මාලබේ වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නයට පෙරවදනක්
මාලබේ වෛද්‍ය විද්‍යාලය ප්‍රශ්නය ගැන කතාව බොහොම හැඟීම් අවුස්සන එකක්. ඒක මාලබේ කඩය කියලා තමයි පටන්ගන්නෙ. මේ රටේ තියෙන්න ඔක්කොම අධ්‍යාපන කඩ තමයි. ඒ කඩවල තියෙන්නෙ ඒකාධිකාරයක්. බටහිර අධ්‍යාපනය විතරයි ගන්න තියෙන්නෙ. ඔය සමහරු කතාකරන භාෂාවෙන් නම් තේරීමක් (චොයිස් එකක්) නැහැ. මේ කඩ අනුන්ගෙ බඩු විකුණන කඩ. සමහර කඩ ආණ්ඩුව ගානෙ පවත්වගෙන යනවා. ඒවට අප ඔක්කොම එකතුවෙලා ගෙවනවා. ඒ හින්ද තම තමන් ගෙවන මුදල ඉතාමත් සුළුයි. ඒ අතර දරුවන් ආධාරක (ටියුෂන්) පංති යනවා. ඒවට තමන් ම ගෙවනවා. කොළඹ ළමයි පුත්තලමෙන් නුවරඑළියෙන් උසස් පෙළ පරීක්‍ෂණයට පෙනී සිටිනවා. මේ අවුල ගැන කතාකරන්න ලිපි පෙළක් ලියන්න වෙයි.
අද රටේ උපාධිවලට උගන්වන පෞද්ගලික ආයතන රාශියක් තියෙනවා. ඒ ආයතනවල මුදල් අයකරනවා. ඒත් කවුරුන්වත් කියන්නෙ නැහැ නිදහස් අධ්‍යාපනය ඉවරයි කියලා. මේ ආයතනවලින් ලෝකයේ විවිධ රටවල ඉංජිනේරු, විද්‍යා ආදී උපාධි ලබාගන්න පුළුවන්. 1921 සිට 1942 දක්වා විශ්වවිද්‍යාල ආයතනයෙන් (යුනිවර්සිටි කොලේජ්) කෙරුවෙත් ලංඩන් විශ්වවිද්‍යාලයෙ උපාධිවලට සිසුන් පුහුණු කරපු එක. ඒ ආයතනයත් කඩයක් තමයි. ලංකාවෙ උසස් අධ්‍යාපනයත් පාසල් අධ්‍යාපනය වගේ ම අවුලක්. 1870 දී කොළඹ වෛද්‍ය විද්‍යාලය පිහිටෙවුවා. ඒකෙ මූලික අරමුණ වුනෙ ඉංගිරිසි හේවායන්ට හා ආණ්ඩුවෙ සුළු නිලධාරීන්ට බෙහෙත් කරන්න මෙරටින් පිරිසක් ඇතිකිරීම. ඒ සමග මෙන් නීති විද්‍යාලයත් තාක්‍ෂණ විද්‍යාලයත් (ටෙක්නිකල් කොලේජ්) පිහිටෙවුවා. මේ විද්‍යාලවල මුදල් අය කෙරුවා. ඒවායෙ ලබා දුන්නෙ ශිල්ප මිසක් ශාස්ත්‍ර නෙවෙයි. 1921 දී විශ්වවිද්‍යාල ආයතනය පිහිටෙවුවෙ ශාස්ත්‍ර දෙන්න. 1942 දී මේ ආයතනයත් වෛද්‍ය විද්‍යාලයත් එකතු කරලා ලංකා විශ්වවිද්‍යාලය ඇතිකෙරුවා. එතෙක් වෛද්‍ය විද්‍යාලයෙන් ලැබුණෙ උපාධියක් නෙවෙයි බලපත්‍රයක්. ඒකට එල්එම්එස් කියලා කිවුව. ඒ ලයිසමෙන් නැත්නම් බලපත්‍රයෙන් වෙදකම් හා සැත්කම් කිරීමට අවසර ලැබුණා. අප කුඩා කාලෙ ඉංගිරිසි බෙහෙත් ගන්න ගියෙ මේ බලපත්‍රලත් දොස්තර මහත්තුරුන් ළඟට. 1942 න් පස්සෙ එම්බීබීඑස් උපාධිය වෛද්‍ය ශිෂ්‍යයන්ට ලැබුණා. එ දවස්වල උපාධි පිළිගන්න වෙන ම ආයතනයක් තිබුණෙ නැහැ. සනාතන සභාවේ පිළිගැනීම ප්‍රමාණවත් වුනා. ලංකා විශ්වවිද්‍යාලයෙ උපාධිය එංගලන්තෙත් පිළිගැනුණා. ඒත් කලක සිට එංගලන්තයේ වෛද්‍ය වෘත්තියෙ යෙදීමට ඔවුන්ගෙ තවත් පරීක්‍ෂණයකටත් පෙනී සිට සමත්වෙන්න ඕන.
මට මෙතනදි පරණ කතා දෙකක් මතක් වෙනවා. 1961 දී පේරදෙණියෙ වෛද්‍ය පීඨයක් හා විද්‍යා පීඨයක් ඇති කෙරුණා. විද්‍යා පීඨයට ප්‍රශ්නයක් නැතිවුණාට වෛද්‍ය පීඨයෙ ප්‍රශ්නයක් මතුවුනා. ඒ වෛද්‍ය පීඨයෙ සිසුන්ට ලැබෙන උපාධිය එංගලන්තෙ පිළිගනීවි ද කියලා. ඒක පිළිගන්නව ද නැද්ද කියන එක හොයලා බලන්න එංගලන්තෙ විශාරදයන් ටිකක් පස්සෙ කාලෙක ලංකාවට ආව. මේ ප්‍රශ්නය කරාපිටියෙ පීඨයටත් තිබුණා. දැන් සමහරවිට ඒක නැතිව ඇති. කවුරුත් එංගලන්තෙ ගිහින් ඔවුන්ගෙ විභාගෙට පෙනී ඉන්න ඕන. දෙවැනි කතාව 1968 දී එතෙක් කොළඹ හා පේරාදෙණියේ පවත්වාගෙන ගිය ලංකා විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල දෙකක් බවට පත්කිරීම ගැන. එතැනදි පේරාදෙණියෙ තිබූ විශ්වවිද්‍යාල කොටස ලංකා විශ්වවිි්‍යාලය ලෙසත් කොළඹ තිබූ විශ්වවිද්‍යාල කොටස කොළඹ විශ්වවිද්‍යාලය ලෙසත් නම් කළා. අනෙක් පීඨවල සිසුන්ට මේක බරපතළ ප්‍රශ්නයක් වුනේ නැහැ. ඒත් කොළඹ වෛද්‍ය සිසුන් එයට දැඩි විරෝධයක් දැක්වුවා. ඔවුන් කියා සිටියෙ තමන්ගෙ පීඨයට අවුරුදු සියයක ඉත්ිහාසයක් ඇති බවත් එංගලන්තෙ පිළිගැනෙන්නෙ ලංකා විශ්වවිද්‍යාලයෙ වෛද්‍ය උපාධිය බවත් තම පීඨය කොළඹ විශ්වවිද්‍යාලයෙ වෛද්‍ය පිඨය ලෙස හැඳින්වීම නිසා තම උපාධිය පිළිනොගන්නා බවත් එය අසාධාරණයක් බවත්. අවසානයේ දී ඒ විශ්වවිද්‍යාලය ලංකා විශ්වවිද්‍යාලය, කොළඹ කියා නම් කිරීමට ආණ්ඩුව එකඟ වුනා. 1972 දී ලංකාවෙ සියළු විශ්වවිද්‍යාල ලංකා විශ්වවිද්‍යාලයෙ ඒ ඒ මණ්ඩප වුනා. 1978 දී නැවතත් තනි තනි විශ්වවිද්‍යාල බවට පත්කෙරුණා. එතැන් සිට තියෙන්නෙ පේරාදෙණිය විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය හා තවත් විශ්වවිද්‍යාල. කොළඹ විශ්වවිද්‍යාලය කියන නම 1968 දි නරක් වුනාට 1978 දි හොඳ වෙනවා. අප උපාධි ලත් ලංකා විශ්වවිද්‍යාලය දැන් නැහැ! මා අර රාමු කරන උපාධි සහතිකේ ගත්තෙ නැහැ. දැන් යම රජ්ජුරුවන්ට පෙන්නන්නවත් ඒක ගන්න විධියක් නැහැ. සුද්දන්ගෙ දේ අනුකරණය කරලා අපට වෙලා තියෙන දේ. ඒත් ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් තාමත් තියෙනවා.
අද උපාධි පිළිගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තියෙනවා. ආණ්ඩුවෙ විශ්වවිද්‍යාල හැම එකකම උපාධි සාමාන්‍යයෙන් කොමිෂන් සභාවෙන් පිළිගැනෙනවා. පිටරට විශ්වවිද්‍යාලවල උපාධිත් බොහෝ වෙලාවට පිළිගැනෙනවා. මේවට නිර්ණායක නැහැ. පොදුරාජ්‍ය මණ්ඩල විශ්වවිද්‍යාල පොතේ සඳහන් විශ්වවිද්‍යාලයක් නම් උපාධිය පිළිගැනෙනවා. බටහිර රටවල උපාධිත් පිළිගැනෙනවා. ලංකාවෙ තියෙන පෞද්ගලික ආයතන බටහිර විශ්වවිද්‍යාලවලට අනුබද්ධිත බැවින් ඒ ආයතන හරහා ලැබෙන උපාධිත් පිළිගැනෙනවා. මේ උපාධි පිළිගැනිල්ල සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නෙ රස්සාවලට යන්න. පිළිගත් උපාධියක් කියන අවශ්‍යතාව රැකියාවලට බඳවා ගැනීමේදී තියෙනවා. මේක මේ තවත් සහතික බොරුවක්. කාට හරි වැඩක් පුළුවන් ද කියලා බලන්න එයත් එක්ක කතාකරන්න ඕන. පස්සෙ වැඩ ටික ටික දීලා බලන්න ඕන. සහතික තිබුණු පමණින් වැඩ පුළුවන් වෙන්නෙ නැහැ.
වෛද්‍ය වෘත්තියෙ යෙදෙන්න සුදුසු ද නැද්ද කියලා තීරණය කරන්න ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තියෙනවා. අද මාලබේ ප්‍රශ්නය ඔවුන්ගෙ උපාධිය පිළිගන්නව ද නැද්ද කියන එක නෙවෙයි. වෛද්‍ය සභාව ඒ උපාධිය වෛද්‍ය වෘත්තියෙ යෙදෙන්න සුදුසු ද නැද්ද කියලා පිළිගන්නව ද කියන එක. මෙය උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නයට වඩා වෙනස්. එහි ප්‍රශ්නය වුනෙ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයෙ සිසුන්ට කොළඹ විශ්වවිද්‍යාලයෙ උපාධිය දෙනවද නැද්ද කියන එක. ඒ වගේම ප්‍රශ්නයක් ආවා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට බඳවා ගැනීමේ නිර්ණායක වෙනස් කියලා. උසස් පෙළ ජෛවීය විද්‍යා ධාරාවේ නැති විෂය සමත් වුවත් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙන්න පුළුවන් වුනා. ඒක තනියම ගත්තම නම් ප්‍රශ්නයක් නෙවෙයි. උසස් පෙළ නැතත් කාට හරි අවශ්‍ය නම් ඕනෑම උපාධියක් ලබාගන්න හැකි විය යුතුයි. 1971 දි අප පේරාදෙණියෙ විශ්වවිද්‍යාලෙ ශාස්ත්‍ර පීඨ සිසුන්ට උපාධියට ගණිතය උගන්වන්න පටන්ගත්ත. ඒ සිසුන් උසස් පෙළට ගණිතය හදාරල තිබුණෙ නැහැ. ඒ අය පසුව උපාධිධාරීන් ලෙස ගණිත ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යාංශයෙ ගණිත උපදේශකවරුන් පරිපාලන නිලධාරීන් ආදීන් හැටියට කටයුතු කළා. ඒත් ඒ රැකියා ලබාදීමට මහාචාර්ය කනගසබාපති මහතාටත් මටත් දින ගණනක් කොළඹ ඇවිත් ඒ කාලෙ අධ්‍යාපන අමාත්‍යංශෙ ලේකම් උඩුගම හමුවෙලා කරුණු ඉදිරිපත් කරන්න සිදුවුනා. දැන් ශාස්ත්‍ර පීඨයේ ඒ විෂය නැහැ. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලෙ ප්‍රශ්නෙ වෛද්‍ය පීඨයට ඇතුල් වීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලය පිළිගත්තෙ නැති විෂය උසස් පෙළට හැදෑරීම. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලෙ කොළඹ විශ්වවිද්‍යාලයෙ උපාධිය දෙන්න සැලසුම් කෙළෙ නැත්නම් ඒ ප්‍රශ්න එකක්වත් නැහැ.
මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි.
(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)
නලින් ද සිල්වා
2016 අගෝස්තු 10