Main Logo

Sunday 12 April 2020

කොවිඩ් 19, පෞද්ගලිකත්වය හොයිල් හා වික්‍රමසිංහ

    සිංහල ලිත් ඉලක්කම්



කොවිඩ් 19, පෞද්ගලිකත්වය හොයිල් හා වික්‍රමසිංහ 



කොවිඩ් 19 ඉදිරියේ අසරණ ව ඉන්න බටහිර වෛද්‍ය විද්‍යාවෙන් හරි බටහිර විද්‍යාවෙන් හරි පොදුවේ බටහිර දැනුමෙන් හරි කොවිඩ් 19 ඇතිවුණෙ කොහොම ද කියල අහන එක ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනවා වගේ වැඩක්. අප බටහිර දැනුමට හා ඒ බිහිවුණු ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට අනුකම්පා කරන්න ඕන. ධනවාදයත් ඇති වෙලා තියෙන්නෙ මේ එකිනෙකා හා එකිනෙක වෙන් කරන ආත්මාර්ථකාමී චින්තනයෙ. අර එක්සත් රාජ්‍යයන්හි එක් කොවිඩ් රෝගියකුගේ අවසන් වචන වී ඇත්තේ මෙයට ගෙවන්නේ කවුද යන්නයි. ඔහුගේ අවසන් චිත්තය කෙබඳු එකක් වෙන්න ඇති ද? 


ලංකාවෙත් ඇත්තෙ මූලික වශයෙන් ගත්තම ධනවාදය. ඒත් ලංකාවෙ රෝගියකු අහන්නෙ නැහැ මෙයට කවුද ගෙවන්නෙ කියා. මේ ඊනියා සුභසාධන රාජ්‍යයක ලක්‍ෂණයක් නො වෙයි. මෙය සිංහල බෞද්ධ සංස්කෘතිය නිසා ඇතිවන්නක්. මෙය ඊනියා බෞද්ධ සමාජවාදයක් නො වෙයි. මාටින් ක්ගෙ සභ්‍යත්ව රාජ්‍යය මොකක් ද කියල දන්නෙ නැති අය මෙය සභ්‍යත්ව රාජ්‍යයක ලක්‍ෂණ හැටියට හඳුන්වන්න පුළුවන්. සිංහල බෞද්ධ රාජ්‍යයෙ ඊනියා බෞද්ධ සමාජවාදයක් නැහැ. එහෙත් අප අනෙකාගේ  (පඬියන් අනුකාරික ව කියන අනෙකා නොවෙයි) දුක සැප අපේ කරට ගන්නා ජාතියක්. 

අද ආණ්ඩුව කොවිඩ් 19 මර්දනය කිරීමට විශිෂ්ට සේවයක් කරනවා. ඒ සඳහා විවිධ අංශ එකතු වෙලා සාමූහික ව ක්‍රියා කරනවා. ඒ සියල්ලන්ට ම අපේ ප්‍රණාමය. මා නම් ඒ වෙනුවෙන් කිසිම දෙයක් කරල නැහැ. ඒ ගැන මා ලජ්ජා වෙනවා. ආණ්ඩුවත් මගෙන් කිසිම උදවුවක් ඉල්ලුවෙ නැහැ. මා වැඩක් කරන්න බැරි අයකු ලෙස සැලකුවා ද දන්නෙ නැහැ. ඒ කොහොම වෙතත් ආණ්ඩුව කළ කාර්යය ගැන ස්තුතිවන්ත වෙන්න ඕන. එහි දී අපේ සංස්කෘතිය විශාල වශයෙන් බලපෑවා. අන්තවාදී නොවන සාමූහිකත්වයට පෞද්ගලිකත්වයට මෙන් නොව විශාල කාර්යයක් කරන්න පුළුවන්. බටහිර රටවල් අසාර්ථක වී ඇත්තේ මේ පෞද්ගලිකත්වය නිසා. ධනවාදය ද පෞද්ගලිකත්වයේ ප්‍රතිඵලයක්.

කෙසේ වෙතත් භාණ්ඩ බෙදා හැරීම නම් එතරම් සාර්ථක මට්ටමක ක්‍රියාත්මක වන්නේ නැහැ. මෙය මධ්‍යගත ක්‍රමයක් අනුගමනය කිරීම නිසා සිදුවන්නක්. අප මුල සිට ම කීවේ භාණ්ඩ බෙදා හැරීමේ දී විමධ්‍යගත ක්‍රම අනුගමනය කරන්න කියා. එහෙත් කෙරුණේ නැහැ. ගමේ බඩු ගන්න පුළුවන් ගමේ කඩෙන්. එහි දී ග්‍රාම නිලධාරීන් සහභාගි කරගන්න පුළුවන්. අර රුපියල් පන්සීයේ දාහේ බඩු මලු ක්‍රමය සුළු ආදායමක් තියෙන අයට හරියන්නෙ නැහැ. ඔවුන්ට අතේ තියෙන මුදලින් තමන්ට අවශ්‍ය දේ පමණක් ගැනීමට ක්‍රමයක් තියෙන්න ඕන. බඩු මල්ලේ අනවශ්‍ය දේත් තියෙනවා. අනවශ්‍ය දේට වියදම් කරන්න මුදල් නැති අය ඉන්නවා.

සමෘද්ධිලාභීනට දීමනාවක් දීම හොඳයි. එහෙත් සමෘද්ධියට හිමිකම් නොකියන එදිනෙදා කීයක් හරි හොයාගත් අය ඉන්නවා. අද ඔවුන් අසරණ වෙලා. ඒ අය වෙනුවෙන් ඉක්මණින් ම යමක් කරන්න ඕන. ප්‍රායෝගික ව  වැඩ පිළිවළක් යෝජනා කරන්න පුළුවන් අය ඉන්නවා. ඔවුන්ගෙන් උපදෙස් ගන්න ඕන. සිංහලයන් ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල දක්‍ෂයන්. අද බිහිවෙන නව නිපැයුම් එයට තවත් පැත්තකින් සාක්‍ෂි එකතු කරනවා. 

අපේ පැරණි නිර්මාණ තක්‍ෂණිකයි. වෙදකම ද (බටහිර වෙදකම ද ඇතුළුව) තාක්‍ෂණික විෂයක්. වෛද්‍ය විද්‍යාව කී පමණින් බටහිර වෙදකම විද්‍යාවක් වන්නේ නැහැ. එහෙම හිතාගෙන ඉන්න අයත් ඇති. ඔවුන් දන්නේ කාලෝ ෆොන්සේකාගේ දහනවැනි සියවසේ බටහිර ඊනියා විද්‍යාත්මක ක්‍රමය. අර නැවත නැවත කරන්න පුළුවන් කියන කතාව අද බටහිර භෞතික විද්‍යාවට අදාළ වන්නෙ ම නැහැ. 

ෙසෙද්ධාන්තික ව නැත්නම් ප්‍රවාදාත්මක ව නම් අප ඉන්නේ පහළ මට්ටමක. අපේ ඊනියා විද්‍යාඥයන්ට, ශාස්ත්‍රඥයන්ට, දාර්ශනිකයන්ට ආදීන්ට කරන්න පුළුවන් බටහිරයන්ගේ කතන්දර (ප්‍රවාද) පුනරුච්චාරණය කිරීම පමණයි. ඔවුන් යමක් අලුතෙන් කීමත් අනුකරණයක් පමණයි. චන්ද්‍ර වික්‍රමසිංහ මේ සඳහා හොඳ ම උදාහරණයක්. 

ඔහු ෆ්‍රෙඩ් හොයිල්ගේ සිසුවෙක්. හොයිල් සුළු වශයෙන් ප්‍රධාන ධාරාවෙන් වෙන් වූ තාරකා විද්‍යාඥයෙක්. ඔහු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා ආයතනනය (Institute of Astronomy) ගොඩ නැගීමට මූලික වුණා. ඒ වන  විට සසෙක්ස් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා මධ්‍යස්ථානය (Astronomy Centre) ගොඩ නැගී තිබුණා. හොයිල් මහා පිපුරුම (Big Bang) විශ්වාස කෙළේ නැහැ. ඔහුට අනුව කාලය හා අවකාශය සමමිතික වෙන්න ඕන. විශ්වය අවකාශයෙහි එක ම විධියක් ගන්නේ නම් (මහා පිපුරුම එය පිළිගන්නවා) කාලයෙහි ද එක ම විධියක් ගන්න ඕන. ඒ නිසා මහා පිපුරුම කියන ආකාරයට විශ්වයට ආරම්භයක් තිබිය යුතු නැහැ. කවදා කොහේ සිට බැලුවත් විශ්වය එක වගේ පේන්න ඕන. 

මේ උපකල්පන මත පිහිටා හොයිල් සතත අවස්ථා විශ්වය (Steady State Universe) නිර්මාණය කළා. එහෙත් එසේ සතත ව විශ්වය පැවතීමට නම් විශ්වය ප්‍රසාරණය වීම හේතුවෙන් ඝනත්වය නියත ව තබා ගැනීම සඳහා නිරන්තරයෙන් ම ද්‍රව්‍ය නිර්මාණය වීය යුතුයි. ඒ සඳහා ඔහු C Field නම් ක්‍ෂෙත්‍රයක් හඳුන්වා දුන්නා. එහෙත් ඒ නිසා ශක්ති සංස්ථිතිය බටහිර විද්‍යවෙන් විසි වෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ වසන්ත කටුගම්පොළ ඊට බොහෝ කලකට පසු මේ සී ක්‍ෂෙත්‍රය වැන්නක් අයින්ස්ටයින් ඉදිරිපත් කළ විශ්වවේද නියතය (Cosmological Constant) විචල්‍යයක් බවට පත් කිරීමෙන් ලබාගත හැකි බව පෙන්නුවා. කුමුදුමලී ජයකොඩිගේ ප්‍රතිඵලත් වසන්තට ආධාරයක් වුණා.

හොයිල්ගේ සතත අවස්ථා විශ්වය ප්‍රධාන ධාරාවෙන් ඉවත් කෙරුණා. වසන්තට ලැබෙන ප්‍රතිචාරය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. වසන්තට විශ්වය ත්වරණයකින් ප්‍රසාරණය වන බවත් එයට ආරම්භයක් නැති බවත් විශ්වය සංකෝචනය වෙමින් ප්‍රසාරණය වෙමින් චක්‍රීය ව විකාශය වන බවත් පෙන්වන්න පුළුවන්. එමෙන් ම ඊනියා අඳුරු ශක්තිය (Dark Energy) ගැනත් කියන්න පුළුවන්. එහෙත් ප්‍රධාන ධාරාවට එය අල්ලන්නේ නැහැ.

හොයිල් ප්‍රධාන ධාරාවට පිටින් ගොස් ඉදිරිපත් කළ තවත් කතන්දරයක් වුණේ ජීවය උල්කාපත මගින් පොළොවට පැමිණි බවයි. බටහිර ජීව විද්‍යාඥයන් පොළොවේ ම ජීවය නිර්මාණය වූ බව පෙන්වීමට කැස කවද්දී හොයිල් ජීවය බාහිරින් පොළොවට පැමිණි බව කිවුවා. ඔහු ජීවයේ නිර්මාණය කෙසේ වූවා දැයි කීවේ නැහැ. ඔහු කෙළේ එය පොළොවෙන් එහාට තල්ලු කර දැමීමමයි. 

චන්ද්‍ර වික්‍රමසිංහ කරන්නේ කොවිඩ් 19ත් උල්කාපාත මගින් පොළොවට පැමිණි බව කීමයි. එ හොයිල් එහෙම පිටින් ම ගිලීමක්. වික්‍රමසිංහ ජීවය සම්බන්ධයෙන් හොයිල් සමග වැඩ කරල තියෙනවා. කොවිඩ් 19 එක තැනක නොව කිහිප තැනක සමගාමීව මෙන් ඇති වී තිබෙනවා. අර ශූන්‍ය රෝගියා (zero patient) කතාව හරි යන්නේ නැහැ. එසේ නොවීම වික්‍රමසිංහට හොඳයි. එහෙත් කොවිඩ් 19 පිටින් ආවා නම් එය හමුදා කඳවුරු හා පරක්‍ෂණාගාර අසළ ම මුලින් වැටුනේ කොහොම ද කියන එක තේරුම් ගන්න බැහැ. හොයිල් ජීවය අපිරිසිදු අයිස් (dirty ice)  තුළ පොළොවට ආවා කියලයි කිවුවෙ. වික්‍රමසිංහ සමහර විට කොවිඩ් 19 ගැනත් එහෙම කියනවා ඇති. 

අප නම් විශ්වාස කරන්නේ අමනුෂ්‍යයන් නාගයන්ගේ ආධාරයෙන් මෙය ඔය පරීක්‍ෂණාගාර හරහා කොවිඩ් නිර්මාණය කළා කියා. බටහිර ඇතැමුන් උරග වෛරසයක් ලෙස කොවිඩ් 19 හඳුන්වනවා. කොහොමටත් අපේ නිවේදකයන් තවමත් වූහාන් කොවිඩ් 19 හි තිඹිරි ගෙය ලෙස හඳුන්වනවා. එය වැරදියි. ඉතාලියේත් දකුණු කොරියාවේත් කොවිඩ් 19 ඇතිවූ බවට සාක්‍ෂි තියෙනවා. විස්තර සඳහා මේ සබැඳියට යන්න. http://www1.kalaya.org/2020/04/covid-19-targeting-italy-and-south.html. අපට පඬි නිවේදකයන් නිවැරදි කරන්න බැහැ. ඔවුන් සියල්ල දන්නවා.   

වික්‍රමසිංහ හරි යනවා කියා මා කියන්නේ නැහැ. එහෙත් ප්‍රධාන ධාරාවේ බටහිර විද්‍යාඥයන්ට කොවිඩ් 19 ගැන කිසි දෙයක් හිතා ගන්න බැහැ. මෙරට පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් සිහි විකල වී කියවන හැටි බලා ගන්න මුහුණු පොතට යන්න.