Main Logo

Tuesday 23 August 2016

සුරදූතයන් මතුකරන ප්‍රශ්න



සුරදූතයන් මතුකරන ප්‍රශ්න

විග්නේස්වරන් ගෙන්නපු ගුවන් හමුදා ශාන්තිකර සුරදූත වෛද්‍යවරුන් (http://www1.kalaya.org/2016/08/blog-post_94.html) විස එන්නත් පරීක්‍ෂාව ප්‍රතික්‍ෂෙප කරලා ඔවුන්ට අවශ්‍ය උපකරණ නැහැ කියලා. ඒක ඇත්ත හේතුව ද කියලා හිතන්න අමාරුයි. ඔවුන් ආවේ මේ පරීක්‍ෂණ කරන්නත් එක්ක. ද නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පතට අනුව අතුල් කේෂප් විග්නේස්වරන්ට ඒ වෛද්‍යවරුන් එවන බවට එකඟවෙලා තිබුණා. ඔවුන් ආපහු යන්නට ඇතැයි කියා සිතනවා. එහෙත් ප්‍රශ්න රාශියක් ඉතිරිවෙලා. පළමුවෙන් ම ඒකාබද්ධ විපක්‍ෂය ඒ ගැන දරපු ස්ථාවරය මොකක් ද? ඔවුන්ගේ පක්‍ෂවල වෙබ් අඩවි ඒ ගැන එතරම් විරෝධයක් පළ කෙළේ නැහැ. ඔවුන් ඒකෙ බරපතළ කම දැක්කෙ නැද්ද? එහෙමත් නැත්නම් ඔවුන්ගේ නීතිඥයන් ගොඩ පෙරකදෝරවෙකු වූ මා කී දේ සතපහකට ගණන් ගත්තෙ නැද්ද? මා අන්තවාදියකු ද? ජාතිකවාදියකු වුවත් අන්තවාදියකු නම් ඔහු අතේ දුරින් තබාගත යුතු ද?

දෙවනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ ගැන මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැහැ. එන්නත් කතාව පැත්තකින් තබන්න. පිටරට වෛද්‍යවරුන් ලංකාවේ වෙදකම් කිරීමට පෙර අවසරයක් ලබාගත යුතු නැද්ද? නැත්නම් වෛද්‍ය සභාව ඉදිරියේදීවත් ඒ ගැන කිසිවක් කිරීමට බලාපොරොත්තු වන්නේ ද? වෛද්‍ය සභාවේ සභාපති කාලෝ ෆොන්සේකා අසනීප වෙලා කියලා දැනගන්න ලැබුනා. සමහරවිට ඒ නිසා රැ්ස්වීමක් තබාගැනීමට නොහැකි වූවා ද කියා දන්නේ නැහැ. ලංකාවේ බටහිර වෛද්‍යවරයකුට හෝ වෛද්‍ය කණ්ඩායමකට හෝ යම්කිසිවකුගේ ආරාධනයෙන් බටහිර රටකට ගොස් තෝරාගත් පිරිසකට හෝ පොදුවේ හෝ කිසි අවසරයක් නොගෙන වෙදකම් කළ හැකි ද? මෙරට වෛද්‍ය සභාව අදාළ කොන්දේසි (නිර්ණායක) ගැන නැවත සිතා බලන්නේ ද? වෛද්‍ය සභාව පිහිටුවන්න යන ඉංජිනේරු සභාව වගේ වැඩ කරන එකක් නැහැයි කියලා හිතනවා. ඉංජිනේරු සභාවට රනිල්ගෙන් ම දහතුන් දෙනකු පත්කරන්න යනවා. එවිට ඉතිරිවන්නේ හතර දෙනයි. ඔය සභාව රැකියා නැති ඉන්දියානු ඉංජිනේරුවන්ට මෙරට සේවය කිරීමට අවසර දීම සඳහා ද? මෙරට පාලනය කරන බටහිර හා ඉන්දියන් තානාපතිවරුන් යහපාලන නඩේට වඩා ඉහළින් ඉන්නවා.
  
තවත් ප්‍රශ්න තිබෙනවා. මේ වෛද්‍ය කණ්ඩායම ලංකාවට පැමිණියේ කාගේ ආරාධනයකින් කාගේ අවසරයකින් ද? මා නම් විශ්වාස කරන්නේ නැහැ ආණ්ඩුව මේ ගැන නොදැන සිටියා කියා. උතුරු පළාතේ ආණ්ඩුකාරයා නම් ඒ වෛද්‍යවරුන් පැමිණීම ගැන කැමැත්තක් දක්වන්නේ නැති බවක් පෙනෙන්නට තිබෙනවා. ඔහු ඒ ගැන දන්නෙවත් නැතිව ඇතීි.  ඔහු කියා තිබුණේ මේ වෛද්‍ය සායන සඳහා ලංකාවේ දෙමළ වෛද්‍යවරුන් සිටිය දී පිටරටින් ගෙන්වීමේ අවශ්‍යතාවක් නැති බව. එයින් කියැවෙන්නේ ආණ්ඩුූකාරයා සිංහල බටහිර වෛද්‍යවරුන් ඒ සායන පැවැත්වීමට අකමැති බව ද? නැත්නම් මහාඇමති සිංහල වෛද්‍යවරුන්ට අකමැති වේවි කියා එසේ කීවා ද?   

කොහොමටත් පළාත්සභාවල බලතල ගැන ප්‍රශ්න මතුවෙනවා. උතුරු පළාත් සභාව තමන්ට එ ජා ප මාමයි බෑනයි දී ඇති බලතලවලටත් එහා යන බව පැහැදිලියි. බුදු පිළිම වහන්සේ ඉවත්කිරීමට තීරණය කෙළේ කිනම් බලතල අනුව ද? යම් ආකාරයකින් ගුවන් හමුදා වෛද්‍යවරුන් ගෙන්වීමට රජය අවසර දී නොතිබුණා නම් විග්නේස්වරන් අතුල් කේෂප් එක්ක ඒ ගැන කතා කෙළේ කොහොමද?ාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණු මොන බලතල යටතේ ද? හිටපු විනිසුරු විග්නේස්වරන්  අපට පැහැදිලි කරනවා ද? අඩුම තරමින් ද නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පතටවත් කියනවා ද?  අපට දැන් ඒ පත්තරයත් කියවන්න වෙලා.

විදේශ කටයුතු සම්පුර්ණයෙන් ම රජයට අයත් කටයුත්තක්. විදේශ සමග ගිවිසුම් අත්සන් කරන්න පුළුවන් රජයට විතරයි. එක්සත් ජාතින්ගේ සංවිධානය හා එහි වෙනත් ආයතන සමග ගනුදෙනු කරන්න පුළුවන් එහි නියෝජනය කරන්න පුළුවන් රජයට විතරයි. ඒත් ඒවා එහෙම ම වෙන්නෙ නැහැ. එක්සත් ජාතීන්ගෙ සංවිධානය කියන්නෙ ලෝකය පාලනය කරන්න බටහිරයන් තනාගත් තවත් ආයුධයක් පමණයි. රුසියාවට හා චීනයට ආරක්‍ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වයත් නිෂේධ බලයත් නොතිබෙන්නට අපට කතාකරන්නවත් ඉඩක් නැහැ. ඊනියා මානව හිමිකම් කොමිසමේ කොටින්ටත් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්.

උතුරු පළාත් සභාව වැඩ කරන ආකාරය ගැන පුළුල් සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ කෙරෙන්න ඕන. ඒ සම්බන්ධයෙන් අධිකරණයට ගිහින් කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් ද කියලා හොයලා බලන්න ඕන. මේ ඔක්කොටම වැඩියෙන් ජනතාව මේ ප්‍රශ්න ගැන දැනුවත් කරන්න ඕන. ජනමාධ්‍යවලට එතනදි ලොකු කාර්යභාරයක් ඉටුකරන්න තියෙනවා. ඒත් අපට පඬියන් නොවන ජනමාධ්‍යවේදීන් කී දෙනකු සිටිනවා ද? අනෙක් අතට ආණ්ඩුවත් රාජ්‍ය විරෝධීව ව්‍යවස්ථාවට පිටීින් කටයුතු කරනවා නම් උතුරු පළාත් සභාව ගැන මොනවා කියන්න ද?  ගුරා හිටගෙන කරන කොට ගෝලයා දුව දුව කරනවා කියලා තියෙන්නෙ කට කහනවට නොවෙයි.



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.

https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා

2016 අගෝස්තු 23