Main Logo

Monday 27 April 2020

කුරහන් සාටකය, කොවිඩ් හා මුට්ටි බිඳීම

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 




කුරහන් සාටකය,  කොවිඩ් හා මුට්ටි බිඳීම


කොවිඩ් 19 වැළඳී සුව වූ අයට නැවත වැළඳීමට ඉඩ ඇති බව බටහිර ඉන්න බටහිර වෙදමහත්වරු කියනවා. මෙරට බටහිර වෙදමහත්වරුන්ට ඒක ඊට පස්සෙ කියන්න පුළුවන්.  ඒ කියන්නේ එන්නතක් නිෂ්පාදනය කිරීම අසීරු වන බව ද? කොවිඩ් 19 ගැන බටහිර ඉන්න බටහිර වෙදමහත්වරුන්ට දැනුමක් නැති බව පැහැදිලියි. කොවිඩ් 19ට ප්‍රතිචාර දැක්වීම  අවුරුදු උත්සවවල දී කෙරෙන ඇස් බැඳ මුට්ටිය බිඳීම වැනි සෙල්ලමක් බවට පත් වෙලා. මෙවර අවුරුදු උත්සව නොතිබුණු නිසා මෙය කළාට කමක් නැතැයි මා කියන්නේ නැහැ. කොහොමටත් කොවිඩ් මුට්ටි බිඳීම කෙරෙන්නේ බටහිර. 


ඊනියා බටහිර විද්‍යාත්මක ක්‍රමයක් නැති බව කොවිඩ් 19 සම්බන්ධයෙනුත් පැහැදිලියි. බටහිර විද්‍යාවේ කෙරෙන්නේ මුට්ටි බිඳීම්. මුට්ටිය බිඳුනොත් වැඩේ හරි. අර ගීීයේ තියෙනවා වගේ නො වෙයි. එහි මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි. බටහිර විද්‍යාවෙ මුට්ටිය බිඳුනොත් ඔක්කොම හරි යන්නෙත් නැහැ. තාවකාලික ව වැඩේ හරි. තාම කොවිඩ් 19 මුට්ටිය බිඳිලා නැහැ. බටහිර විද්‍යාවෙ කෙරෙන්නෙ අප සාමාන්‍යයෙන් කරන වැඩේමයි. නැහැසුම් හා සෑහුම් (trial and error) ක්‍රමය. කරල බලනවා. හරි ගියොත් හරි වගේ ගන්නවා. 

ඊයේ මා කියා සිටියේ කොවිඩ් 19 රෝගියකු යනු කවුදැයි බටහිර වෛද්‍ය විද්‍යාවට කිව නොහැකි බව. පීසීආර් පරීක්‍ෂණයෙන් ධන බව පෙන්නුවත් ඇතැමුනට රෝග ලක්‍ෂණ නැහැ. වෛරසයක් මගේ ඇඟට ආ පමණින් මා රෝගියකු වෙනවා ද? වෛරසයක් ඇඟේ තියෙන අයකු අනිවාර්යයෙන් වාහකයකු වෙනවා ද? මා දන්නේ නැති නිසයි ප්‍රශ්න කරන්නේ. එහෙත් ප්‍රශ්න කරන්නේ පරෙස්සම් නොවිය යුතු බව කීමට නො වෙයි. අප හැකිතාක් පරෙස්සම් වෙන්න ඕන. හෙම්බිරිස්සාවක් හැදුණත් පරෙස්සම් වෙන්න ඕන. කොවිඩ් සම්බන්ධයෙන් එමෙන් සිය දහස් වරක් පරෙස්සම් වෙන්න ඕන. 

බොහෝ දෙනා නොදැන සිටි නිරෝධායන පනතක් (ආඥා පනතක් - Ordinance) නින්දෙන් නැගිටලා. එය 1898 ඉංගිරිසින්ගෙ ආඥා පනතක් බවයි කියැවෙන්නෙ. ඒ ආඥාපනතේ යම් විධියකට හරි දේශීය වෙදකම ගැන කියැවෙනවා ද? නිරෝධායන මධ්‍යස්ථානවල බටහිර වෙදමහත්වරුන්ට හැරෙන්න අනෙක් වෙදමහත්වරුන්ට කටයුතු කරන්න පුළුවන් ද? ඒ ආඥාපනත යටතේ නිකුත් කර ඇති රෙගුලාසි මොනවා ද? අර ආගමික සිද්ධස්ථාන ඉදි කිරීම පිළිබඳ ව ඇති ඉංගිරිසින්ගේ 1892 ආඥා පනත ක්‍රියාත්මක නොකරන්නේ ඇයි? ඒ ආඥා පනත් දෙක ඉංගිරිසින් සම්මත කර ගත්තේ සන්දර්භ දෙකක. සිංහලයන්ට අවාසි වන ආඥා පනතට පමණක් පණ දී ඇත්තේ ඇයි.  

මා කතා කරන්නේ පාරම්පරික වෙද මහතුන් වෙනුවෙන්. අද ඔවුන් තමයි ඉතාම අසරණ. බටහිර වෙද මහතුන්ටත් ආයුර්වේද වෙද මහතුන්ටත් වෛද්‍ය සභා තියෙනවා. එහෙත් පාරම්පරික වෙද මහතුනට වෛද්‍ය සභාවක් නැහැ. අද සෑම රූපවාහිනී නාළිකාවක ම දේශීය කෘෂිකර්මය ගැන කියනවා. විවිධ පඬිවරු විවිධ නාළිකාවල අප අවුරුදු විසිපහකට පමණ පෙර කී දේ කියනවා. ඒ ගැන අප සතුටු වෙනවා. අප අපේ ආහාර නිෂ්පාදනය කළ යුතු බව කියනවා. අපේ දේ ආහාරයට ගත යුතු බව කියනවා. අප නැතත් ඒ දේ කීම ගැන සතුටුයි.

රාජපක්‍ෂවරු කුරහන් සාටකයක් පළඳිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂත් වරක් කියා සිටියේ තමාගේ බෙල්ල වටේ කුරහන් සාටකය නැති වුවත් තම ශක්තියත් කුරහන් සාටකය බව. මගේ වචන නිවැරදි නොවිය හැකියි. එහෙත් එවැනි අදහසක් තමයි ඔහු ප්‍රකාශ කළේ. එහෙත් මට ප්‍රශ්නයක් තියෙනවා. මෙරට කුරහන්වලට ඇති තැන කුමක් ද? අපේ ගෙදර නම් කුරහන් පිටි පාවිච්චි කරනවා. ඒ කුරහන් සාටකය නිසා නො වෙයි. ඒ අපේ කෑම වට්ටෝරුව නිසා. පඬි වෙන්න ඕන නම් අපේ ආහාර සංස්කෘතිය නිසා. 

අපේ ප්‍රධාන ආහාරය බත් කියා කිවුවෙ ඉංගිරිසින් මිස ගැමුණු රජු නො වෙයි. අප වෙනත් නොයෙකුත් ධාන්‍ය ආහාරයට ගත්තා. පරිප්පු ආවෙ මෑතක දි. ඒකත් පුරුදු කෙරුවෙ බටහිරයන් ද කියල හොයල බලන්න ඕන. කොහොමටත් අපේ කෑම වට්ටෝරුව වෙනස් කරල තියෙනවා. මට තියෙන ප්‍රශ්නය කුරහන් සාටකය පළඳන රාජපක්‍ෂලා ඒ වෙනස් කරපු කෑම වට්ටෝරුව වෙනස් කරන්න වැඩ කරන්නෙ නැත්තෙ මොක ද කියලා. 

අපේ පාරම්පරික වෙදකමටත් වෙලා තියෙන්නෙ කුරහන්වලට වෙච්ච දේමයි. අද ආයුර්වේද වෙද මහත්තුරුන්ට තියෙන හයියවත් පාරම්පරික වෙද මහත්වරුනට නැහැ. නිරෝධායන ආඥා පනත යටතෙ ඉංගිරිසින් මොන රෙගුලාසි පනවල තිබුණත් කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කරන්න පාරම්පරික වෙද මහත්වරුන්ට අවස්ථාව දෙන්න ඕන. අර 1892 ආඥාපනතත් හෙමිහිට ක්‍රියාත්මක කරමු. කොවිඩ්ගෙන් ගන්න පුළුවන් වැඩක් ගනිමු. පවිත්‍රා දේවිගෙ පියා මා කියන දේ දැන හිටියා. ඔහු චින්තන පර්ෂදයේ ආරම්භක සාමාජිකයෙක්. 

අපේ කෑම වට්ටෝරුව අපි බටහිරයන්ට ඕන විධියට මැක්ඩොනල්ඩ්ට හා කේඑෆ්සීට මස්කඩයට හා තැබෑරුමට (කසිප්පු තිප්පොළට) පැවරුවොත් කෝවිඩ් අප මරණ මංචකයට කැඳවා ගෙන යාවි. අද බටහිර රටවල ඒක වෙනවා. අපේ වෙදකම ගැනත් යමක් කියන්න ඕන. 
  
අපේ වෙද වට්ටෝරුවල කෝවිඩ් 19 නැති වෙන්න පුළුවන්. ඒත් මේ සියල්ල ආගන්තුක රෝග. මාත් මගේ දරු පවුලත් අවුරුදු තිහකට පමණ ඉහත වෙදකම් ගත්ත වෙදමහතකු හිටියා රත්මලානෙ බොරුපන. ඔහුට හැකියාව තිබුණ අලුත් බෙහෙත් නියම කරන්න. ඔහු තමයි මට කියා දුන්නෙ අපේ කෑම බෙහෙත් කියලා. කුරහන් මිස ඊනියා ෂෝටීස් බෙහෙත් වෙන්නෙ නැහැ. රූපවාහිනි නාළිකා මේව කියනවට විරුද්ධයි. අපේ වෙදකම අයින් කරල අපේ කෘෂිකර්මයක් ගැන කතා කරන්න බැහැ. විස්තර පසුවට.