Main Logo

Monday 8 August 2016

වකුගඩුව පක්ෂ දේශපාලනයට ලක්කිරීම 5

වකුගඩුව පක්ෂ දේශපාලනයට ලක්කිරීම 5

ඉන්දීය සම්භවයක් ඇති ඇමරිකානු තානාපති අපේ ව්‍යවස්ථාව හදන්න උදවු වෙන්න යන වෙලාවෙ, අපේ හමුදාවත් සමග සහයෝගයෙන් කටයුතු කරන්න යන වෙලාවෙ ඒවා ගැන කතා නොකර කෘවරෝගය ගැන මේතරම් කතාකරන්නෙ මොකද කියලා කාට හරි හිතෙන්න පුළුවන්. මේ ඔක්කොම ඇමරිකන් ආධිපත්‍යයෙ ප්‍රතිඵල. ඇමරිකාව අද බටහිර ලෝකයෙත් මුළු ලෝකයේත් ආධිපත්‍ය දරණවා. බටහිර ක්‍රමයට අවශ්‍ය පහසුකම් වැඩිය තියෙන්නෙ ඇමරිකාවෙ. ඒ නිසාමත් චන්නට තමන්ගෙ පර්යේෂණ සමහරක් කැලිෆෝනියාවෙ වි්ශ්වවිද්‍යාලයක කරන්න සිද්ධ වුනා. බහුජාතික සමාගම්වල විතරක් නෙවෙයි බටහිර දැනුමේත් ප්‍රධාන මධ්‍යස්ථාන තියෙන්නෙ චීනයේවත් ජපානයේවත් නෙවෙයි බටහිර රටවල. බටහිර ක්‍රමය අනුගමනය කරන ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ තමන්ගෙ නොවන මතවාද හා අදහස්වලටත් ඉඩ දීම. මේක ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණයක් කියලා හිතන්න එපා. ඔවුන් ඒවට ඉඩදීලා ඒවා පාලනය කරනවා. ඔවුන් ඒ කරන හැටි දන්නවා. ලංකාවේ අපේ මතවාද ගැන දෙවියන් භූතයන් ගැන කතාකරන්න ඇති නිදහසට වඩා නිදහසක් ඇමරිකාවෙ ස්වදේශිකයන්ගෙ මත, අදහස්, පර්යේෂණ විධික්‍රම ගැන කතාකරන්න තියෙනවා. පහුගිය දවස්වල ඇමරිකාවෙ ස්වදේශික උගතුන් ලියූ පොත් කිහිපයක් ම මට කියවන්න ලැබුණා. ඔවුන් දැනුම ලබාගැනීමේ විධික්‍රම ලෙස තම සිහින, අමනුෂ්‍ය ප්‍රාණීන්, සාමුහික අත්දැකීම්, උත්සව, සැණකෙළි ආදිය ගැන කතාකරනවා. ඒත් ඉතා පැහැදිලි කරුණක් තියෙනවා. පර්යේෂණ විධික්‍රම ගැන කතාකරන කොටම මේ ස්වදේශික උගතුන් බටහිරට යටවෙලා. ඔවුන්ට විශ්වවිද්‍යාලවල මහාචාර්ය පදවි ලැබෙනවා. අපේ රටේ විශ්වවිද්‍යාලවල අපේ චින්තනය ගැන කතාරන්න නිදහසක් නැහැ. අපේ විශ්වවිද්‍යාලවල උගතුන්ට බැහැ අපේ චින්තනයට ඉඩ දීලා ඒක පාලනය කරන්න. ඒ එක් පැත්තකින් ඔවුන් හරිහමන් බටහිර විද්‍යාඥයන් නොවන නිසා. ඒ නිසා හොඳකුත් තිබෙනවා. අප බටහිර චින්තනයට යටවෙන්නෙ නැහැ. ආණ්ඩුව යටවුනත් අවසානයේ දී අප අපේ ව්‍යවස්ථාවවත්් හමුදාවවත් බටහිරට යටකරන්නේ නැහැ. 


අප කෘවරෝගයට හේතු ආසනික් පස හා ජලය කියා තරමක කල්. ඒත් තවම බටහිර විද්‍යාඥයන් එයට හේතුව දන්නේ නැහැ. පසුුගිය 6 වැනි සෙනසුරාදා දි අයිලන්ඩ් පුවත්පතේ පළවූ Don’t ignore 2016 WHO consultation on CKDu ලිපිය මේ පිළිබඳ උදාහරණයක්. මෙරට බටහිර විද්‍යාඥයන් යැයි කියාගන්නා අය (සමහර දෙනකුගේ පදිංචිය බටහිර රටවල) පසුගිය වසර කිහිපයෙහි ම කෘවරෝවට හේතුව පිළිබඳ නොයෙකුත් මත ප්‍රකාශ කළා. ලෝක සෞඛ්‍ය සංවිධානය පරස්පර කතා කිවුවා. සෙනසුරාදා දි අයිලන්ඩ් ලිපියෙන් කියන්නේ 2016 අප්‍රේල් මස කොළඹ දී පවත්වන ලද ජාත්‍යන්තර උපදේශකයන්ගේ සම්මේලනයක් පිළිබඳ ව. එයින් කියන්නේ අපේ විශාරදයන් ඉදිරිපත් කළ මත එකක්වත් පිළිගැනීමට තරම් සාධක නැති බව. එහෙත් ඔවුන් ආසනික් ගැන කියන්නේ එය එකම හේතුව බවට නිගමනය කරන්න බැහැ කියන එකයි. මේ උගුරට හොරා බේත් කෑමක්. ආසනික් කතාව පිළිගැනීමට මේ විශාරද උපදේශකයන්ගේ දිව නැමෙන්නේ නැහැ. එ වගේ අවස්ථාවල දී ඇට නැති දිවට ඇට ලැබිලා ඒක නවන්න බැරි වෙනවා.  ඒකට බටහිර විද්‍යාත්මක හේතුවක්  තියෙනව ද කියලා මා අහන්නේ නැහැ.

ආසනික් එකම හේතුව කියලා අපිත් කියන්නෙ න ැහැ. ඒ සඳහා උත්තේජකයක් අවශ්‍යයයි. චන්නගේ පර්යේෂණ පත්‍රිකාවල මේ බව සඳහන් වෙනවා. බටහිර විද්‍යාඥයන්ට ආසනික් පිළිගැනීමට අකමැත්තක් තියෙනවා. ඔවුන්ට ලෙඩුන් මැරූණත් කමක් නැහැ ඔවුන්ගේ ඊනියා ගෞරවය බේරාගෙන.  කොහොමටත් බටහිර විද්‍යාවට කෘවරෝවට හේතු හොයන්න ඊනියා පර්යේෂණ කරන්න වෙන්නෙ ශරීරයෙන් බාහිරව. ඔවුන්ට මිනිසුන්ගෙ ශරීර ඇතුළෙ ඒ පරීක්‍ෂණ කරන්න බැහැ. වැඩිම වුනොත් ඔවුන්ට කරන්න පුළුවන් මීයන් වැනි සතුන් අරගෙන ඒ සතුන් මරා හරි නොමරා හරි ඊනියා පර්යේෂණ කර්න්න. එහෙත් බෞද්ධයන්ට එවැනි පරීක්‍ෂණ කරන්න බැහැ. මා දන්නා හැටියට ඇමරිකාවේ දී චන්න එවැනි පරික්‍ෂණ කිරීම ප්‍රතික්‍ෂෙප කරලා තියෙනවා. 

මීළඟ ලිපියෙන් රෝගයට ප්‍රතිකාර ගැන කතාකරනවා. එහෙත් කිවයුතු කරුණක් තිබෙනවා. අපේ කණ්ඩායම දැන් විසුරුැවා හැරලා. අපට අවශ්‍ය දේ අප කරගෙන ඉවරයි. ඒ නිසා අප දැන් කණ්ඩායමක් ලෙස ක්‍රියා කරන්නේ නැහැ. ප්‍රියන්තා කියන කරන දේ ගැන චන්නවත් ප්‍රියානිවත් මාවත් වග කියන්නේ නැහැ. අනෙක් අය අතරත් එකිනෙකා කරන දේ ගැන අනෙක් අය වග කියන්නේ නැහැ.





මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)



නලින් ද සිල්වා

2016 අගෝස්තු 08