Main Logo

Friday 19 August 2016

එන්නත් පරීක්‍ෂාව නීතියෙන් පුළුවන් ද

එන්නත් පරීක්‍ෂාව නීතියෙන් පුළුවන් ද

ඇඑරාවල (ඇමරිකානු එක්සත් රාජ්‍යවල) තානාපති අතුල් කේෂප් ඔවුන්ගේ ගුවන් හමුදා භටයන් කිහිප දෙනකු සමග යාපනයට ගිහිල්ලා. ඒ අය එල් ටී ටි ඊ සාමාජිකයන් කිහිප දෙනකුට විස එන්නත් කරලාද කියලා පරීක්‍ෂණයක් කරන්න යනවා. ඒ කියන්නෙ මේ හමුදා භටයන් අතර බටහිර වෛද්‍යවරුන් ද ඉන්නවා කියන එක. මේ තානාපතිගෙ සහ තවත් තානාපතිලගෙ මෙරට දේශපාලනයෙහි කරන ඇඟිලි ගැසීම් ගැන කලින් සඳහන් කළා. අතුල්, ඩික්සිත්ටත් එහා යන්න පුළුවන් (http://www1.kalaya.org/2016/08/blog-post_17.html). අතුල් ඉන්දීය සම්භවයක් ඇති එරා (එක්සත් රාජ්‍ය) තානාපතිවරයෙක්.  ලංකාවෙ එක එක විධියෙ අතුලල ඉඳලා තියෙනවා. මාර්ටින් වික්‍රමසිංහත් අතුල කෙනෙක් ගැන කියනවා. ඒ අතුල නමින් තවත් ලොකු පොඩි අතුලලත් බිහිවුනා. මේ සමහර අතුලල සිංහල බෞද්ධයන්ට විරුද්ධයි. 


මේ හමුදා භට පිරිස ලංකාවට ආවෙ රාත්‍රියක. හරියට හොරෙන් ආව වගේ. ඒගොල්ල ආවෙ විග්නේස්වරන් අතුල් තානාපතිගෙන් කළ ඉල්ලීමක් උඩ. විග්නේස්වරන් මේ විස එන්නත් කතාව ළඟක දි අතුල්ට යාපනේ දී කියලා තියෙනවා. ඒ ඉල්ලීමට අතුල් එකඟ වුනාලු. ඒත් ඉතා පැහැදිලියි මේක ටිකක් කල් ඉඳලා සැලසුම් කරපු වැඩක් කියන එක. දවසකින් දෙකකින් එරා හමුදා භට පිරිස් එවන්නෙ නැහැ.

සමහරු හිතනවා මේක ගැන ආණ්ඩුව දන්නෙ නැතිව ඇති කියලා. විවිධ කතන්දර කියනවා. එරා සමග ලංකාව අත්සන් කරලා තියෙන ගිවිසුමක් අනුව ආණ්ඩුව නොදැන වුවත් පළාත් සභා මහා ඇමතියකුට මේ විධියට විදේශ හමුදා භටයන් ගෙන්නන්න පුළුවන් කියලා. මේව බොරු ප්‍රචාර. සමහරවිට ආණ්ඩුව දැනුවත් ව කරන බොරු ප්‍රචාර. හැම එකක් ම ආණ්ඩුවට හොරෙන් කළ බවක් පෙන්නන්න හදනවා. ගිවිසුමක් තිබුණත් නැතත් ආණ්ඩුව මේ ගැන දැනගන්න ඕන.

අප අමතක නොකළ යුතු කරුණක් තමයි එරා ආවට ගියාට වැඩ නොකරන බව. ඈංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියෙ විශේෂ ම ලක්‍ෂණයක් තමයි සැලසුම් කිරීම. මේ සංස්කෘතියට සමහරු ඇංග්ලො ඇමරිකන් කියලත් කියනවා. ඒ වචනය එතරම් හරි නැහැ. එයින් කියන්න හදන්නෙ එංගලන්තෙ හා එරාවල ඇති සංස්කෘතිය. ඒත් ඇමරිකන් කියන එක සුදුසු නැහැ. අනෙක් පැත්තෙන් ඒ සංස්කෘතියෙ ක්‍රිස්තියානි බව පෙනෙන්නෙත් නැහැ. ඒ නිසා අපි ඒකට ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය කියල ම කියමු. මේ හමුදා භටයන් විස එන්නත් පරීක්‍ෂාවක් සඳහා එවලා තියෙන්නෙ සැලසුම් කරලා. ඒක සැලසුම් කරන්න ඇත්තෙ ඔය විස එන්නත් කතාව ප්‍රසිද්ධියෙ කතාකරන්න කලින්. දවසක විකිලීක්ස් මගින් සමහරවිට ඒ බව අනාවරණය වේවි. 

මේ භට පිරිස් ලංකාණ්ඩුවේ අනුදැනුම නැතිව එරා එවන්නෙ නැහැ. ඔවුන් නීතිය අනුගමනය කරන්නත් නීතිය නවන්නත් නීතිය කඩන්නත් දන්නවා. පූජිතට ඕන්නම් ඇරා ගිහිල්ල නීතිය නවන්න ඉගෙන ගන්න පුළුවන්. ඔවුන් නීතිය කඩන්නෙ නීතිය නවන්න බැරි නම්. නීතිය නවන්නෙ නීතිය අනුගමනය කරන්න බැරි නම්. මේ වගේ අවස්ථාවක නීතිය කඩන්නෙ නැහැ. ඇරා විදේශ අමාත්‍යාංශය, ඒ කියන්නෙ රාජ්‍ය දෙපාර්තමේන්තුව හිතවත්කමට තානාපතිවරු පත්කරන්නෙ නැහැ. රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩ කරන්නෙ එක පිළිවෙළකට, සැලසුමකට අනුව. ට්‍රම්ප් ජනාධිපති වුනත් රාජ්‍ය දෙපාර්තමේන්තුව තමන්ට ඕන විධියට ජනාධිපතිව හදලා ගනීවි. 

භට පිරිස් ලංකාවට පැමිණීම ගැන හා ඊනියා විස එන්නත් පරීක්‍ෂාව ගැන ආණ්ඩුවට නිදහස් වෙන්න බැහැ. බටහිරයන් මේ ආණ්ඩුව පත්කර ගත්තෙ ම මේ වගේ වැඩ කරවා ගන්න. මේ ආණ්ඩුව යටතෙ අප බහුයටත්විජිතයක් වෙලා. අප එංගලන්තයේත් ඇරාජ්‍යවලත් ඉන්දියාවේත් යටත්විජිතයක්. මේ ආණ්ඩුව සිංහල බෞද්ධ විරෝධී ඒ වගේම රාජ්‍ය විරෝධී ආණ්ඩුවක්. 

ඊනියා විස එන්නත් පරීක්‍ෂාව කොහොමටවත් ඊනියා අපක්‍ෂපාති පරීක්‍ෂණයක් කියලා අප පිළිගන්නෙ නැහැ. අපක්‍ෂපාත පරීක්‍ෂණ ලෝකෙ නැහැ. බටහිර විද්‍යාවෙ ඔය කියන වාස්තවික පරීක්‍ෂණවත් බටහිර ඊනියා වාස්තවික දැනුමක්වත් නැහැ.  බටහිර වෛද්‍ය විද්‍යාවෙ වාස්තවික පරීක්‍ෂණ නැති බව දන්න නිසා නෙ අර සෙකන්ඩ් ඔපීනියන්, දෙවැනි මතයක් හොයන්නෙ. කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නැහැ වගේ ඒ අයම ඔපීනියන් එනම් මතයක් ගැන කතාකරනවා. ඔවුන් ඊනියා දැනුමක් ගැන කතා කරන්නෙ නැහැ. ඊනියා විස එන්නත් පරීක්‍ෂාව අප ප්‍රතික්‍ෂෙප කරනවා. හොරාගෙ අම්මගෙන් පේන අහනවා කියන එක අතුල්ට තේරුම් කරල දෙන්න පුළුවන් අයකු ඉන්නව ද? මේ ලිපි බටහිර තානාපති කාර්යාල සමහරක් ඉංගිරිසියට පරිවර්තනය කරන බව අප දන්නවා. මේ භටයන් ඊනියා පරීක්‍ෂණය අස්සෙ මොන මොන දේ එන්නත් කරාවි ද කියලා අප දන්නෙ කොහොම ද? ඒ නිසා ඊනියා සෙකන්ඩ් ඔපනියන් ගැනීමත් තේරුමක් නැහැ. කොහොමටත් අප මේ පළමු මතයවත් පිළිගන්නෙ නැහැ. මේ පරික්‍ෂකයන් ලංකාවෙ වෛද්‍යවරුන් ලෙස ලියා පදිංචි වී තිබෙනවා ද? 

මේ සියල්ල කෙරෙන්නෙ ආණ්ඩුවෙ අනුදැනුම යටතේ රණවිරුවන් හා අදාළ අනෙක් අය වරදකරුවන් කරන්න. මේ ඊනියා පරීක්‍ෂණ තහනම් කරන්න අධිකරණ තීන්දුවක්වත් ගන්න පුළුවන් ද කියලා හොයලා බලන එක හොඳයි. මේ භටයන්ට හෝ ඒ සමග පැමිණ වෙනත් අයට හෝ ලංකාවේ වෛද්‍ය කටයුතුවලට සහභාගි වීම පුළුවන් ද? ඔවුන් වෛද්‍යවරුන් ලෙස ලංකාවේ ලියා පදිංචි වී තිබේ ද? ඔවුන් අර ඇක්ට් 16 නැත්නම් දැන් කියන විධියට ඊආර්පීඑම් පරීක්‍ෂණය සමත් ද? එසේ සමත්ව ලියා පදිංචි වී නැත්නම් ඔවුන් ලංකාවේ වෙදකම් හා සැත්කම් කිරීමට විරුද්ධව තහනම් නියෝගයක් ගැනීමට පුළුවන් ද? ඔවුන් ලංකාවට ගෙන්වීමට කටයුතු කළ විග්නේෂ්වරන් (ඔහු හිටපු විනිසුරුවෙක්) හා අනෙක් අයට විරුද්ධව නඩු නිමිිත්තක් තිබේ ද?  ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ ගැන කියන්නේ මොකක් ද? අපට දැන් වෙලා තියෙන්නෙ කාටවත් කඩේ යන්න නොවෙයි අලුත්කඩේ යන්න.  





මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)



නලින් ද සිල්වා

2016 අගෝස්තු 19