Main Logo

Sunday, 12 July 2020

ක්‍රිස්තියානි රාජ්‍යය බෞද්ධ නොවන අධ්‍යාපනය හා අම්මණ්ඩිලාගේ නිදහස

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9



ක්‍රිස්තියානි රාජ්‍යය බෞද්ධ නොවන අධ්‍යාපනය හා අම්මණ්ඩිලාගේ නිදහස

මෙරට ඇත්තේ බටහිර ක්‍රිස්තියානි රාජ්‍යයක් ය කියන එක බොහෝ දෙනා පිළිගන්නේ නැහැ. සිංහලයන් 75%ක් සිටින බෞද්ධයන්70%ක් සිටින නිතර බණ කියන බණ අහන ක්‍රිස්තියානි කතෝලික දේශපාලනඥයන් ද පිරිත් නූල් ගැට ගසාගන්නා පන්සල් ගොස් පන්සිල් ගන්නා රටක රාජ්‍යය ක්‍රිස්තියානි වන්නේ කෙසේ ද කියා බොහෝ දෙනා අසන්න පුළුවන්. සෑම නාළිකාවක් ම පාහේ (බෞද්ධයා වැනි නාළිකා හැරෙන්න) උදේට පිරිත් කියා පටන් ගෙන අබෞද්ධ වැඩ සටහන් පෙන්වන විට පාසල්වල උදේට පන්සිල් සමාදන් කර ක්‍රිස්තියානි අධ්‍යාපනයක් දී අවසානයේ යො වද තං පව කියවා පිටත් කර අරින රටක රාජ්‍යය ක්‍රිස්තියානි නො වේ නම් වෙන මොකක් ද? උසාවිය පාර්ලිමේන්තුව රාජ්‍ය පාලනය වැනි සියල්ල ඉංගිරිසින් අපට දුන් ඒවා. ඒවා හරය වශයෙන් ක්‍රිස්තියානි. අපේ විශ්වවිද්‍යාල තනිකර ක්‍රිස්තියානි. මා මේවාට ආගන්තුකයෙක් නො වෙයි. මට කුඩා කල සිට ම ලැබුණේ ක්‍රිස්තියානි අධ්‍යාපනයක්. ඉන් කැඩෙන්න මට කලක් ගත වුණා. 


අපේ මූලික ම ප්‍රශ්නයක් වී ඇත්තේ අපට බෞද්ධ පාසල් නොමැති වීම. ඕල්කට්තුමා ගැන අප කෙතරම් හොඳ කිවුවත් ඔහු ගාල්ලේ දී පන්සිල් ගත්තත් ඔහු කිසි දිනෙක බෞද්ධයකු වූයේ නැහැ. ඔහු වැඩිම වුවහොත් පරම විඥානාර්ථවාදියෙක්. ඔහු ලංකාවට පැමිණියේ ඉන්දියාවේ සිට පරම විඥානාර්ථවාදය පැතිර වීම සඳහා. ඔහු මෙරට පිහිටු වූයේ ඊනියා පරම විඥානාර්ථ බෞද්ධ සමාගමක්. පරම විඥානය බෞද්ධ කමත් සමග ගැට ගැසූ ඕල්කට්තුමා අපට "දෙවියකු" ම වුණේ දහනවවැනි සියවසේ අපේ ආධ්‍යාත්මික දුර්වලකම නිසා. පංච මහා වාදවලින් ඇති වූ සිංහල බෞද්ධ පුනර්ජීවනය ඕල්ට්තුමා වැරදි අතකට යොමු කිරීමට සමත් වූයේ ඒ දුර්වලකම නිසා. 

ආනන්ද මහා විද්‍යාලයේ පළමු විදුහල්පති වූ ලෙඩ්බීටර් කලක් එංගලන්තයේ ඇංග්ලිකන් පූජකවරයකු ව ඉඳ තියෙනවා. පසුව ඔහු පරමවිඥානාර්ථවාදියකු වෙලා. දෙවියන්වහන්සේ/බ්‍රහ්මන් ආදීන් විශ්වාස කරන අයකුට පරම විඥානාර්ථවාදියකු වන එක අපහසු කටයුත්තක් නො වෙයි. ඔවුන්ට ඊනියා තාර්කිකයකු වෙන්නත් පුළුවන්. රේඛීය චින්තනයේ සියලු දැනුම් විශ්වාසය මත පදනම් වෙනවා. රේඛීය චින්තනයේ සමහරුනට එය තේරුම් ගන්න බැහැ. ඒ කොහොම වෙතත් ලෙඩ්බීටර් ඕල්කට්තුමා සමග 1885 දී බුරුමයට (මියන්මාරයට) හා ලංකාවට පැමිණ තිබෙනවා. එකල බුරුමයේ ථෙරවාදය හා ජාතිකත්වය ලංකාවට වඩා ශක්තිමත්. ඔවුන් දෙදෙනාට බුරුමයේ යමක් කිරීමට හැකි වෙලා නැහැ. 

ලෙඩ්බීටර් ක්‍රිෂ්ණමූර්ති සොයාගත් තැනැත්තා. ලංකාවේ ඊ ඩබ් අදිකාරම් වැනි ක්‍රිෂ්ණමූර්තිවාදීන් හිටියා. දැනුත් ඉන්නවා ද දන්නේ නැහැ. ලෙඩ්බීටර්  පසුව එංගලන්තයට ගොස් තියෙනවා. එහි දී ඔහුට විරුද්ධ ව පිරිමි ළමුන්ට ස්වයංවින්දනය ලබා ගැනීමට උපදෙස් දීම පිළිබඳ චෝදනාත් විභාග කෙරුණා. 1915 දී ලෙඩ්බීටර් සිඩ්නි නගරයට ගොස් තිබෙනවා. එහි දී ඔහු වෙජ්වුඩ් නමැති පරම විඥානාර්ථවාදියකු ද ලිබරල් කතෝලික පල්ලියේ පූජකවරයකු වූ ද අයකු සමග සම්බන්ධ වී තිබෙනවා. ලෙඩ්බීටර් ද පසුව ලිබරල් කතෝලික පල්ලියේ පූජකවරයකු වී තිබෙනවා.

අනගාරික ධර්මපාලතුමා හා ඕල්කට්තුමා අතර මතභේද තිබූ බවත් අප අමතක කළ යුතු නැහැ. ඕල්කට්තුමා බෞද්ධයකු නොවීමත් මෙරට ඊනියා උගත් බෞද්ධයන් ඒ වන විට අවුරුදු පනහකට වැඩි ඉංගිරිසි ක්‍රිස්තියානි අධ්‍යාපනයෙන් දුර්වල කර තිබීමත් අපට බෞද්ධ අධ්‍යාපනයක් ගොඩනගා ගැනීමට නොහැකි වීමට හේතු වුණා. ඉංගිරිසි මිෂනාරීන් මේ කලාපයේ පිහිටු වූ පළමු ක්‍රිස්තියානි විදුහල ගාල්ලේ රිච්මන්ඩ් විදුහල බවට මතයක් තියෙනවා. ඕල්කට්තුමාවත් ලෙඩ්බීටර්වත් දැන සිටි බෞද්ධ අධ්‍යාපනයක් නැහැ. 

බටහිර ක්‍රිස්තියානි රාජ්‍යය පසුගිය අවුරුදු කිහිපයක තව තවත් ශක්තිමත් වුණා. එය අද බෝන් අගේන් ආදී ක්‍රිස්තියානි කඳවුරුවලට තෝතැන්නක් වෙලා. කතෝලික ආගමටත් එය දැනෙන්න පටන් අරන්. කාදිනල්තුමා පහුගිය සමයේ කළ ප්‍රකාශවලින් ඒ බව පැහැදිලි වෙනවා. අද දකුණු කොරියාව මුළුමනින් ම මෙන් ක්‍රිස්තියානි වෙලා. එය අනෙකුත් ථෙරවාදී රටවලට ද ප්‍රශ්නයක් වෙලා. ඒ රටවලත් ක්‍රිස්තියානිකරණයක් ක්‍රියාත්මක වෙනවා. 

රනිල් මංගල වැන්නන් සිංහල බෞද්ධ සංස්කෘතියක නොවීමත් ප්‍රශ්නයක් වෙලා.  මංගල සම්පූර්ණයෙන් ම සංඝයා වහන්සේ ප්‍රතික්‍ෂෙප කරනවා. ක්‍රිකට් අපට ඉංගිරිසින් දුන් ක්‍රීඩාවක්. ඒ නිසා එය ක්‍රිස්තියානි වීම ප්‍රශ්නයක් නොවන්නත් පුළුවන්. එහෙත් ඉතා පැහැදිලිව ම ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිස්තියානි පක්‍ෂපාතීත්වයක් තියෙනවා. ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන විට කුරුසය ලකුණු කිරීම නිසා ඇතැම් විදේශිකයන් ලංකාව ක්‍රිස්තියානි රටක් කියා සිතුවොත් පුදුම වෙන්න දෙයක් නැහැ. අපේ ක්‍රිකට් කණ්ඩායමේ බෞද්ධ පවුල්වල උපත ලබා දැන් ක්‍රිස්තියානි වී සිටින අය ගැන විස්තරයක් පාණදුරේ වැසියන්ගෙන් ලබා ගන්න පුළුවන්. මා කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු සිද්ධිය ගැන කතා කරන්නේ නැහැ. 

පසුගිය සමයේ පන්සල්වල අලි පෙරහැර පැවැත්වීම් ආදිය ගැන කතා කෙරුණා. සත්තු වත්තේ ඉන්න අලි ගැන කතා කෙරුණේ නැහැ. ඒ අලි හා මේ අලි අතර වෙනස කුමක් ද? අලි අයිතිවාසිකම් (මානව අයිතිවාසිකම් වගේ) තියෙන්නෙ මොන අලින්ට ද? ළමුන් මහන කිරීම් ද කතා කෙරුණා. ළමයකු මහන කිරීමෙන් පසු ඔහුට වුවමනා අවස්ථාවක උපැවිදි වෙන්න පුළුවන්. විශේෂයෙන් ම උපසම්පදා කරන්නේ පළමු ව ගිහි කරලා. අවශ්‍ය නම් උපසම්පදා නොවී ඉන්නත් පුළුවන්. එහෙත් අප පාසල් ගොස් ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලබා ගත්තාට පසු ඉන් ගැලවීමක් නැහැ. ගැලවුණා ම ජී එල් පීරිස් ඩබ්ලිව් ඩී ලක්‍ෂමන් වැන්නන් එකතු වී ගැලවුණු අය පන්නා දමනවා. 

මා දැක්කා එක් සකර්බර්ග් පිටුවක ප්‍රබුද්ධ අම්මණ්ඩි කෙනකු තමන්ට පන්සල් යෑමේ දී අරක අඳින්න මේක අඳින්න කියන එක කරදරයක් ලෙස කියලා. ඇය උඩුකය නිරුවත් ව එකල පන්සල් ගියා ය කියා හිතන තැනැත්තියන් දෙදෙනකුගේ රුපයක් මාතෘකා කරගෙනයි ඒ කතාව කියා තිබුණේ.  ඇය උසාවියට හරි පාසලට හරි යෑමේ දී අඳින්න ඕන දේ ගැන කියල තිබුණෙ නැහැ. පල්ලි යෑමේ දී අඳින දේ ගැනත් මා හිතන්නේ නැහැ ක්‍රිස්තියානි කතෝලික බැතිමතියන් පැමිණිළි කරනවා. ඒ ඒ තැන්වලට යෑමේ දී ඒ ඒ ඇඳුම් අඳින්න වෙනවා. ලංකාවේ නීතිය අනුව ප්‍රසිද්ධ තැන්වල කාන්තාවන්ට උඩුකයවත් නිරුවත් ව තබා ගන්න බැහැ. එහෙත් නිවස ප්‍රසිද්ධ තැනක් නො වෙයි. මා හිතන්නේ පන්සල් යෑම ගැන පැමිණිලි කිරීම පසෙක තබා අර අම්මණ්ඩිට ගෙදර ඉන්න විට උඩුකය පමණක් නොව යටිකය ද නිරුවත් කර ගෙන ඉන්න පුළුවන්. ඇය ඒ් නිදහස පාවිච්චි කරනවා නම් ආණ්ඩුවට ප්‍රශ්නයක් නැහැ. එහෙත් ඒ නිදහස පාවිච්චි නොකර පන්සල් යෑමක් ගැන කතා කරන්නේ නම් ඒ මොකාට එන්න ද කියා හිතා ගන්න බැරි මෝඩයන් මේ රටේ ඉන්නව නම් ඒ සකර්බර්ග් වම්මුන් හා වෙනත් සමහර සිංහල බෞද්ධ විරෝධීන් ම  ව වෙන්න ඕන.