Main Logo

Tuesday 9 August 2016

වකුගඩුව පක්‍ෂ දේශපාලනයට ලක්කිරීම 6

වකුගඩුව පක්‍ෂ දේශපාලනයට ලක්කිරීම 6

අප එකිනෙකා කණ්ඩායමක් ලෙස ක්‍රියා නොකරන බව මා ඊයේ කීවා.මෙහි දී තවත් කරුණක් කිව යුතුයි. මනුෂ්‍ය නොවන  ප්‍රාණීන්ගෙන් දැනුම ලබා ගැනීමේ දී ද අප පරෙස්සම් විය යුතුයි. මේ ප්‍රාණීන් බොහා් විට භූතයන්. ඔවුන් ද පෘථග්ජන බව මා කියා ඇති. ඔවුන් අතින් වැරදි සිදුවනවා පමණක් නෙවෙයි. ඔවුන් හිතාමතාත් වැරදි කරනවා අප නොමග යැවීමට. අප ඔවුන් කියන දේ ගැනත් නිතර පරීක්‍ෂාවෙන් සිටිය යුතුයි. මා පොදුවේ බටහිරයන්ගෙන් හා විශේෂයෙන් බටහිර විද්‍යාවෙන් ඉගෙන ගත් දෙයක් තමයි ස්වයං ප්‍රතික්‍ෂෙප කිරීම හා කළමනාකරණය. ඒ ගැන අපි පසුව විස්තරාත්මක ව කතාකරමු.

     
කෘවරෝව දේශපාලනීකරණයට ලක්කෙළේ හා ලක්කරන්නේ ජාතිකත්වය ද දේශපාලනයට ලක් කරන්නන්. ඔවුන් බලය ලබාගැනීමට ජාතිකත්වය යොදා ගන්නවා. ඔවුන්ට බලය මිසක් වෙනත් දෙයක් අවශ්‍ය නැහැ. ප්‍රතිකාර සම්බන්ධයෙන් ද ඔවුන් ක්‍රියා කෙළේ එසේමයි. හෝමියෝපති වෙදකමින් කෘවරෝගය සුව කළ හැකි බව වරක් පැවසුවා. එයින් සිදු වූ සෙතක් නැහැ. ඒත් ජනමාධ්‍ය එයට ප්‍රචාරය දුන්නා. අපටත් බොහොම ඉස්සර දිවයින බදාදා අතිරේකය වගේ ම ඉරිදා දිවයිනත් ප්‍රචාරයක් ලබා දුන්නා. ජාතිකත්වය සමාජයට ගෙන යෑමට ඒ පුවත්පත් බොහොම උපකාර වුනා. එත් මා අත්දැකීමෙන් දන්නා කරුණක් තමයි ඒ ඒ අයගේ ජාතිකත්වයට සීමා තියෙන බව. ඉතා වැඩි දෙනකු නූතනත්වයේ සිරකරුවන්. ඔවුන්ගේ ජාතිකත්වය තමන් නූතනත්වයේ කෙතරම් දුරට සිරකරුවන් ද යන්න මත සීමාවෙනවා. අප ජාතිකත්වයට හානියක් නොවන විධියට නූතනත්වයේ යම් යම් දේ යොදා ගත්තාට කමක් නැහැ. ඒත් එහි සිරකරුවන් විය යුතු නැහැ. බුදුදහම බටහිර විද්‍යාත්මක කරන්න උත්සාහ ගන්නේ ද නූතනත්වයේ සිරකරුවන්. මේ සමහර දෙනකු පුනබ්භවය පංචෙන්ද්‍රිය ගෝචර නැහැයි කියා ඒ පිළිගන්නේ නැහැ. ඒත් ඔවුන් ද ජාතිකවාදීන් ලෙස පෙනී සිටිනවා. බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කීවා ම ජනමාධ්‍යවල ඉන්න ජාතිකවාදීන් අප සමග ගනුදෙනු කරන්න කැමති වුනේ නැහැ.

කෘවරෝගයට ප්‍රතිකාරයක් බටහිර වෛද්‍ය විද්‍යාවේ නැහැ. ලේ කාන්දුකරණය ප්‍රතිකාරයක් නෙවෙයි. ඒත් ආණ්ඩුවත් ජනමාධ්‍යත් ඒ ගැන ලොකු ප්‍රචාරයක් දෙනවා. දේශපාලන සිහින මවන්නකු ඉන්දියාවෙන් ලේ කාන්දුකරණ යන්ත්‍ර ගෙන්වීමට විරුද්ධ වෙලා. අප ඉන්දියාවට යටත්වීමට කොන්දේසි විරහිත ව විරුද්ධ විය යුතුයි. ඒත් ඉන්දියාව නැතිව වෙනත් රටකින් ඒ යන්ත්‍ර ගෙන්වූ පමණින් කෘවරෝගීන් සුවපත් වෙන්නේත් නැහැ. මේ රෝගයට අපේ වෙදකමේ ප්‍රතිකාර තිබෙනවා. මා එය පෞද්ගලිකව ම දන්නවා. අපේ භාෂවෙන් කියනවා නම් අත්දුටුවයි, ප්‍රත්‍යක්‍ෂයි. 

මා වෙදකම් ගන්න නිකවැරටියේ සරත් කෝට්ටෙයාවත්ත තරුණ වෙදමහතා සමග මා මේ සම්බන්ධව කතා කළා. අප අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චියේ සාලිය පුර පන්සලක් තෝ්රාගෙන කෘවරෝගීන්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කළා. ඒ පන්සල අපට හඳුන්වා දුන්නේ චින්තක විජයවර්ධන බටහිර වෛද්‍යවරයා. අපේ වෙදකමේ ශක්තිය හා අගය ගැන දන්නා බටහිර  වෛද්‍යවරු ඉන්නවා. මෙරට බටහිර වෛද්‍ය සභාව ඒ නිසා ඔවුන්ට දඬුවම් කරයි ද දන්නේ නැහැ. ඒ කොහාම වෙතත් අපේ වෙදකමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබුණා. අප රෝගීන්ට නොමිළේ බෙහෙත් ලබා දුන්නා. මුල දී මාත් සති දෙකකට වරක් සරත් වෙද මහතා සමග මහවිලච්චියට ගියා. මාස අටකට විතර පස්සෙ මගේ ගමන සති හතරකට වරක් පමණක් වුනා. ඒත් සරත් වෙදමහතා දිගට ම සති දෙකකට වරක් ගියා. අවුරුද්දකින් විතර රෝගීන්ට සෑහෙන සුවයක් ලැබුනා. ඒත් කිසිම ජනමාධ්‍යයකින් ඒ ගැන ප්‍රචාරයක් ලැබුනේ නැහැ. වරක් මා එක්තරා රුපවාහිනී නාළිකාවක අයකු මහවිලච්චියට එක්කරගෙන ගියා. එත් ඔහු කිසිම දෙයක් වාර්තා කෙළේ නැහැ. ඒ නාළිකාව තමන් පැවැත්වූ බටහිර වෛද්‍ය සායනවලට නම් පුළුල් ප්‍රචාරයක් දුන්නා. ඔවුන් කෘවරෝගීන් සනීප වී ඇති බවට බටහිර වෛද්‍ය සහතික ඉල්ලා හිටියා. 

ආණ්ඩුවෙනුත් සහායක් ලැබුනේ නැහැ. වරක් විශේෂ ව්‍යපෘති ඇමති හා උතුරු මැද පළාත් සභාවේ මහඇමතිත් අපේ වෙදකම බලන්න පන්සලේ වෙදගෙදරට ආවා. අප ජංගම වෙදගෙවල් ඇතිකර වෙදමහතුන් ඒ එ ප්‍රදේශවලට එක්කර ගෙන ගොස් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ සැලැස්මක් ද ඔවුන්ට ඉදිරිපත් කළා. ඒත් වැඩක් වුනේ නැහැ. පසුව අප ව්‍යපෘති අමාත්‍යාංශයේ ලේකම් විජේරත්න සකලසූරිය මහතා හා වයඹ පළාත් සභාවේ සෞඛ්‍ය ඇමති හේරත් මහතා එකතුව වයඹ පළාතේ වෙදමහත්වරුන් සමග එ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වූවා. එහි දී චන්න ජයසුමන මහතා අපට ආධාර කළා. ඒ ජංගම වෙදගෙවල් සංකල්පය ආශ්‍රිත වැඩ පිලිවෙළ අඩු තරමේ වයඹ පළාතේ ක්‍රියාත්මක කිරීමට හැකි යැයි අප සිතුවා. ඒත් ආණ්ඩුව පැරදුනා. විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශය අක්‍රීය වුනා. යහපාලනය නිසා අපේ වැඩ පිළිවෙළ ඉදිරියට ගියේ නැහැ. වත්මන් සෞඛ්‍ය ඇමති ඒ ක්‍රියත්මක කිරීම ගැන ගැන මට විශ්වාසයක් නැහැ. ඔහු කුමාර් රූපසිංහගේ ජනවේග කල්ලියේ හිටපු ව්‍යාජ සමාජවාදියෙක්. 

කෘවරෝගයට ප්‍රතිකාර නැති බටහිර වෙදකමේ පිහිට පතන්නේ නැතිව (බටහිර වෙදකම මුළුමනින් ම ප්‍රතික්‍ෂෙප කිරීමක් නොවෙයි)  අපේ වෙදකමට හැරෙනවා නම් රෝගීන් සුවපත් කළ හැකියි. බටහිර වෙදකමට ආණ්ඩුව වෙන්කරන මුදලින් අංශු මාත්‍රයක් අපේ වෙදකමට වියදම් කරනවා නම් කෘවරෝගය සුවකළ හැකියි. මොන තරම් ලේ කාන්දුකරණ යන්ත්‍ර ගෙනාවත් රෝගීන් මිය යනවා. කෘවරෝගයෙන් මිය යන සංඛ්‍යාව අද තවත් දත්තයක් පමණක් බවට පත්වෙලා. ඒ අතර දේශපාලනඥයන් හා දේශපාලන සිහින මවන්නන් කෘවරෝගය දේශපාලනීකරණයට ලක්කරනවා.  ජනමාධ්‍ය පඬියන් බොරු මානව හිතවාදී කතා කිය කිය ගුවන් කාලය පුරවනවා. එක් ජනමාධ්‍යයක් පසුගිය දා අනගාරික ධර්මපාලතුමා ගැන කීවේ අනගාරික ධර්මපාල මහතා ලෙසයි. පඬියන්ට නම් එතුමා ධර්මපාල පමණයි. ධර්මපාල මහතා ගැන කතාකරන අයට කෘවරෝගය තවත් සංදර්ශනයකට මාතෘකාවක් පමණයි. එය දේශපාලනඥයන්ට නම් වේදිකා දෙදරවීමට හා තම ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට ලැබුණු අවස්ථාවක් පමණයි. 



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)


නලින් ද සිල්වා

2016 අගෝස්තු 09