෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල ලිත් ඉලක්කම්
0 1 2 3 4 5 6 7 8 9
රැකියා කේන්ද්‍රීය අධ්‍යාපනය හා ජනාධිපති ප්‍රකාශය
අප ඉගෙන ගන්නේ ඇයි? වත්මන් ලංකාවේ නම් අති විශාල බහුතරය ඉගෙන ගන්නේ රැකියාවක් කිරීම සඳහා. අති විශාල බහුතරයේ කෙසේ වෙතත් බොහෝ දෙනකුගේ බලාපොරොත්තුව විශ්වවිද්‍යාලයට යෑමට. විශ්වවිද්‍යාලයට ගොස් උපාධියක් ලබා ගැනීමෙන් රැකියාවක් ලබා ගන්න පුළුවන් කියල බොහෝ දෙනා හිතනවා. එහෙම පුළුවන් වූ කාලයක් තිබුණා. දැනුත් පුළුවන්. ඒත් ඒක දේශපාලන මැදිහත් වීමෙන් කෙරෙන දෙයක්. ඒකෙන් කියන්නෙ දේශපාලනඥයකුගෙ ලියුමකින් ම කියන එක නො වෙයි. උපාධිධාරී පත්වීම් දීම ආදිය සම්බන්ධයෙන් දේශපාලන තීන්දු ගන්න සිද්ධ වෙනවා.
සමහරුන්ට මෙරට විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න තරම් ලකුණු මදි වුණා ම දේශපාලනඥයන්ගෙ පිහිට ලැබෙනවා පිටරට යන්න. කලක් සෝවියට් දේශයට යෑමේ දී මෙරට ලංකා කොමියුනිස්ට් පක්‍ෂය මැදිහත් වුණා. මේ වන විට මෙරට විශ්වවිද්‍යාලවලට ඇතුල් වීමට නොහැකි ඇතැමුන් මුදල් ගෙවාත් පිටරට යනවා. රුසියාවටත් යනවා. අධ්‍යාපනය විකුණනවට විරුද්ධ කියන අයත් මුදල් ගෙවල පිටරට යනවා. ගිහින් බටහිර වෙදමහත්වරුත් වෙනවා. කලින් කිව්ව වගේ ටික දෙනකුට දේශපාලනඥයන්ගෙන් ආධාර ලැබෙනවා. ඒකට දෙමව්පියන්ට යම් ආකාරයක දේශපාලන සම්බන්ධකම් තියෙන්න ඕන. අද සකර්බර්ග් වම්මුත් ඉන්නවා එහෙම ඉගන ගත්ත අය.
ඒ දවස්වල ඒ කියන්නෙ අවුරුදු හැටකට පමණ ඉහත ජ්‍යෙෂ්ඨ සමතුන්ගෙ ප්‍රශ්නය ආවා. ජ්‍යෙෂ්ඨ සමතුන්ට දෙන්න රැකියා තිබුණෙ නැහැ. එය ක්‍රම ක්‍රමයෙන් උඩට ගිහිල්ල උපාධිධාරීන්ගෙ රැකියා ප්‍රශ්නය ආවා. අද ඇතැම් පශ්චාත් උපාධිධාරීන්ටත් රැකියා සොයා ගන්න බැහැ. මෙරට විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න බැරිව දේශපාලනඥයන්ගෙ උදව්වෙන් පිටරට ගිහින් උපාධි ලැබූ ඇතැමුන් විශ්වවිද්‍යාලවල කථිකාචාර්ය පදවි ලබා ගන්නත් දේශපාලනඥයන්ගෙන් ලියුම් ලබා ගන්නවා. ඒත් හරිහමන් උපාධියක්, පන්ති සාමාර්ථයක්, පර්යේෂණ සහිත පශ්චාත් උපාධියක් නැතිව තවමත් විශ්වවිද්‍යාලයක කථිකාචාර්ය ධුරයක් ලබා ගන්න බැහැ. ඒ බැරි කම වහ ගන්න පොරවල් වෙන්න හදනවා. ඒ අරමුණෙන් පොර කතා කියනවා. මට ඇතැම් දර්ශන ඉතිහාස හා වෙනත් අධ්‍යනංශවලින් ලැබිල තියෙන තොරතුරුවලින් මා පුදුම වෙන්නෙත් නැහැ.
ලංකාවේ ඉතා ටික දෙනෙක් ඇති විෂයට තියෙන ලැදිකම නිසා ඉගෙන ගන්න අය. එහෙත් අති විශාල බහුතරය ඉගෙන ගන්නෙ රැකියාවක් කිරීමට සුදුසුකම් ලබා ගන්න. මා ඒ ගැන සමීක්‍ෂණයක් නම් කරල නැහැ. මා කියන දේ ගැන විශ්වාසයක් නැත්නම් කරන්න දෙයක් නැහැ. අද වැඩි දෙනකුගේ අරමුණ බටහිර වෙදමහතකු/වෙද නෝනා කෙනකු වෙන්න. ඒත් ගණිත විෂයවලට දක්‍ෂ කැමති අය ඉංජිනේරුවන් පරිගණකවේදීන් තොරතුරු තාක්‍ෂණවේදීන් වීමට උත්සාහ කරනවා. පරිගණක වැඩේට ගණිතයක් අවශ්‍ය නැහැ. එහෙත් අවශ්‍ය කියල මතයක් රටේ තියෙනවා.
බටහිර ගණිතය වියුක්තයි. එහි දී නිර්මාණාත්මක හැකියාවත් බලපානවා. තර්කය හා න්‍යාය අවශ්‍ය වෙනවා. නැහැ සකර්බර්ග් වම්මුන්ගේ න්‍යාය තර්කය නො වෙයි. ඔවුන් බොහෝ දෙනකුට තර්කය හා න්‍යාය බැහැ. බටහිර භෞතික විද්‍යාවත් ගණිතය තරම් නැති වුවත් වියුක්තයි. එපමණක් නොවෙයි බටහිර ජීව විද්‍යාවෙත් තරමක වියුක්ත බවක් තියෙනවා. ලංකවේ අපට වියුක්ත ව හිතන්න බැහැ. මා කියන්නේ බටහිර මට්ටමෙන් හිතන්න බැහැ. ඒත් ටික දෙනකුට වියුක්තය යම් තරමකින් ගැට ගහගන්න පුළුවන්. ඔවුන් ඒ ඒ මට්ටම්වලින් බටහිර විද්‍යා විෂය හදාරනවා.
මා බටහිර විද්‍යා නොවන විෂයවලට අගෞරව කරනවා නො වෙයි. ඒත් මා දන්නා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් කිහිප දෙනකු ම ඉන්නවා උසස් පෙළ විද්‍යා විෂය සමත් වීමට නොහැකි ව කලා විෂය ලෙස හඳුන්වන විෂය හදාරල, සමහරවිට මාස කිහිපයකින් හදාරල, විශ්වවිිද්‍යාලවලට ඇතුළත් වූ අය. මා සම්බන්ධයෙනුත් එවැනි දෙයක් කියන්න පුළුවන්. මා ඔය කියන කලා විෂය නොව ජීව විද්‍යා විෂය හැදෑරුවා නම් සම්ම ජාතියේ විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්නෙ නැහැ. ඒ කාලෙ ගණිත ධාරාවෙ රසායන විද්‍යාවත් හදාරන්න තිබුණා. මා ඒ විෂයනෙුත් අසමත්. ඉතින් ජීව විද්‍යා/කලා විෂය ගැන මොනව කියන්න ද? මගේ මතකය දුර්වලයි. ගණිතයේ හා භෞතික විද්‍යාවෙ එච්චර දෙයක් මතක තියා ගන්න නැහැ.
මා ගණිත විෂය ධාරාව හැදෑරුවේ ඉංජිනේරුවකු වීමට නො වෙයි. අවුරුදු දහයෙ පමණ කාලයේත් මට අවශ්‍ය වූයේ ගුරුවරයකු වීමට. අවුරුදු පහළොව පමණ වන විට එය විශ්වවිද්‍යාල ගුරුවරයකු හා විද්‍යාඥයකු වීම බවට පරිවර්තනය වුණා. ඒ දෙක ම හරියට ඉටු කරගන්න බැරි වුණා. විද්‍යාඥයකු වීමට නම් කොහෙත් ම බැරි වුණා. විශ්වවිද්‍යාල රස්සාවත් දිගට කරන්න බැරි වුණා. අවුරුදු දොළහක් පමණ රැකියාවක් නැතිව හිටියා.
පරිපාලන සේවයට/රාජ්‍ය සේවයට මගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. සිවිල් සේවා පරීක්‍ෂණයට පෙනී සිටීමත් ප්‍රතික්‍ෂෙප කළා. එකල සිවිල් සේවා පරීක්‍ෂණයෙන් ඉහළ ම ලකුණූ ලබාගත් හයදෙනකු පමණ සිවිල් (පරිපාලන) සේවයට බඳවා ගත්තා. ඊළඟට ලකුණු ගත් කිහිප දෙනකු විදේශ සේවයට බඳවා ගත්තා. ඒ විභාගයට එදා පෙනී නොසිටියත් අද මා විදේශ සේවයේ. එය දේශපාලන පත්වීමක් තමයි. මා එයට නුසුදුසු වෙන්නත් පුළුවන්. වෙළඳාම, ව්‍යාපාරික කටයුතු මගේ ඇඟේ ගෑවිලාවත් නැහැ. ඒත් මට ඒ දේ කිරීමට සිදුවෙලා. මා එසේ කරන්නේ ලංකාව හා මියන්මාරය අතර සංස්කෘතික සම්බන්ධතාව වැඩි දියුණු කිරීමේ අරමුණෙන්.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කියා තියෙනව දේශපාලන විිද්‍යාව කරල රැකියාවක් කරන්න බැහැ කියල. සමහරවිට එය කියා ඇත්තේ වෙනත් විධියකට වෙන්නත් පුළුවන්. ඒ මොකක් වුණත් ඒකෙ ඇත්තක් තියෙනවා. රැකියා කේන්ද්‍රීය අධ්‍යාපනයක ශිෂ්‍යයන් ඉගෙන ගන්න ඕන රැකියා ලබා ගන්න පුළුවන් විෂය. ඔය අධ්‍යාපනයෙන් ලබා දෙනව කියන වෙනත් ගුණාංග බොහොම අඩුවෙන් තමයි ලැබෙන්නෙ. ලැබුණත් ඒවා යොදා ගන්නෙ බොහොම කලාතුරකින්. විශ්වවිද්‍යාලවල පීඨ මණ්ඩල, සනාතන මණ්ඩල රැස්වීම්වලට ගියා ම ඒක දැන ගන්න පුළුවන්.
ඒ ඒ අය කැමති විෂය ඉගෙන ගැනීමටත් අවස්ථාව තියෙන්න ඕන. එහෙම අයට රැකියා වෙන්නෙ ඒ විෂය තව තවත් වර්ධනය කිරීම, විෂය ඉගැන්වීම අවස්ථා. විෂය වර්ධනය කරන්නෙ පර්යේෂණවල නිරත වීමෙන්. විෂය ආශ්‍රිත ගැටළු විසඳීමෙන්. ගැටළු කිව්ව ම මූලික එහෙම නැත්නම් කේන්ද්‍රයේ තියෙන ගැටළු හා පරිධියේ ගැටළු කියල වර්ග දෙකක් තියෙනවා. පරිධියේ ගැටළු විසඳන්නෙ පවත්නා දැනුම යොදා ගැනීමෙන්. එයිනුත් යම් දැනුමක් සංස්කරණය වෙනවා. ඒත් නව දැනුමක් සංස්කරණය වෙන්නෙ කේන්ද්‍රීය ගැටළු විසඳීමෙන්.
ඒ ඒ විෂය ඉගෙන ගන්න එක කාලෙන් කාලෙට වෙනස් වෙන්න ඕන. හැමදාම එක ම විෂය මාලාව උගන්වන එක තේරුමක් නැහැ. මා කතා කරන්නෙ රැකියා කේන්ද්‍රීය අධ්‍යාපනයක් ගැන බව අමතක කරන්න එපා. මට හිතෙන්නෙ අද ලංකාවට වැඩියෙන් ම අවශ්‍ය පරිගණක සම්බන්ධ විෂය, තොරතුරු තාක්‍ෂණය ආදිය දන්න අය. ඒ සඳහා ගර්ඩ්ල් ප්‍රමේය දැන ගන්න අවශ්‍ය නැහැ. ඒ දන්න අයට පරිගණකයෙන් ලබා ගන්න පුළුවන් දැනුමේ සීමා පිළිබඳ කතන්දර හදන්න පුළුවන්. කලා විෂය කියන විෂය හදාරන අයටත් පරිගණක කතා උගන්වන්න පුළුවන්. ඒත් පළමුවෙන් ඒ ඉගැන්වීමට පිරිසක් පුහුණු කර ගන්න ඕන.
පඬියන් විවිධ ප්‍රශ්න අසාවි. බටහිර දැනුම උගන්වනවා ද කියා අහන්න පුළුවන්. එහෙම නැත්නම් පඬියකු ශාස්ත්‍ර පීඨවල කථිකාචාර්යවරුන් කිසිත් නොදන්න පිරිසක් ලෙස හඳුන්නාවි. ඒ පඬියන් තමා දන්නවා කියන විෂයෙ කේන්ද්‍රීය ප්‍රශ්නයක් නොවෙයි පරිධියේ ප්‍රශ්නයක්වත් විසඳපු අය නො වෙයි. තමන්ට කථිකාචාර්යකමක් නොලබුණු නිසා කෑ ගහන අය. මොවුන් ගැන කරදර වීමට අවශ්‍ය නැහැ.