටේ විද්‍යාවට බලපාන බව ය.    

මා දර්ශනය ගැන නොදන්නා බහුබූතවාදියකු වදය හැකි ය. මා කියන දේ නොසලකා හරින්න. දන්ත වෛද්‍ය විශේෂඥ මහා ප්‍රාඥ  අමරතුංග මහතා කියන්නේ යම් රටක දර්ශනය ඒ රටේ විද්‍යාවට බලපාන බවත් චීනයේ හා යුරෝපයේ දර්ශන වෙනස් බවත් ය. එයින් සාමාන්‍යයෙන් නම් ගම්‍ය වනුයේ චීනයේ හා යුරොාපයේ විද්‍යාවන් වෙනස් බව ය. එසේ නොවීමට නම්, එනම් චීනයේ හා යුරෝපයේ විද්‍යාවන් එකම වීමට නම් වෙනත් අවශ්‍යතාවක් (කොන්දේසියක්) බලපෑ යුතු ය. 

මෙය චීනයට හා යුරෝපයට පමණක් බලපාන සාධකයක් ද නො වේ. අමරතුංග මහතා කියන කරුණ අනුව රටවල් දෙකක දර්ශන වෙනස් නම් ඒ රටවල විද්‍යා ද සාධාරණ වශයෙන් ගත්කල වෙනස් විය යුතු ය. එසේ නොවී විද්‍යා සමාන වන්නේ යම් ව්‍යතිරේකයක් බලපාන අවස්ථාවක විය යුතු ය. චීනයේ හා යුරෝපයේ විද්‍යා සමාන වන්නේ හෝ සෑම තැනක ම සෑමදාම ඇත්තේ එකම විද්‍යාවක් ය යන්න ගම්‍ය වන්නේ හෝ අමරතුංග මහතා ඉදිරිපත් කරන කිනම් ව්‍යතිරේකයකට අනුව ද? අමරතුංග මහතාගේ ලිපිවල එවැනි ව්‍යතිරේකයක් දැකගත නො හැකි ය. 

අපි මේ තරකය නැවතත් පාඨකයාගේ පහසුව සඳහා සම්පිණ්ඩනය කර ගනිමු. අමරතුංග මහතාට අනුව ලෝකයේ සෑමදාමත් සැමතැනකමත් පැවතී ඇත්තේ එකම විද්‍යාවකි. එහෙත් ඒ මහතාට ම අනුව යම් රටක දර්ශනය ඒ රටේ විද්‍යාවට බලපායි. එසේ නම් අපට සාධාරණ  වශයෙන් කිව හැක්කේ දර්ශන වෙනස් වූ රටවල විද්‍යා ද වෙනස් වන බව ය. එසේ නොවීමට නම් වැදගත් ව්‍යතිරේකයක් බලපෑ යුතු ය. එවැනි ව්‍යතිරේකයක් නොමැති අවසාථාවක අපට කිව හැක්කේ දර්ශන වෙනස් වූ රටවල් දෙකක විද්‍යා ද වෙනස් වන බව ය. චීනය හා යුරෝපය සම්බන්ධයෙන් අමරතුංග මහතා ව්‍යතිරේකයක් ඉදිරිපත් නො කරයි. එසේ නම් චීනයේ හා යුරෝපයේ විද්‍යා වෙනස් වෙයි.

ඉහත සඳහන් තර්කය මගේ නොව අමරතුංග මහතාගේ ය. මා කර ඇත්තේ ඒ නිරවුල් ව ඉදිරිපත් කිරීම පමණ ය. අමරතුංග මහතා තම තර්කයට පිටුපා ගොස් චීනයේ හා යුරෝපයේ තිබුණේ එකම එක විද්‍යාවක් යැයි කියන්නේ කෙසේ ද? ඇතැම් විට අපට අමරතුංග මහතාගේ පරස්පර තර්කය වටහාගත නො හැක්කේ අරතුංග මහතා කියන පරිදි අප අඥානයන් වීම නිසා විය හැකි ය. පරස්පර තර්කයක් ඉදිරිපත් කිරීම ද අඥානයකුට අසීරු වනවා විය හැකි ය. ගරු සේවාර්ජිත මහාචාර්යතුමා ම ඒ බව පැහැදිලි කරන්නේ නම් කෘතඥ වෙමි. 

අපි දැන් අමරතුංග මහතාගේ අදාළ ලිපියෙහි දෙවැනි ඡෙදයට යමු. අපි එය ද මුළුමනින් ම උපුටා දක්වමු. “තව ද මා පෙන්වා දී ඇත්තේ යුරෝපයේ දර්ශනය රේ‚ය වුව ද එහි විද්යාිව චීනයේ විද්යාදවට වෙනස්‌ නො වුණු බව ය. නිරීක්‌ෂණය පරීක්‌ෂණය නිගමනය යන ක්රදමවේදය කොතැනත් කවදත් තිබුණු විද්යාාවේ ක්රයමවේදය විය. චක්රීයය දර්ශනයක්‌ වර්ධනය වූ චීනයේ ද රේ‚ය දර්ශනයක්‌ වර්ධනය වූ යුරෝපයේ ද විද්යා්වේ ක්ර්මවේදය සමාන විය. චීනයේ විද්යා‌ත්මක සොයාගැනීම් යුරෝපයේ සොයාගැනීම් හා සමාන විය. චීනය ඉදිරියෙන් සිටියා වුව ද විද්යාීත්මක සොයාගැනීම් වෙනස්‌ නො වී ය. චීනය ප්ර ථමයෙන් සොයාගත් දේ යුරෝපය පසුව සොයාගත්තේ ය. එසේ සොයාගනු ලැබුවේ එක ම ක්රයමවේදයක්‌ අනුගමනය කරමින් ය. ඔවුන් වෙනස්‌ ක්රාමවේදයක්‌ භාවිත කළා යෑයි කියනවා නම් එය කුමක්‌ දැයි බහුභූතවාදියා පෙන්වා දිය යුතු ය. වචන පමණක්‌ ලියමින් කිසි ම අලුත් අදහසක්‌ ඉදිරිපත් නො කරමින් පිටු පිරවීමේ තේරුම කුමක්‌ ද? මා වැරැදියි කියා පැවසීම ඉතා ම ලෙහෙසි ය. වරද කුමක්‌ ද නිවැරැදි දෙය කුමක්‌ ද යන්න පැහැදිලි නො කර එසේ පැවසීම බහුභූතවාදියා කරන්න දන්න එක ම දෙය වන්නේ ය. මා පමණක්‌ නො ව විද්වත් බෝධි ධනපාල, විද්වත් චන්ද්ර් ධර්මවර්ධන යන මහතුන් ද මේ බව පෙන්වා දී ඇත.” 

පළමුවෙන්ම කිව යුත්තේ අමරතුංග මහතාගේ ඊනියා විද්වත් බෝධි ධනපාල හෝ විද්වත් චන්ද්‍රසිරි ධර්මවර්ධන හෝ කවදත් කොතැනත් ඇත්තේ එකම විද්‍යාවක් යැයි මා දන්නා තරමින් කිසිම තැනක කියා නැති බව ය. අමරතුංග මහතාට හැකිනම්  ඒ මහතුන් එසේ කියා ඇති තැන් උපුටා දක්වන්නේ ද? අමරතුංග මහතා තමා කියන කිසිම දෙයකට සාක්‍ෂි ඉදිරිපත් නොකර තමාට රිසි දේ කියන අතර මා අමරතුංග මහතාගේ වරද කුමක් ද නිවැරදි දෙය කුමක් දැයි පැහැදිලි නොකරන බව කියයි. අමරතුංග මහතා මා ඉහතින් පෙන්වා දී ඇති ඔහුගේ වරද, පරස්පර, ගැන කියන්නේ කුමක් ද?   

චීනයේ වෙනස් ක්‍රම වේදයක් අනුගමනය කළ බව මම මුල සිට ම පෙන්වා දී ඇත්තෙමි. මගේ තර්කය පදනම් වන්නේ චීනයේ දර්ශනය යුරෝපයේ දර්ශනයෙන් වෙනස් වීම මත ය. මා සෑම විට ම කියා ඇත්තේ ඊනියා විද්‍යාව පමණක් නොව ඕනෑම දැනුම් පද්ධතියක් අපේ අවිද්‍යාව, එනම් ත්‍රිලක්‍ෂණය පිළිබඳ අනවබෝධය නිසා අපේ ඉන්ද්‍රිය පද්ධතියට, මනසට හා සංස්කෘතියට සාපේක්‍ෂව යම් චින්තනයක් මත පදනම් ව නිර්මාණය කෙරෙන බව ය. අමරතුංග මහතා ද ඒ සියල්ල එලෙස තවමත් නොපිළිගත්ත ද, අඩු තරමෙන් යම් රටක දර්ශනය එරට විද්‍යාවට බලපාන බව පිළිගනියි. චීනය අනුගමනය කරන්නේ වෙනස් ක්‍රම වේදයක් බව බහුබූතවාදියා පමණක් නොව මහා ප්‍රාඥයා ද පිලිගන්නා බව පැහැදිලි ය. 

බටහිර යුරෝපයේ අදින් වසර පන්සියයකට පමණ පෙර නව චින්තනයක් නිර්මාණය විණි. අපි ඒ චින්තනය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ලෙස හඳුන්වමු. බටහිර විද්‍යාව බිහිවූයේ මේ චින්තනය පදනම් කරගනිමිනි. ඒ චින්තනය වියුක්ත චින්තනයකි. චීන චින්තනය එලෙස වියුක්ත චින්තනයක් නො වේ. චීන විද්‍යාවේ හෝ සිංහල විද්‍යාවේ හෝ වියුක්ත ප්‍රවාද නැත. යින් යැන් දර්ශනය වියුක්ත දර්ශනයක් නො වේ. තාම්වාදය වියුක්ත නැත. එය සංයුක්තව ගත හැකි ස්වභාව ධර්මය සමග ඇති කෙරෙන සහජීවනය මත පදනම් වෙයි. ඊනියා කොන්ෆීයුෂියස් (කුන්ෆුට්සු) දර්ශනයෙහි කියැවෙන්නේ සෑම සත්ත්වයකඛට ම සෑම වස්තුවකට ම හිමි තැනක් ඇති බව ය. ඒ හිමි තැන වස්තුව නොමැති නම් එසේ වන්නේ යම් බාධවක් නිසා ය.  පොල් ගෙඩියට හිමි තැන  බිම ය. එය පොළොවට  නොවැටෙන්නේ නටුවෙන් එය ගහට බැඳ දමා ඇති බැවිනි. ඒ බාධාව ඉවත් කළ විගස පොල් ගෙඩිය එයට හිමි තැන , එනම් බිම (පොළොව) සොයා ගනියි. 

ඒ වියුක්ත ප්‍රවාදයක් නො වේ. එය සංයුක්ත කතන්දරයකි. ුය නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය සමග සංසන්දනය කරන්න. ගුරුත්වාකර්ෂණය යනු වියුක්ත සංකල්පයකි. එය පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය වියුක්ත ප්‍රවාදයකි. ඒ වියුක්ත ප්‍රවාදය නිර්මාණය කර ඇත්තේ, එනම් වියුක්ත කතන්දරය ගොතා ඇත්තේ, පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධියක් තේරුම් කර දීමට ය. එය පොල් ගෙඩියට හිමි තැන ලබා ගැනීම පිළිබඳ කතාවට වඩා කෙතරම් වෙනස් ද? මහා ප්‍රාඥ අමරතුංග මහතාට ඒ නොතේරීමට ඉඩක් ඇතැයි සිතිය නො හැකි ය. 

අමරතුංග මහතා ආත්මවාදය ගැන කියන්නේ සිනහගන්වන කතාවකි. ඔහුගේ ජූලි 8 වැනි දා ලිපියෙහි මෙසේ සඳහන් වෙයි. “චීන දර්ශනය ජීවිතයේ අරුත පිළිබඳව අප පවසා ඇති අදහස්‌ සමග ගැලපෙන බව පැවසිය හැකි ය. අප පවසා ඇති අදහස්‌වලට අනුව මිනිසා පුමුඛත්වයට පත් වන්නේ නැත. එවැනි මිනිසකු තුළ ආත්මයක්‌ තිබිය නොහැකි ය. මිනිසකු තුළ නිත්යප වූ සැම දා පවතින ආත්මයක්‌ ඇතැයි කිව හැක්‌කේ මිනිසා ස්‌වභාවධර්මයට වඩා ඉහළින් තබන මතවාදයකට පමණි. මා ඉදිරිපත් කොට ඇති මතවාදය ස්‌වභාවධර්මය මිනිසාට වඩා ඉහළින් තබා ඇත. මිනිසා සේවය කරන්නේ ස්‌වභාවධර්මයට ය. මෙවැනි මිනිසකු තුළ ආත්මයක්‌ තිබිය නොහැකි ය. මෙය නො තේරෙන බහුභූතවාදියා මා ආත්මවාදයක්‌ ඉදිරිපත් කර ඇතැයි පවසයි. මෙවැනි අඥානයන් සමග වාද විවාද කුමට ද?”

ආත්මවාදය යන්න ස්වභාවයට ඉහළින් මිනිසා තබන්නේ ද නැත් ද යන්න මත රඳා නොපවතියි. මම ඉතා පැහැදිලිව ජූනි 24 වැනි දා ලිපියෙහි අමරතුංග මහතා ගැන මෙසේ කීවෙමි.  “අමරතුංග මහතාට අනුව චිත්තය වෙනස් නො වේ. ඔහුට අනුව මනස හෝ එහි සමහර අංග හෝ මරණයත් සමග ද වෙනස් නො වේ. බටහිර විද්‍යාවේ ශක්ති සංස්ථිතිය අදහන අමරතුංග මහතා අලුත් බුදුදහමක් දේශනා කරයි. සාදු! ූසාදු! සාදු! අපට ඊනියා විද්‍යාත්මක බුදුදහමේ ශාස්තෘන් කෙනකු පහළ වී ඇත. අමරතුංග මහතා ජූනි 17 වැනි දා ලිපියෙන් ද තම ආත්මවාදී මතය තහවුරු කරයි. “  තව ද අපිප්‍රවේණික (එපඉගඑනඑටඉච) නැතහොත් ජානවලට පිටතින් නමුත් මවුපියන්ගෙන් ලැබෙන ලක්‍ෂණ ද ජීවීන් තුළ ඇති බවට සාධක ඇත.  මේ නයින් බලන කල පෙනී යන්නේ බුදු දහම පැවසූ සේ මවුපියන්ගෙන් ලැබෙන ලක්‍ෂණ ගුණාංගවලට අමතරව විඤ්ඤාණ ශ්‍රෝතය මගින් ලැබෙන ගුණාංග ඇතැයි සිතීමට විද්‍යාව මගින් ද යම්කිසි හෝඩුවාවක් ගත හැකි බව ය.” 

මා අමරතුංග මහතා ආත්මවාදියකු ලෙස හඳුන්වන්නේ ඇයි ද යන්න ඉහත සඳහන් ඡෙදයෙන් පැහැදිලි වෙයි. අමරතුංග මහතා සුපුරුදු පරිදි කිසිම උපුටා දැක්වීමක් නොමැතිව ස්වභාවධර්මය මිනිසාට ඉහළින තැබීමක් ගැන කියමින් මගේ අදහස් විකෘති කරයි. ප්‍රාඥයන්ට අඥානයන්ගේ ප්‍රකාශ විකෘති කිරීමට අවසර ඇ්ත්දැයි නො දනිමි.   

නලින් ද සිල්වා

2015 ජූලි 15