ශ්‍රී ල නි ප ඝාතනය
2015 ජනවාරි 8 වැනි දා ඝාතනය කෙරුණු ශ්‍රී ල නි ප ජූලි 8 වැනි දා ආදාහනය කෙරිණි. 1959 දී බණ්ඩාරනායක මහතා ඝාතනය කෙරුණ ද ශ්‍රී ල නි ප ඝාතනය නො කෙරිණි. ඉන්පසුව ද ශ්‍රී ල නි ප ප්‍රමුඛ සංධාන බලයට පත්විණි. 1977 දී ජේ ආර් ජයවර්ධන බලයට පත් වී බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිවාසිකම් නැති කිරීමෙන් පසුව ද ශ්‍රී ල නි ප ඝාතනය ඝාතනය කිරීමට නො හැකි විණි.
හදිසියේ දේශප්‍රේමී බවට පත් වූ පඬි දෙනක තමන් පුනබ්භවය විශ්වාස කරන්නේ ඇයි දැයි බෞද්ධ සංදර්භයක ප්‍රශ්න කළ විට එයට පිළිතුරු දී ගත නොහැකිව ෙසෙලවල නැවත ඇතිවීම ගැන කියන පඬි විද්‍යාත්මක බෞද්ධයකු පවත්වා ගෙන යන එක්තරා කසිකබල් වෙබ් අඩවියක සඳහන් කර තිබුණේ ශ්‍රී ල නි ප ඝාතනය කෙරුණ ද ශ්‍රී ල නි ප රැකගන්න කියා සිංහල ජාතියට දිවි නසාගන්න ඉඩ දෙන්න බැහැ යනුවෙනි. ඇය නොදන්නා කරුණ නම් ශ්‍රී ල නි ප පිහිටුවීමට පෙර සිංහල ජාතිය තිබූ බව ද ඇය සිටියත් නැතත් ශ්‍රී ල නි ප ඝාතනය කිරීමෙන් පසුව ද සිංහල ජාතිය පවතින බවත් ය. එමෙන් ම මහින්ද රාජපක්‍ෂ මහතා වෙනත් පක්‍ෂයකින් මැතිවරණයට ඉදිරිපත් විය යුතු බව අප කියා ඇත්තේ අද ඊයේ නො වේ.
1989 භීෂණ සමය විය. ජයවර්ධන ප්‍රේමදාස විජේවීර භීෂණය ඉහළම තලයක පැවතිණි. එකල පැවතියේ යුද්ධයක් යැයි ඊනියා දේශපාලන විචාරකයෝ නො පවසති. එය හුදෙක් ත්‍රස්තවාදය මැඩලීමක් පමණක් ලෙස හැඳින්විණි. යුද්ධයක් නොපැවති බැවින් යුද්ධාපරාධ ද නො වී ය. එකල සොල්හයිම්ලා මෙහී නො වූහ. බටහිරයෝ ද ඉන්දියානුවෝ ද ජ වි පෙ ත්‍රස්තවාදය (සෝමවංශලා එදා ත්‍රස්තවාදය මෙහෙය වූ නායකයෝ වූහ. අනුර කුමාරලා ලාල්කාන්තලා හුදු ඇටිකිච්චෝ වූහ. එහෙත් එදා සිදු වූ ඝාතනවලට අද ශාන්තුවරයන් ලෙස පෙනී සිටින ජ වි පෙ නායකයෝ ද වගකිවයුත්තෝ වෙති) මැඩලීමට එ ජා ප ආණ්ඩුවලට සහාය දුන්හ. එබැවින් ද එකල යුද්ධාපරාධ තිබෙන්නට හැකියාවක් නැත. බටහිරයන් අතින් යුද්ධාපරාධ නො කෙරෙයි!
එහෙත් දෙමළ ත්‍රස්තවාදය මැඩීමට කෙරී ඇත්තේ යුද්ධයක් යැයි බටහිරයෝ ද ඊනියා දේශපාලන විචාරකයෝ ද කියති. අභාවප්‍රාප්ත මර්වින් සිල්වා ජනමාධ්‍යවේදියා ඊළාම් යුද්ධය 1, 2, 3 ආදී වශයෙන් ඒ නම් කෙළේ ය. අද යුද්ධාපරාධ ගැන බටහිරයන් ද රාජ්‍ය නොවන පඬියන් ද එ ජා ප නායකයන් ද කතා කරන්නේ ඒ බටහිර සංකල්ප මත පදනම් වෙමිනි. කොටින්ට විරුද්ධව කෙරුණු යුද්ධාපරාධ තිබිණි නම් ජ වි පෙරමුණට ද එරෙහිව කළ යුද්ධාපරාධ තිබිය යුතු ය. රනිල් වික්‍රමසිංහ ඒ ගැන නිහඬ ඇයි? බටලන්දේ දී මරා දැමුණේ අත් අඩංගුවේ පසු වූවන් බව අමතක නොකළ යුතු ය. අඩුම තරමින් එ ජා ප සමග දීගකන ජ වි පෙ නායකයන්ට ද බටලන්ද අමතක වී ඇත.
ශ්‍රී ල නි පක්‍ෂය ද දුර්වල වූ නමුත් ඒ නොමැරි පවත්වාගෙන යෑමට මහින්ද රාජපක්‍ෂ ඇතුළු කිහිප දෙනෙක් සමත් වූහ. ඔවුහු 1989 දී බණ්ඩාරනායක ඝාතනයෙන් අවුරුදු තිහකට පසු සමරු දේශනයක් සංවිධානය කළහ. එයට බණ්ඩාරනායක මැතිණිය එතරම් කැමැත්තක් නොදැක්වූයේ ජනතා සහභාගිත්වය අඩු මට්ටමක තිබේ යැයි එතුමිය විශ්වාස කළ බැවිනි. එපමණක් නොව දේශකයකු සොයා ගැනීම ද සංවිධායක මණ්ඩලයට අසීරු කරුණක් විය. අවසානයේ දී දේශනය පැවැත්වීම මට භාර කෙරිණි. ඒ දේශනයේ මාතෘකාව වූයේ පනස්හයේ දරුවෝ යන්න ය. සංවිධායක මණ්ඩලයේ අප්‍රතිහත කැපවීම හේතුවෙන් අති විශාල පිරිසක් දේශනයට සවන් දීමට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවට එක් රොක් වූහ.
ඉන්පසු අනූවේ දශකයේ මුල එංගලන්තයේ පදිංචි වී සිටි චන්ද්‍රිකා කුමාරතුංග ලංකාවට ආනයනය කර ඇය ලවා පක්‍ෂ ප්‍රතිපත්ති වෙනස් කර ශ්‍රී ල නි ප ඝාතනය කරවීමට වික්ටර් අයිවන්, ප්රාජිත ආදී පිරිසක් උත්සාහ ගත්හ. එහෙත් ඒ ව්‍යර්ථ විය. එහෙත් අද එය වෙනත් ක්‍රමයකින් සාර්ථක වී ඇත. මෛත්‍රිපාල සිරිසේන චන්ද්‍රිකාට ද කළ නොහැකි වූ ඝාතනය සිදු කෙළේ ය. කළ යුතුව තිබුණේ ඉන් පසුවවත් මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂයෙන් ඉවත් කිරීම ය. එහෙත් ඒ නො කෙරිණි. ශ්‍රී ල නි ප නායකයෝ අපට සවන් නොදුන්හ. අදත් සවන් නො දෙති. ඒ අතර පඬියෝ හා පඬි දෙන්නු අපට උගන්වති.
නලින් ද සිල්වා
2015 ජූලි 09