Main Logo

Sunday 14 August 2016

මාලබේට විරුද්ධ ඇයි?

මාලබේට විරුද්ධ ඇයි?

මට තියෙන ලොකුම ශක්තිය තමයි නැතිවෙන්න දෙයක් නැතිවීම. මට යම් යම් දේ නැති බව නොවෙයි මෙයින් කියන්නේ. ඒවා නැතිවීම මට ප්‍රශ්නයක් නොවන බවයි. ඒ නිසා මට යම් පිළිගැනීමක් කිහිප දෙනකු අතර තිබුණත් ඒකත් නැතිවීම ප්‍රශ්නයක් නොවෙයි. මට මා හිතන දෙයක් කියන්න පෞද්ගලික ව ප්‍රශ්නයක් නැහැ. මාලබේ වෛද්‍ය විද්‍යාලය ප්‍රශ්නය ගැන මා කියන්නේ බොහෝ දෙනා ඒ පිළිබඳ ව මට විරුද්ධ වන බව දැන දැනමයි. එය මට ප්‍රශ්නයක් නොවෙයි. ඇතැම් ප්‍රතිචාරවලින් ඒ විරුද්ධත්වය දැක ගත හැකි වූවා. ඒත් රටට හා ජාතියට ප්‍රශ්නයක් ඇති වේ යැයි මා සිතන සමහර දේ මා ප්‍රකාශ කරන්නේ නැහැ. මාලබේ ප්‍රශ්නය නිසා රටට හා ජාතියට බලපෑමක් නැහැ.


මාලබේ වෛද්‍ය විද්‍යාලය නිදහස් අධ්‍යාපනයට ප්‍රශ්නයක් නොවන බව මා කලින් කියා ඇති. තවමත් බොහෝ දෙනා මේ ප්‍රශ්නය දිහා බලන්නේ ඊනියා සමාජවාදී අදහස් මත පදනම් වෙලා. ධනවාදය සමාජවාදය ආදිය තේරුමකට නැති සංකල්ප. අද ලෝකයේ නිෂ්පාදනය කෙරෙන්නේ මහා පරිමාණයෙන්. එයට ප්‍රාග්ධනය අවශ්‍යයයි. ප්‍රාග්ධනය තනි තනිව, සාමූහිකව යොදන්න පුළුවන්. සාමූහික ප්‍රාග්ධනය සමාගමක් ලෙස හෝ රජය ලෙස හෝ යෙදවිය හැකියි. කලින් තිබූ සෝවියට් දේශයෙහි ප්‍රාග්ධනය රජය විසින් යොදනු ලැබුවා. එහි ඊනියා සමාජවාදයක් තිබුණේ නැහැ. චිනයේ තිබූ හෝ තිබෙන හෝ සමාජවාදය මොකක් ද? මාක්ස් කී විධියට ලෝකයේ කිංසිම රටකකම්කරු පංති රාජ්‍යයක් ඇති වී තිබෙනවා ද? කම්කරු පංතිය තියෙන්නෙ කොහෙ ද? කම්කරුවන්ට කම්කරු පංති හැඟීම පිටින් ගේන්න ඕන කිව්වම ඒක පුදුම කතාවක් නොවේ ද? බටහිර විද්‍යාවෙවත් ඒහෙම කතන්දර තිබෙනවා ද? 

අප මාලබේ දිහා බලද්දී අපට තවත් හැඟීමක් තිබෙනවා. අපේ සමාජයේ දේශපාලනඥයන්ට, සිනමා රූපවාහිනී ආදී කලාකරුවන්ට හා ඉදිරිපත්කරන්නන්ට, ක්‍රිකට් ක්‍රීඩකයන්ට වැනි සංදර්ශනකරුවන් (විශාල පිරිසක් හමුවට යන) හැරෙන්නට අධ්‍යාපනය  නිසා “ඉහළට" ගිය අය අතර වැදගත් තැනක් ලැබෙන්නේ බටහිර වෛද්‍යවරුන්ට. ඉංජිනේරුවන්ට, කළමනාකරුවන්ට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට, පරිපාලන නිලධාරීන්ට, පර්යේෂණ නිලධාරීන්ට හා වෙනත් එවැන්නන්ට ලැබෙන්නේ ඊට අඩු වැදගත්කමක්. මේ අය අතර සිටීින සමහරුන් සංදර්ශනකරුවන් වෙනවා. මාත් කලක් සංදර්ශනකරුවකුව සිටියා. 

ලංකා විශ්වවිිද්‍යාල පටන්ගත් කාලයේ සිට උපාධිධාරීන්ට වැදගත් තැනක් හිමිවුනා. ඔවුන් බුද්ධිමතුන්් ලෙස සැලකුණා. ඉස්සර අප විශ්වවිද්‍යාලෙට ඇතුල් වෙන කාලෙ ඒ ඇතුල් වෙච්ච අයගෙ නම් හා පාසල් ඩේලි නිවුස් පත්‍රයේ පළවෙනවා. සාමාන්‍ය මිනිසුන් උපාධිධාරීන් ගැන ගෞරවයක් දැක්වූවා. අදත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන එක සිසුන් සලකන්නෙ මහා අභිමානයකින්. රණවිරුවන් ගැන කතාකළාට ඔවුන්ට කියන්නෙ අට පාස් එවුන් කියලා. මා මේ කියන්නෙ හැම සරසවි සිසුවකු ගැන ම නොවෙයි. ඒත් සාමාන්‍ය හැඟීම එයයි. 

අදත් සමාජය බටහිර වෛද්‍යවරුන්ට සලකන්නෙ ඉමහත් ගෞරවයකින්. වෛද්‍ය සිසුන් ඉතා බුද්ධීිමත් දක්‍ෂ අය කියලා මතයක් තියෙනව. අනෙක් සිසුන්ටත් වඩා බටහිර වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න සිසුන් බුද්ධිමත් අය ලෙස සැලකෙනවා. මේ ඊර්ෂ්‍යාවකින් කියන දෙයක් නො වෙයි. රටේ සාමාන්‍ය මතය ඒකයි. මේක සුද්දන්ගෙ කාලෙ ඉඳලා තියෙන මතයක්. ඒක පිටුපස්සෙත් තියෙන්නෙ සුද්දන් අනුකරණයක්. එත් මේ රටේ මිනිසුන් නොදන්න කාරණයක් තමයි  අපේ රටේ විශේෂයෙන් ම සිංහලයන් අතරෙ මහා බුද්ධිමතුන් නැතැයි කියන එක. බටහිර රටවල නම් මහා ඉහළ බුද්ධිමතුන් ඉන්නවා. අපේ රටේ එහෙම නැහැ. සිංහල සමාජය බොහොම සමජාතිය සමාජයක්. අප අතර විභාගවල ගන්න ලකුණූ අතර වෙනස්කම් තිබිය හැකියි. ඒත් ඒකෙන් බුද්ධිමතුන් තෝරන්න බැහැ. 

අපේ රටේ පෞද්ගලික අධ්‍යාපනය කාටත් පේන්න තියෙනවා. පෞද්ගලික පාසල්, උපකාරක පංති, ඊනියා ජාත්‍යන්තර පාඨශාලා, බටහිර වෛද්‍ය විද්‍යාව හැරෙන්න වෙනත් වික්‍ෂය ධාරාවල උපාධි දෙන පෞද්ගලික ආයතන, ඒ මදිවට අපේ රටෙන් පිටරට ගොස් මුදල් ගෙවා ලබාගන්නා බටහිර වෛද්‍ය උපාධි ගැන කවුරුත් පාහේ දන්නවා. පෞද්ගලික බටහිර වෛද්‍යවරුන් අවුරුදු සියයකට වඩා මෙරට හිටියා. අදත්ඉන්නවා. අද පෞද්ගලික රෝහල්,චැනල් සේවය බටහීිර වෛද්‍ය ක්‍ෂෙත්‍රයේ දකින්න තියෙනවා. මේ රෝහල්වල සේවය කරන බටහිර වෛද්‍යවරුන් අතර නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ බටහිර වෛද්‍යවරුන්ගේ අනුපාතය ඉතා විශාලයි. එ සියල්ල එසේ තිබිය දී මාලබේ වෛද්‍ය විද්‍යාලය නිදහස් අධ්‍යාපනයට පහරක් කියලා කියන්නෙ මොන හේතු නිසා ද? මොන තර්කවලට එකඟව ද? 



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද/  කියවිය හැකි යි. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)




නලින් ද සිල්වා

2016 අගෝස්තු 14