Main Logo

Thursday 23 April 2020

පිරිත් හා අමනුස්ස කතාව

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 




පිරිත් හා අමනුස්ස කතාව 




කොවිඩ් 19 (COrona VIrus Disease 2019 -  COVID 19) තම අණසක ලොව පුරා පතුරනවා. බටහිර විිද්‍යාව අසරණ වෙලා. වයිරසයේ වර්ග (strains) අටක් පමණ තියෙනවා කියනවා. නිව්යෝක් ප්‍රාන්තයේ තියෙන වර්ගය කැලිෆෝනියා ප්‍රාන්තයේ තියෙන වර්ගයට වෙනස් කියනවා. ලංකාවේ වර්ග හතරක් තියෙන බව කියනවා. අප ලංකාවේ කොවිඩ් 19 සඳහා එන්නතක් නිෂ්පාදනය කිරීමට කටයුතු කරන බවක් පෙනෙන්න නැහැ. බටහිරත් එය හිතන තරම් ලෙහෙසි නැහැ. 


බටහිර ඇතැම් රටවල් රංචු ප්‍රතිශක්තිය (herd immunity) ගැන විශ්වාසයක් තබා වැඩ කළා. ඔවුන් ආර්ථිකය කඩා වැටෙන්න ඉඩ නොදී වෙන් කිරීමට නිරෝධායනයට හිත යොමු කෙළේ නැහැ. එය එතරම් සාර්ථක බවක් පෙනෙන්නේ නැහැ. අප වඩාත් යොමු වූයේ නිරෝධායනයට. එහි යම් සාර්ථකත්වයක් තියෙනවා. එහෙත් අතරින් පතර ඊනියා පොකුරුවලින් (බටහිර අර්ථයෙන් නොවෙයි. කෙහෙල්වත්ත අර්ථයෙන්) බාහිර ව ද රෝගීන් හමුවෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාවට එය තවමත් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ සඳහා කතන්දරයක් තනා ගෙන නැති බවයි. අප කතන්දර හදන්න යන්නේ නැහැ. මෙරට බටහිර වෙදමහත්තුරුන්ට කතන්දර හදල පුරුද්දකුත් නැහැ. 

රංචු ප්‍රතිශක්තිය කොහොම වෙතත් පුද්ගල ප්‍රතිශක්තිය වැඩි කිරීමේ ක්‍රම පාරම්පරික වෙදමහතුන් ළඟ තියෙනවා. ඒවා අවුරුදු දහස් ගණනක් ඊනියා පරීක්‍ෂණවලින් තහවුරු වී තිබෙනවා. අප අත්දුටුවයි ප්‍රත්‍යක්‍ෂයි කියා කියනවා. අපට ඇත්තේ වෙන් කිරීම, ප්‍රතිශක්තිය වැඩි කිරීමේ ක්‍රම හා ආධ්‍යාත්මික ශක්තිය වැඩි කිරීමේ ක්‍රමය. අවශ්‍ය නම් එයට අපේ රංචු ප්‍රතිශක්තිය කියා කියන්න පුළුවන්. එහෙත් එය පුද්ගල ප්‍රතිශක්තියකුත් වෙනවා. 

කොවිඩ් 19 ඇති වුණේ කොහොමද කියල බටහිරයන් කියන්නෙ නැහැ. ට්‍රම්ප් නම් චීනයට චෝදනා කරනවා. ඒ අතර පර්යේෂණාගාරවලින් වයිරසය නිකුත් වූ බවටත් මතයක් තියෙනවා. ඒ ඇතැම් පර්යේෂණාගාර හමුදා කඳවුරු අශ්‍රිතව ඇති ඒවා. අප කියන්නේ නැහැ මිනිසුන් වුවමනාවෙන් වයිරසය හදා නිකුත් කළා කියා. අප කිසි විටෙක එසේ කියා නැහැ. එහෙත් බටහිර පොකුරු ව්‍යාප්තිය (අප ලංකාවේ පොකුරු යන්න යොදා ගන්නා අර්ථයෙන් නො වෙයි) එසේ පර්යේෂණාගාර ආශ්‍රිත ව සිදු වූවක්. ජෝන් හොප්කින්ස් වක්‍ර ඒ හිතළුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ වක්‍ර ලංකාවේ යොදා ගන්න බැරි ව ඇත්තේත් එවැනි පොකුරු ව්‍යප්තියක් මෙහි සිදු වී නැති නිසා. අප කෙහෙල්වත්තේ පොකුර ගැන කියන්නේ වෙන ම අර්ථයකින්.

අපේ හිතළුව වූයේ මේ වයිරසය අමනුෂ්‍යයන් විසින් නාගයන්ගේ ද ආධාරයෙන් ඔය කියන පර්යේෂණාගාරවල නිර්මාණය කෙරුණු බවයි. අප ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කිරීමට (එයත් ප්‍රතිශක්තියක්) පිරිත් දේශනා කළ යුතු යැයි යෝජනා කෙළේ එබැවින්. කෙසේ නමුත් එලෙස පිරත් සජ්ඣායනය කළ සති කිහිපයේ එතරම් වැඩි වීමක් දුටුවේ නැහැ. දැන් පිරීත් නැහැ. රෝගීන් ඉන්නවා. 

පිරිත් දේශනාව අමනුෂ්‍යයන් ජීවත් වන පරිසරය වෙනස් කිරීමට. ඔවුන් වෛරය ආහාර කොට ජීවත් වෙනවා. අප පිරිතෙන් කරන්නේ මෛත්‍රිය පැතිරවීමයි. පඬියන්ට හා තමන් පඬියන් යැයි සිතා සිටින  පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්ට මෛත්‍රිකරන අපට අමනුෂ්‍යයන්ට මෛත්‍රී කිරීම අපහසුවක් නො වෙයි. සිදුහත් තවුසාණන් බෝ මැඩ දී මාර පරාජය කෙළේ වෛරය උපදවා ගෙන නො වේ. අපේ ක්‍රමය කොහොමටත් ඇලොපති ක්‍රමයක් නො වෙයි. අපේ ක්‍රමය වෛරයෙන් වෛරය නැසීම නො වෙයි. නහී වෙරෙණ වෙරාණි කියා අපට උගන්වා තියෙනවා. අපේ හමුදාවත් මානුෂීයයි. 

අවාසනාවකට බටහිර වෙදමත්වරුන්ගෙන් වැඩි පිරිසක් අපේ ක්‍රම පිළිගන්නේ නැහැ. දුම් (හුමාලය) හට්ටිය ඇල්ලූ අල්ලන බටහිර වෙදමහත්වරුන් කිහිප දෙනකු හිටියත් වැඩි පිරිසක් එයට  විරුද්ධ බවයි පැවසෙන්නේ. මා ඔවුන්ට දොස් කියන්නේ නැහැ. අප පාසල් යන කාලයේ ප්‍රාථමික පංතිවල සෞඛ්‍යය කියා පාඩමක් (විෂයයක්) තිබුණා. එහි රත කල්කය, කොත්තමල්ලි, වෙනිවැල්ගැට ගැන ඉගැන්නුවේ නැහැ.
කොටින් ම පාසල්වල එතරම් අපේ දෙයක් ඉගැන්නුවේ නැහැ. ඒ අපට පළමුව ලන්දේසීන්ගෙන් හා පසුව ඉංගිරිසින්ගෙන් ලැබුණු අධ්‍යාපනය. 

අප නිකමට මෙන් සාමාන්‍ය පෙළ සඳහා බුද්ධාගමත් පාඩමක් හැටියට ඉගෙන ගත්තා. නාරද හාමුදුරුවො ඇහුව බුදුදහම ආගමක් ද දර්ශනයක් ද කියා. එය විදර්ශනයක් කියන්න මා ඒ දිනවල දැන හැටියෙ නැහැ. පසුව සමහරු බෞද්ධ දර්ශනය කියල එකක් හැදෑරුවා. අනේ අනිච්චං සංසාරේ කියා හිතෙනවා. 

මේ අධ්‍යාපනයෙන් බිහිවන්නන් දුම් හට්ටියට විරුද්ධ වෙන එක පුදුමයට කරුණක් නො වෙයි. ඔවුන්ට අවශ්‍ය වෙනවා දුම් හට්ටියට ඊනියා නැහැසුම් සෑහුම් (trial and error) ක්‍රමය හා සායනික නැහැසුම් ක්‍රමය යොදන්න. අත්දුටුවයි ප්‍රත්‍යක්‍ෂයි කියන්නෙ ඊට වඩා වැදගත් ක්‍රමයක්.  

සායනික නැහැසුම් ක්‍රමය ලෙඩේ මිස ලෙඩා පදනම් කරගත් එකක් නො වෙයි. එහි ලෙඩුන් සමාන ලෙස සලකනවා. එහෙත් ලෙඩුන් සමාන නැහැ. අවසානයේ දී කෙරෙන්නේ අර වියුක්ත ලෙඩෙකු මේ ප්‍රතිකාරයෙන් සුවය ලැබීමට මොන සම්භාවිිතාවක් තියෙනවා ද කියා බැලීම.  සම්භාවිතාව එකට අඩු නම් එ ප්‍රතිකාරය හරි යන්නෙ නැති ලෙඩුන් ඉන්නවා. ලෙඩේට නොව ලෙඩාට බෙහෙත් දෙන්න ඕන. ලෙඩේට බෙහෙත් දෙන සායනික නැහැසුම් ක්‍රමයක් මගින් ලෙඩාට බෙහෙත් දෙන ක්‍රමයක් මනින්න බැහැ. 

අපේ අධ්‍යාපනයේ තිබුණු අපේ කිව හැකි  විෂය වූ ඉතිහාසය හා සාහිත්‍යය  නැති කෙරුණා. බද්‍යුද්දින් මොහොමඩ් ඉතිහාසය  නැති කළා. ජේ ආර් සාහිත්‍යය නැති කළා. එහෙම නැත්නම් තවත් සමහරු ඉතිහාසය හා සාහිත්‍යය බටහිරකරණයට ලක් කළා. බටහිර කෝදුවෙන් සිංහල සාහිත්‍යයේ දිග පළල මැන්නා. එක අතකට බෞද්ධ දර්ශනයක් උගන්වන රටක එහෙම වුණ එක පුදුමයක් ද?