Main Logo

Thursday 16 April 2020

කොවිඩ් 19 වැළඳුණු මැතිවරණ කොමිසම

  සිංහල ලිත් ඉලක්කම්


කොවිඩ් 19 වැළඳුණු මැතිවරණ කොමිසම 



අද විපක්‍ෂයට ඇත්තේ එක ම එක වුවමනාවක් පමණයි. ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාව, පරමාධිපත්‍යය  ආදී මොන වචන කිවුවත්  ඔවුන්ට අවශ්‍ය පරණ පාර්ලිමෙන්තුව  නැවත කැඳවා ගැනීමත් එය අගෝස්තු මාසය තෙක් පවත්වාගෙන යෑමත්. සජිත්ගේ පක්‍ෂයටත් රනිල්ගේ පක්‍ෂයටත් රනිල්දාසගේ පක්‍ෂයටත් හකීම්ගේ පක්‍ෂයටත් බද්‍යුද්දීන්ගේ පක්‍ෂයටත් සුමන්තිරන්ගේ පක්‍ෂයටත් අවශ්‍ය එක ම දේ එයයි. එ සඳහා ඔවුන් නොකරන දෙයක් නැහැ. මැතිවරණ කොමිසමට ලියුම් යවනවා මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරනවා. ඒත් වැඩක් නැහැ. 


ඔය පාර්ලිමේන්තුව කල් ඉකුත් වූවක්. පසුගිය ජනාධිපතිවරණයේ ජනතා අභිලාෂය නැත්නම් මහජන කැමැත්ත පැරණි පාර්ලිමේන්තුවෙන්  නිරුපණය වෙන්නේ නැහැ. කොවිඩ් 19න් පස්සෙ කොහොමටවත් නැහැ. මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට විශ්‍රාම වැටුප පිළිබඳ ප්‍රශ්නය ඇති. එහෙත් අද විපක්‍ෂ නායකයන්ට ඕන කරන්නෙ අලුත් පාර්ලිමේන්තුව සඳහා භාර දුන් නාම යෝජනා අවලංගු කරවා ගැනීම. ඔවුන් දන්නවා සජිත් රනිල් හා රනිල්දාස වෙන ම ඉල්ලීමෙන් වෙන ප්‍රතිඵලය. ඔවුන්ට අලුතෙන් නාම යෝජනා පත්‍ර භාරදීමට අවශ්‍ය වෙලා තියෙනවා. මොන විධියට නාම යෝජනා දුන්නත් විපක්‍ෂයට අත්වන්නේ පරාජය හා පරාජය ම පමණයි. 

ඔය කඳවුර සිංහල විශේෂයෙන් ම සිංහල බෞද්ධ විරෝධී කඳවුරක්. එය බෝන් අගේන් කඳවුරක්. රන්ජන් රාමනායකලාගේ කඳවුරක්. රන්ජන්ගේ නීතිඥයා සුමන්තිරන්. ඔහු මෙරට මෙතෝදිස්ත පල්ලියේ නායකයෙක්. එහෙත් මෙතෝදිස්ත පාසලක් වූ වෙම්බඩි බාලිකා පාසලේ අයට ඔහු ගැන ඇත්තේ හොඳ හැඟීමක් නො වෙයි. සුමන්තිරන් රන්ජන්ට කිව්වලු පොලීසියෙන් පැමිණියේ වරෙන්තුවක් සමග ද කියා. ඕනෑම අත්අඩංගුවකට වරෙන්තු ඕන ද? 

මැතිවරණ කොමිසම පහුගිය ආණ්ඩුව කාලෙ පිහිටුවපු එකක්. එයට සාමාජිකයන් නිර්දේශ කෙරුණෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින්.  එහි එකල සංයුතිය යහපාලනයට හිතවත් අයගෙන් සමන්විත වුණා. කිසිම කොමිසමක් ස්වාධීන නැහැ. එහි සාමාජිකයන් පත් කෙරෙන්නෙ ස්වාධීන ක්‍රමයකට නො වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට දේශපාලන මතිමතාන්තර තියෙනවා. මැතිවරණ කොමිසම ස්වාධීන ද කියල හූල්ගෙන් අහන්න ඕන. හූල් තාම යාපනයේ කොටුවෙලා ද? ඔහු එහේ ඉඳන් නිවේදන නිකුත් කරනවා ද? 

ඒ නිවේදන මොනව වුණත් ජනාධිපති දැන් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නත් අලුත් පාර්ලිමේන්තුව කැඳවන්නත් දින නියම කරලා. ජාතික සංවිධාන වෙනුවෙන් කතා කිරීම තම අයිතිය ලෙස හිතන දත් දොස්තරවරු (දත් වෙදමහත්වරු) මහා මැතිවරණය පැවැත්වීම ගැන ඊනියා මාර්ග සිතියම් ප්‍රකාශ කරනවා. ඔවුන් කරන්නෙත් දෙබිඩි රංගනයක්. බටහිර වෙදමහත්වරුන්ගෙ වෘත්තීය සංගමයෙ සභාපති ආණ්ඩුව සමග ඉන්න බව පෙන්නන අතරෙ එහි සාමාජිකයන් ජෝන් හොප්කින්ස් වක්‍රවලින් ආණ්ඩුවට ගහනවා. දත් වෙදමහත්වරුත් ඒ වගේ වැඩක් කරනවා. පක්‍ෂ නායකයා එකක් කියද්දි ඊනියා ජාතික සංවිධාන තවත් එකක් කියනවා. 

මාර්ග සිතියමේ උතුර දකුණ මාරුවෙනවා. මාලිමාව මතක ද? අපි එය පැත්තකට දමමු. මැතිවරණය ගැන කරන්න තියෙන්නෙ මොකක් ද. හරි සරල දෙයක්. මැතිවරණ දිනය වෙනස් කරන්න පුළුවන් මැතිවරණ කොමිසමට. ඒ මැතිවරණ පනත අනුව 24 (3) වගන්තිය යටතේ. ඒත් ඒකෙන් කියන්නෙ නැහැ මැතිවරණ කොමිසම හදිසි අවස්ථාවක දි දිනය වෙනස් කළ යුතු ම කියා. එකී වගන්තියෙන් කියැවෙන්නෙ දිනය වෙනස් කළ හැකිය කියා. මැතිවරණ කොමිසමට පරණ පාර්ලිමෙන්තුවවත් අලුත් පාර්ලිමේන්තුවවත් කැඳවන්න බැහැ.


දැන් හදිසි අවස්ථාවක් ඇති වෙලා. ඒ කොවිඩ් 19 නිසා. මැතිවරණ කොමිසම එක්කෝ මැතිවරණය අප්‍රේල් 25 තියන්න ඕන. නැත්නම් වෙන දිනයක තියන්න ඕන. 24(3) න් තමන්ට එහෙම කියන්න බලයක් නැති වුවත් කොමිසම කිව්ව අප්‍රේල් 25 මැතිවරණය පවත්වන්නෙ නැහැ කියල. මා 24(3) නැවත උපුටා දක්වන්නම්. 



"24(3) Where due to any emergency or unforeseen circumstances the poll for the election in any electoral district cannot be taken on the day specified in the notice relating to the election published under subsection (1), the Commissioner may, by Order published in the Gazette, appoint another day for the taking of such poll, and such other day shall not be earlier than the fourteenth day after the publication of the Order in the Gazette."


මැතිවරණ කොමිසමට නීතිය නවන්න බැහැ. මා මාර්ග සිතියම් කාරයන් කියන දේ පිළිගන්නේ නැහැ. මොකක් ඉස්සෙල්ල කරනව ද යන්න මැතිවරණ පනතේ වගන්ති සංඛ්‍යා පිළිවෙළ අනුව කෙරෙන්නක් නො වෙයි. එහෙත් මෙහි දී මැතිවරණ කොමිසම කරල තියෙන්නෙ මොකක් ද? හදිසි අවස්ථාවක දි (මෙය මහජන ආරක්‍ෂක පනත යටතෙ පනවපු හදිසි අවස්ථාවක් නො වෙයි. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155(4) යටතේ පාර්ලිමේන්තුව කැඳවීමේ අවශ්‍යතාවක් පැන නගින්නේ නැහැ. අද ඇත්තේ පොලිස් ඇඳිරි නීතියක් පමණක් බවත් මතක තියා ගන්න ඕන) මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීම සඳහා වෙනත් දිනයක් නියම කළ හැකියි. ඒ දිනය මැයි අගට පළමුව විය යුතුයි. එහෙත් ඔවුන් මෙතෙක් එසේ කර නැහැ. ඒ වෙනුවට මැතිවරණය අප්‍රේල් 25 වැනි දා නොපැවැත්වෙන බව පමණක් කියා තියෙනවා.

ප්‍රශ්නය වන්නේ මැතිවරණ කොමිසමට වෙනත් දිනයක් නියම නොකර මැතිවරණය අප්‍රේල් 25 නොපැවැත්වෙන බව ප්‍රකාශ කළ හැකි ද යන්නයි. එසේ කරන්නේ නම් ඒ මැතිවරණ පනතේ කිනම් වගන්තියක් යටතේ ද? හූල් තනියම හරි එය පැහැදිලි  කරාවි ද? තවමත් මැතිවරණ කොමිසමට මැයි අගට කලින් මැතිවරණය පැවැත්වීමට දිනයක් නියම කරන්න පුළුවන්. මෙහි දී මැතිවරණ පනතේ 10 වැනි වගන්තිය අදාළ වන්නේ නැහැ. ඒ වගන්තිය ජනාධිපති මුල්වරට දින නියම කරන විටයි. 

අද සම්පුර්ණ වගකීම ඇත්තේ මැතිවරණ කොමිසමට මිස පක්‍ෂ නායකයන්ට නො වෙයි. රන්ජිත් මද්දුම බණ්ඩාර මැතිවරණ කොමිසමට පක්‍ෂ නායකයන් කැඳවන්න කරන ඉල්ලීම කාලය හා ධනය කා දැමීමක් පමණයි. හුල් තාම ඇවිත් නැත්නම් ඔහු ගෙන්න ගෙන මැතිවරණ කොමිසම රැස්වෙලා කරන්නෙ මොකක් ද කියන එක තීරණය කරන්න ඕනෙ. 

මැතිවරණ කොමිසම මැයි ඉවර වෙන්න ඉස්සෙල්ල මැතිවරණයක් තිබ්බෙ නැත්නම් ජනාධිපති අවශ්‍ය දේ කරාවි. අවශ්‍ය නම් නුවර පෙරහැර කාලෙ මැතිවරණෙ පවත්වන්න පුළුවන්. එතකොට ජූනි 3 පාර්ලිමේන්තුව කැඳවීම. ඒක පස්සෙ බලා ගමු.  හැබැයි කීයටවත් පරණ පාර්ලිමේන්තුව කැඳවන එකක් නැහැ. කැඳවන්න ඕනෙත් නැහැ.