Main Logo

Friday, 10 July 2020

දහනවය හා ඉන්ඩො

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9





දහනවය හා ඉන්ඩො

ජාවඩ් යුසුෆ් කියන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙ සාමාජිකයෙක්. ඔහු දහනවවැනි සංශෝධනය තියා ගන්න ඕන කියනවා. එපමණක් නොවෙයි ඔහු පොදුජන පෙරමුණට විරුද්ධ ව කතා කරනවා. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ඊනියා ස්වාධීන කොමිසන් සභා කිහිපයක් පිහිටුවා තියෙනවා. ඒවාට සාමාජිකයන් පත් කෙරෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශයෙන්. මැතිවරණ කොමිසම ද ඉන් එක් කොමිසන් සභාවක්. ඒ වගේ ම විනිසුරුවන්ගේ පත්වීම් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉදිරියට එන්න ඕන. 


ජාවඩ් යුසුෆ් අපක්‍ෂපාත ද කියන බොරු ප්‍රශ්නය මා අහන්නෙ නැහැ. ලෝකයේ අපක්‍ෂපාත මිනිසුන් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙත් අපක්‍ෂපාත මිනිසුන් නැහැ. යුසුෆ්ගෙ කතාව මට පුදුුමයක් නො වෙයි. මැතිවරණ කොමිසමේ හූල් ද තම පක්‍ෂපාතිත්වය කිහිප අවස්ථාවක ම පෙන්නුම් කරල තියෙනවා. මේ ව්‍යවස්ථාදායක කොමිසමේ ඉන්න මන්ත්‍රීවරුන් නොවන ඊනියා සිවිල් සමාජයේ අය රනිල් සුමන්තිරන් බද්‍යුද්දීන් සමාජයෙ අය. එවැනි තුන්දෙනකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙ ඉන්නවා. මේ අයගේ සාමාජිකත්වය අවුරුදු තුනකට සීමවෙනවා. 

දහනවැනි ව්‍යවස්ථා සංශෝධනය ඇති කෙළේ ම ඊනියා අපක්‍ෂපාත ස්වාධීන නාමයකින් තමන්ගෙ මිනිසුන් ටිකක් පත් කර ගන්න. ඔය ස්වාධීන නම අවුරුදු තිහකට පමණ පෙර කොළඹ විශ්වවිද්‍යාලයෙ වමේ ශිෂ්‍ය කණ්ඩායමකුත් පාවිච්චි කළා. ඒකෙත් තිබුණු ස්වාධීන කමක් නැහැ. ඔවුන්ට කිව්චෙ ඉන්ඩො කියලයි. අද ඔවුන්ගෙන් දෙතුන් දෙනෙක් සකර්බර්ග් වම්මු වෙලා. සමහරු එ ජා පක්‍ෂයෙ. තවත් සමහරු සජිත් එක්ක. ඔවුන් සමග කිට්ටුවෙන් වැඩ කළ X කණ්ඩායමේ (සමහරු ඒ කණ්ඩායමෙත් සාමාජිකයන් හැටියටත් හිටියා) ලොක්කෙක් නම් මෛත්‍රිපාලත් එක්කත් හිටියා. ඒ කණ්ඩායම ම වගේ මංගලත් එක්කත් හිටියා. ඔවුන්ගෙ පොදු ලක්‍ෂණයක් තියෙනවා. ඒ සිංහල බෞද්ධ විරෝධී බව. ඒ ඉන්ඩො නම අද ඇති ස්වාධීන කොමිසම්වලට ගැලපෙනවා ද කියන්න මා දන්නෙ නැහැ. හූල් ඉන්ඩො කෙනෙක් ද? නැත්නම් ඉන්ඩෙක් ද? 

ඒ කාලෙ ඉන්ඩොයි ජෙප්පොයි (ස්වාධීන හා ජ වි පෙ) තමයි එකිනෙකාට විරුද්ධ ව හිටියෙ. අද නම් ඒ දෙගොල්ලෙ එක් පිළක වගේ. ඒ දෙකොටසට ම විරුද්ධව තමයි ජාතික චින්තන කණ්ඩායම හැටියට හඳුන්නපු කණ්ඩායමක් හිටියෙ. යුතුකම කියන්නෙ ඒ අයට නො වෙයි. ඒත් අනුප පැස්කුවල් නම් ඒ ජාතික චින්තන කණ්ඩායමේ ශිෂ්‍ය නායකයකු වෙලා ශිෂ්‍ය සංගමයෙ තනතුරුත් ඉසුලුවා. චන්න ජයසුමනත් ඊට පසු කාලෙක පේරාදෙණියෙ ජාතික මතවාදී කණ්ඩායමේ නායකයකු ව සිටියා.  ඔය අතර කරුණාරත්න පරණවිතාන චම්පක රතන හිමි වැනි අයත් හිටියා. ඒ දෙදෙනා හා හිමියන් ගැන මොන කතා ද? 

ඒ කොහොම වුණත් මට තියෙන්නෙ වෙන ප්‍රශ්නයක්. දහනවැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්න කියල ප්‍රබල මතයක් රටේ තියෙනවා. අප කියනවා දහනවය විතරක් නොවෙයි දහතුනත් අහෝසි කරන්න කියලා. දැන් ටික කාලයක ඉඳලා පළාත් සභා නැහැ. මාස දෙක තුනක් පාර්ලිමේන්තුව නැති වුණා කියල කෑ ගහන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදියො පළාත් සභා ඊට වැඩි කාලයක් නැතෙයි කියල කෑ ගහන්නෙ නැහැ. පළාත් සභා රටට වැඩක් නැහැ කියන එක තමයි ඒකෙන් කියැවෙන්නෙ.

දහතුන අහෝසි කරන්න කියන එකටත් රටේ මතයක් තියෙනවා. පළාත් සභාව  හරහා පාර්ලිමේන්තු යන්න කිහිප දෙනකුට උපකාර වනවා මිසක් ඒකෙන් සිද්ධ වෙන දෙයක් නැහැ. ඒ ටික දෙනාගෙ අවශ්‍යතාව සඳහා විශාල මුදලක් වියදම් කර පළාත් සභා පවත්වාගෙන යෑම රටේ සම්පත් නාස්තියක්. දහතුන්වැනි සංශෝධනය හා පළාත් සභා ඉන්දියාව විසින් පරිප්පු දේශපාලනය මගින් ජේ ආර් ජයවර්ධන බිය ගන්වා ගාමිණී දිසානායක මගින් අප වෙත පටවනු ලැබුණු එකක්. සමහර විට ගාමිණී දිසානායක බලාපොරොත්තු වුණා ද දන්නෙ නැහැ ඉන්දියාවෙ ආධාරයෙන් ජනාධිපති වෙන්න. ඒ දවස්වල ඔහු ලලිත් ප්‍රේමදාස අතර තරගයක් තිබුණ ජනාධිපති වෙන්න.

දහතුනෙන් විසඳෙන දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම වූ ප්‍රශ්නයක් නැහැ. එයට හේතුව එවැනි ප්‍රශ්නයක් නොතිබීම. නැති ප්‍රශ්නයකට විසඳුම් ද නැහැ. පඬි නැට්ටන් අවුරුදු විසිපහක් පමණ දෙමළ ජනයාගේ ප්‍රශ්නය හොයනවා. ඒකත් හොඳයි. තව අවුරුදු විසිපහක් ඒ වෙනුවෙන් ගත කිරීමට ඔවුන්ට හැකි වේවා! දහනවය වගේ ම දහතුන ද අහෝසි කරන්න ඕන. 

මගේ ප්‍රශ්නය දහනවයට ඡන්දය දුන් අය එසේ දුන්නේ ඇයි ද කියන එක. එය එකල ආණ්ඩුවේ ඡන්දලින් පමණක් නොවෙයි සම්මත වුණෙ. තුනෙන් දෙකක ඡන්දයක් පාර්ලිමේන්තුවේ ලබා දුන්නෙ ඇයි? එදා රැවටුණා ද? අනාගතයේත් රැවටෙන්න පුළුවන් ද? අපට කරුණාකරල කියන්න  එදා දහනවයට ඡන්දය දෙන්නට තිබුණු හේතුව මොකක් ද කියලා. 

අද පොදුජන පෙරමුණේ හා ශ්‍රී ල නි පක්‍ෂයේ අය එදා දහනවයට ඡන්දය දුන්නා කියලා අප මැතිවරණයේ දී ඔවුන්ට ඡන්දය නොදී ඉන්නෙ නැහැ. එහෙත් ඡන්දදායකයන් හැටියට අප දැන ගන්න ඕන එදා ඡන්දය දුන්නෙ ඇයි කියලා. එදා දහතුනට විරුද්ධ ව ඡන්දය දුන්න වගේ පෙන්නන්න ඕන නැහැ. අපට වරදින්න පුළුවන්. අප වැරදි හදාගන්න ඕන. වැරදි කෙරුවෙ නැහැ කියල පෙන්නන්න ඕන නැහැ. එදා දහනවයට විරුද්ධ ව ඡන්දය දුන්නෙ සරත් වීරසේකර විතරයි. ජානක බණ්ඩාර ඡන්දයෙන් වැළකිලා ගෙදර ගියා. 

දහනවය අහෝසි කරන්න තුනෙන් දෙකක් ඕන. තුනෙන් දෙක ගන්න කොන්දේසිවලට යටත් ව වෙනත් පක්‍ෂ සමග ඊනියා ජාතික ආණ්ඩු හදන්න සමහරුන්ට ඕන වෙයි. ව්‍යවස්ථාව සංශෝධනය කරනව කියන්නෙ ඩීල් දැමිල්ලක් නොවෙයි. එහි ගණුදෙනු දේශපාලනයක් තියෙන්න බැහැ.