Main Logo

Sunday 7 August 2016

වකුගඩුව පක්‍ෂ දේශපාලනයට ලක්කිරීම 4

වකුගඩුව පක්‍ෂ දේශපාලනයට ලක්කිරීම 4

වකුගඩු රෝගය නමින් අප හඳුන්වන්නේ කෘෂිරසායනික වකුගඩු රෝගය බව නිතර මතක තබාගන්න ඕන. ඒකට හේතුව වෙනත් වකුගඩු රෝග ද තිබෙන නිසා. පහසුව සඳහා මෙතැන් සිට අප නමේ මුලකුරු මගින් කෘවරෝ කියා හඳුන්වනවා. කෘවරෝ ගැන අදහස් ප්‍රචලිත වන විට ඇතැම් දේශපාලනඥයන් ඒ ගසා කෑමට උත්සාහ කළා. ජාතික හෙළ උරුමය එහි දී ප්‍රධාන වූවා. මේ අය කිසිවකු ප්‍රධාන ප්‍රශ්නය වූ දැනුම් ආධිපත්‍යයට අත ගැසුවේ නැහැ. ජාතිකත්වයක් නැති එහෙත් දේශපාලනය සඳහා කෘර ලෙස ඔවුන් කෘවරෝ යොදා ගත්තා. චන්නගේ පොතේ උත්සවය පිටුපස ද දේශපාලන පක්‍ෂයක් හා අනාගත සිහින දකින අය සිටිනවා. 


කෘවරෝ නිසා සිදුවූන තවත් දෙයක් තමයි වසවිස නැති ගොවිකම ගැන ප්‍රචාරයක් ලැබීම. ප්‍රියන්තා දුන් උපදෙස් අනුව රාජකීය විදුහලේ ද වසවිස නැති ගොවිකම මෙන් ම සිසුන්ට උදේ කැඳ වීදුරුවක් ලබා දීම ද ඇරඹුනා. නිල වශයෙන් මොන චෝදනා තිබුණත් පසුගිය වසරේ රාජකීය විදුහලේ විදුහල්පති ඉවත් කෙරුණේ ප්‍රධාන වශයෙන් ම මේ හේතුව නිසා ය කියා මා විශ්වාස කරනවා. මා කියන්නේ වස විස නැති ගොවිකම ඈරඹුණේ ආසනික් කතාව නිසා බව නොවෙයි. ඒ ගැන එයට කලින් බොහෝ දෙනකු කතාකර තිබුණා. ඒත් ආසනික් කතාවත් සමග එය සමාජයට කා වැදුණා.

අද ජාතික හෙළ උරුමය වස විස නැති ගොවිතැනත් ගසා කෑමට පටන් අරන්. විශාල වශයෙන් ආණ්ඩුවේ මුදල් වියදම් කරමින් ඔවුන්ගේ ප්‍රධානීන් හා උපදේශකයන් වස විස නැති ගොවිකම ගැන කීමට ගමෙන් ගමට යනවා. ඔවුන් කියන එක් කරුණක් වී තිබෙන්නේ කෘවරෝගයට මහින්ද රාජපක්‍ෂ වගකිව යුතු බවයි. මෙහෙමත් දේශපාලන කුඩුකේඩුකමක් තවත් ඇතැයි මා හිතන්නේ නැහැ. ආසනික් හා වෙනත් වස සහිත කෘෂිරසායන ලංකාවට ගෙන්වීම පටන්ගත්තේ මහින්ද නෙවෙයි. කෘවරෝ ආරම්භය වුවත් මහින්ද බලයට පත්වීමට පෙර සිදුවූවක්.

ඒ කෙසේ වෙතත් කෘවරෝගයට පමණක් නොවෙයි අද බොහෝ අසනීපවලට වරදකරුවා බටහිර දේශපාලන, සංස්කෘතික හා ආර්ථික යටත්විජිතවාදයයි. ඒ සමග ඇති බටහිර විද්‍යාවයි. බටහිර විද්‍යාව බටහිර චින්තනයෙන් වෙන් කරන්න බැහැ. බටහිර ක්‍රමය අනුව වෙන් කිරීම ප්‍රධාන තැනක් ගත්තත් මේ සියල්ල එක සමස්තයක්. බටහිර විද්‍යාව තාක්‍ෂණයෙන්වත් වෙදකමෙන්වත් සංගිතයෙන්වත් කලාවෙන්වත් සංස්කෘතියෙන්වත් රාජ්‍යයෙන්වත් වෙන් කරන්න බැහැ. ඒ සියල්ල සිදුවන්නේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි. ඒ ඒ රටවල, ප්‍රාන්තවල, පල්ලිවල, විශ්වවිද්‍යාලවල,  සුළු සුළු වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒත් මූලික වශයෙන් එකඟත්වයක් තිබෙනවා. අනාගමික රාජ්‍ය කියන එක අප රැවටීම සඳහා බටහිර උගතුන් ගොතා ඇති තවත් පට්ටපල් බොරුවක් පමණයි. රාජ්‍යය සංස්කෘතියෙන්වත්් අද ලෝකයේ සංස්කෘතින් බොහෝමයක් ආගමෙන්වත් වෙන් කරන්න බැහැ.

අපත්, විශේෂයෙන් බටහිර උගත්කම ආභරණයක් ලෙස සලකන පඬියන්, ජීත්වන්නේ ප්‍රධාන වශයෙන් ම යම් බටහිර සංස්කෘතියක. අප සිංහල බෞද්ධ සංස්කෘතියක ජීවත්වන්නේ නැහැ. අප එහි හිතන්නේ නැහැ. අප පන්සල් යන එකෙන් අවුරුදු උත්සව පවත්වන එකෙන් අපේ කම රකිනවා කියා අප රවටා ගන්නවා. අපට බටහිර සංස්කෘතියේ, චින්තනයේ හිතන්නත් බැහැ. ඒ නිසා අප අනුකරණය කරනවා. බුදුදහම විද්‍යාත්මක යැයි කීම විද්‍යාත්මක ක්‍රමය අනුව ඔප්පුකළ යුතු යැයි කීම මගින් පෙන්වන්නේ අපේ දීන අනුකාරකත්වයයි. සිංහල බෞද්ධ සංස්කෘතිය අද අපට ආභරණයක් පමණයි. 

බටහිර ආධිපත්‍යය අපට ද බලපෑවා. කෘවරෝගයට හේතුව ආසනික් ජලය හා පස කියා ඔප්පු කරන්නට අපට ඊනියා උගත් සමාජයෙන් ඉල්ලීමක් තිබුණා. දෙවියකු හෝ භූතයකු හෝ කීවා යැයි කී පමණින් එය පිළිගැනීමට ඊනියා උගත් සමාජය සූදානම් නැහැ. අප කැලණිය කණ්ඩායම ලෙස පරයේෂණ කෙළේ ඒ සඳහායි. එහෙත් ඊනියා විද්‍යාඥයන් බොහෝ දෙනකු විද්‍යාවේ දර්ශනය දන්නේ නැහැ. බටහිර විද්‍යාවේ කෙරෙන්නේ කතන්දර ගෙතීම. එහි දී අදහස් එන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් නොවෙයි. කාබනික රසායනික විද්‍යාවේ බෙන්සීන් අණුව පිළිබඳ අදහස කෙක්‍යුලේට ලැබුණේ සිහිනයෙන්. නිවුවටන්ට ගුරුත්වකර්ෂණ බලය පිළිබඳ අදහස ලැබුණේ කෙසේ දැයි ඔහු කියා නැහැ. ෂ්රෝඩිංගර්ට ක්වොන්ටම් යාන්ත්‍රිකයේ තමාගේ නමින් ඇති සමීකරණය ලැබී ඇත්තේ බිරිය නොමැතිව පෙම්වතියක් සමග ඇල්ප්ස් කඳුවැටියේ නිවාඩුවක් ගත කරද්දී. මෙරට විද්‍යාඥයන්ට මා මේවා කිහිප වතාවක් ම කීවා. කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ මණ්ඩල රැස්වීම්වලත් කීවා. පත්තරවලට ලිවුවා. කාලෝ ෆොන්සේකා නම් ඒ පිළිබඳ එකඟ වූවා. එහෙත් අති විශාල බහුතරයක් මා කියන දේට ඇහුම්කන් දුන්නේවත් නැහැ. කෙක්‍යලේගේ බෙන්සීන් අණුව දැනගත්තත්, ඔහුගේ සිහිනයේ වටිනාකම නොදන්නා ඊනියා විද්‍යාඥයන් අපේ පර්යේෂණවලට විරුද්ධ වූවා. 

එලෙස පර්යේෂණ මගින් අපේ අදහස් ඔප්පු කරන්න ඕන වෙන්නෙ නැති දවසක් ඒවි. ඒක බොහොම දුරින් තිබෙන දවසක්. අද අපට තවමත් දෙවියන් භූතයන් ඉන්න බව, නිවන ඇති බව (නිවන කියා එකක් පවතින්නේ නැහැ. නිවන් අවබෝධයක් ගැන නම් අපට කියා දෙනවා), විද්‍යාත්මක ක්‍රමයට පෙන්වන්න කියනවා. බටහිර විද්‍යාව කියන්නේ දැනුම නිර්මාණය කරන එක ක්‍රමයක් පමණයි. එය එකම ක්‍රමය කියා හිතන්නේ දීන අනුකාරකයන්. ඔවුන්ට ජාතිකත්වයක් නැහැ. (මතු සම්බන්ධයි) 


මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)



නලින් ද සිල්වා

2016 අගෝස්තු 07