Main Logo

Friday 3 April 2020

සුමන්තිරන් මොකාට ද එන්නෙ

 සිංහල ලිත් ඉලක්කම්


සුමන්තිරන් මොකාට ද එන්නෙ 




කොරෝනාවට විරුද්ධ ව අද සියලු කටයුතු මෙහෙයවන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. විවිධ කමිටු තියෙන්න පුළුවන්. ඒ කමිටුවල සභාපතිවරුන් සාමාජිකයන් ඉන්න පුළුවන්. එහෙත් අවසානයේ තීරණ ගැනෙන්නේ ජනාධිපති දැනුවත්ව ය කියා මා විශ්වාස කරනවා. ඒ මගේ විශ්වාසයයි. එහෙත් මට හූණ කියන්න වගේ කියන්න පුළුවන් මොකක් හරි වැරදිලා ගියොත් එයට වරදකරුවා වන්නේ ජනාධිපති!


අද සෞඛ්‍ය ඇමතිණිය ජනතාව ඉදිරියේ පෙනී සිට රජයේ වැඩ කටයුතු සැලසුම් ඉදිරිපත් කරන්න ඕන. එහෙමත් නැත්නම් ඇය සමග සුදුසු ඇමතිවරයකු ඒ කාර්යය සඳහා යොදවන්න ඕන. අවාසනාවකට රජය ගන්නා තීරණ ජනමාධ්‍යයෙන් ඉදිරිපත් නොවෙන බවක් පේන්න තියෙනවා. හමුදාපතිතුමා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන සෞඛ්‍ය අධ්‍යක්‍ෂ අනිල් ජාසිංහ කරන කියන දේ අපට පේනවා ඇහෙනවා. ඔවුන් නිදි මරා ගෙන තම කාර්ය මණ්ඩල සහාය කරගෙන කරන සේවය අතිවිශිෂ්ටයි. ඒත් ඒ සියල්ල සිදුවන්නේ රජයේ මෙහෙයවීමෙන්. අප ඒ ටිකත් දැන ගන්න ඕන. 

පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් සහ සිංහල විරෝධී දේශපාලනඥයන් කියන කිසිවක් තුට්ටුවකට මායිම් කරන්න ඕන නැහැ. ඔවුන්ට අවශ්‍ය නොවැම්බර් 16 වැනි දා දුන් ජනතා තීන්දුව අවලංගු කරන්නයි. ඔවුන් පාර්ලිමේන්තුව කැඳවන්න කියනවා. සියලු පක්‍ෂ එකතු කරගෙන වැඩ කරන්න කියනවා. ඔවුන් එසේ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි පහළ වූ කරුණාවකින් නො වෙයි. ආණ්ඩුව කර ගෙන යන වැඩ පිළිවෙළ කඩාකප්පල් කරන්නයි. සියලු පක්‍ෂ ඊයේ පෙරේදා වන තුරු ඉදිරිපත් කළ අදහස් මොනවා ද?

සුමන්තිරන් ඊයේ වන තුරු කියා ඇත්තේ කුමක් ද? අර යාපනයට ස්විට්සර්ලන්තයෙන් පැමිණි දේවගැති ගැන ඔහු කිසි දෙයක් කිව්වේ ද? ෆිලඩෙල්ෆියා (ඇමරිකන් නමක්. මෙහි ඉතා දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. මෙරට දෙමළ ජාතිවාදය ඇරඹුවෙ දේවගැතිවරු, මිෂනාරිවරු) දේවස්ථානයේ දේව මෙහෙයට සහභාගි වුවන් ගැන සුමන්තිරන් හරි දෙමළ ජාතික සංධානය හරි කර ඇත්තේ කුමක් ද? ඒ සම්බන්ධයෙන් ඔවුන් දැක් වූ අදහස් කවරේ ද? ෆිලඩෙල්ෆියා කියන්නෙ 1776 දී ඇමරිකන් නිිදහස් ප්‍රකාශනය අත්සන් කරපු තැන. ඒක වැදගත් නගරයක්. මාත් ඒක බලන්න ගිහින් තියෙනවා. එහෙත් දැන් බලන කොට ෆිලඩෙල්ෆියා ලංකාවෙ වැඩ කරල තියෙන්නෙ අපේ නිදහසට විරුද්ධ ව. ඒ නගරය පිහිටා තියෙන පෙන්සිල්වේනියා ප්‍රාන්තයෙ කොවිඩ් 19 තත්වය බලන්න නම් මට බැරි වුණා. 

අනෙක් අතට ජ වි පෙ මුල දී කෙළේ හමුදාපති විවේචනය කිරීම හා හමුදා රාජ්‍යයක් ගැන කීමයි. ඔවුන් පිලිපීනයේ ජීවත් නොවීම ගැන ස්තුති කළ යුත්තේ කාට ද? අද ඔවුන් කියන්නේ තම අදහස් ක්‍රියාත්මක කෙළේ නම් මේ තත්වය උද්ගත නොවන බවයි. අනේ කාලේ වනේ වාසේ! 

කාටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටත් කියන්න පුළුවන් එකිනෙකාගෙන් හැකි තාක් වෙන් වී සිටින්න කියා පමණයි.  මා ලොකු වචන ප්‍රිය කරන්නේ නැහැ. සමාජ දුරස්ථතාව වැනි වචන තේරෙන්නේ මොන මළ යකාට ද? මේක මළ යකුන්ගේ කොහොම වෙතත් අමනුෂ්‍යයන්ගේ වැඩක්. අවුරුදු පන්සීයක් තිස්සේ බටහිර ආධිපත්‍යයට යට වී ඝාතනය කෙරුණු අමනුෂ්‍යයන්ගේ වැඩක්. තවම කිසිම බටහිර විිද්‍යාඥයකු  කියා නැහැ කොවිඩ් 19 නිර්මාණය වූයේ කෙසේ ද කියා. එය මෙතරම් ඉක්මණින් පැතිර යන්නේ ඇයි? මෙරට බටහිර වෙද මහත්තුරුන්ට මේවාට උත්තර නිර්මාණය කරන්න බැහැ. ජෝන් හොප්කින්ස් මොනව හරි කියල තියෙනවා ද කියල නිවාඩුවක් තියෙන වෙලාවක අන්තර්ජාලයට ගිහිල්ල බලන්න ඕන.

ඇමරිකාව මුලදි ම වැඩේ අත්හැරිය. ට්‍රම්ප් දැන් කියනවා ලක්‍ෂයක් හමාරක් තම රටේ මිය යාවි කියා. මා හිතන්නේ ඔවුන්ටත් යම් අවවාද ලැබෙනවා කියා. ඔවුන්ගෙ දෙවිවරුන්ට මේ කොවිඩ් පැතිරීම ගැන කිසිම අදහසක් නැහැ. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය වක්‍ර ඇඳ ඇඳ ඉන්නවා. ඒ වක්‍ර අර ලක්‍ෂය මිය යෑම සමග ගැලපෙනවා. මට මතක හැටියට ට්‍රම්ප් වැඩේ අත්හැරියෙ වක්‍ර අඳින්න ඉස්සෙල්ලා. 

අපට යම් යම් විසඳූම් තියෙනවා. මා කියන්නෙ අර ඊනියා සමාජ දුරස්ථතාව ගැන පමණක් නො වේ. අපට මුළු රට ම එක ම පිරිත් මණ්ඩපයක් බවට පත් කරන්න පුළුවන්. ඒ සඳහා ජනතාව රැස් වෙන්න ඕන නැහැ. සංවිධානය කරන්න අගමැති මහින්ද රාජපක්‍ෂ යටතෙ අමාත්‍යාංශයක් ම තියෙනවා. ජ වි පෙ ඒකට එනවා ද? හා ද? සුමන්තිරන් හා සජිත් මොකද කියන්නෙ. අපි ඔක්කොම එකතු වෙලා ඒ වැඩේ කරමු ද? ඒකෙ නායකත්වය රජය ගන්න ඕන. වෙන කවුරු එනව ද කියන එක ප්‍රශ්නයක් කර ගන්න ඕන නැහැ.

පඬියන්ට පඬි පෝතකයන්ට පඬි නැට්ටන්ට මොකක් ද යෝජනා කරන්න පුළුවන්. කවුරු හරි බටහිර උගතකු බුද්ධිමතකු ඒ ගැන මොකුත් කියල තියෙනවා ද?  ඇඳිරි නීති තවත් තද කරන එක ද? මා එහි වරදක් දකින්නේ නැහැ. මා හිතන්නේ දැනටමත් කෙරී ඇති පරිදි පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය (මොන විකාර වචන ටිකක් ද? ඒ නිසා වෙන්න ඇති මිනිස්සු එස්ටීඑෆ් කියන්නෙ) තව තවත් යොදවන්න ඕන. පඬි නැට්ටන් මානව අයිතිවාසිකම් ගැන කතා කරන්න ඉඩ තියෙනවා. 

ඒ අතර ව්‍යවස්ථාවෙ මෙහෙම වගන්තියකුත් තියෙනවා. එයත් කියව ගත්තොත් හොඳයි. "15 (1) 13 වැනි ව්‍යවස්ථාවේ (5) වැනි සහ (6) වැනි අනුව්‍යවස්ථාවලින් ප‍්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේ ද, ක‍්‍රියාත්මක විය හැක්කේ ද, රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරිම පිණිස නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට පමණක් යටත්ව ය. මෙම අනුව්‍යවස්ථාවේ කාර්ය සඳහා ‘නීතිය’ යන්නට මහජන ආරක්ෂාව පිළිබඳව තත් කාලයේ අදාළ වන නීතිය යටතේ සාදන ලද නියෝග ද ඇතුළත් වන්නේ ය."

ජන ආරක්‍ෂක පනත යටතේ හදිසි තත්වයක් ප්‍රකාශ කර පාර්ලිමේන්තුව කැඳවා අදාළ නීති ක්‍රියාත්මක කිරීමට ද සුමන්තිරන් කියන්නේ. එහෙම නැත්නම් වෙනත් දෙයක් ද? හැකි ඉක්මණින් පැහැදිලි කරන්න. ඇත්තේ හදිසි තත්වයක් නම් පරක්කු වෙන්න බැහැ. පඬියන් මේකට මොනව කියාවි ද යන්න ප්‍රශ්නයක් නොවෙයි. ඔවුන්ට වැඩිම වුණොත් කියන්න පුළුවන් මේ නලියගෙ ෆෑසිස්ට්වාදය කියල.