Main Logo

Sunday, 5 July 2020

මේ වස්සාන කාලයයි

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0   1   2     3        5   6   7   8    9






මේ වස්සාන කාලයයි  

ඊයේ ඇසළ පුන් පොහොය. බුදුහාමුදුරුවන් ඉසිපතනේ මිගදායේ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ දිනය. කොණ්ඩඤ්ඤ තවුසා අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුරුවන් වූ දවස. ලෝකයට තුන් සරණය ඇති වූ දිනය. එයට කලින් හිටියේ මියන්මාරයේ තපස්සු භල්ලුක වැනි දෙසරණ පමණක් සරණ ගිය අය. අදත් ඉන්නවා ලංකාවේ මංගල සමරවීර වැනි දෙසරණ පමණක් සරණ ගිය අය. ඒක වෙන ම කරුණක්. 


දම්සක් පැවතුම් සූත්‍රය ගැනත් විවිධ අර්ථකථන තියෙනවා. මා කියන විධියට නම් විවිධ දම්සක් පැවතුම් සූත්‍ර තියෙනවා. මගේ දම්සක් පැවතුම් සූත්‍රයේ වැදගත් වන්නේ මධ්‍යම ප්‍රතිපදාව. මේ නිවන් සම්මාබෝධය සඳහා. කාමයේ ගැලීමෙන්වත් අධික දුක් දීමෙන්වත් සසරේ නිට්ඨාවක් දකින්න බැරි බවයි බුදුූහාමුදුරුවන් අපට කියා දුන්නෙ. උන්වහන්සේ අපට අනුදුන වදාළ මග ආර්ය අෂ්ඨාංගික මාර්ගය. 

එහි සම්‍යක් කියන්නේ හරි එහෙම නැත්නම් නිවැරදි කියන එක නොවෙයි යන්නයි මගේ අදහස. සම්‍යයක් කියන්නේ නිවනට අදාළ දේවලට. මා නිවන ගැන කියන්නෙත් අවබෝධයක් ලෙස නොව සම්මාබෝධයක් ලෙස. අපට ගණිතය, විද්‍යාව, කලාව, දර්ශනය, ඉතිහාසය, දේශපාලනය වගේ ලෞකික දේ අවබෝධ කර ගන්න පුළුවන්. ඒවයෙ ඇති සම්මාබෝධයක් නැහැ. අවබෝධය මනස හා සම්බන්ධයි. සම්මාබෝධය මනසින් කරන්න බැහැ. අප පනස්හයේ සිට දේශපාලනයෙ මධ්‍යම ප්‍රතිපදාවක් ගැන කිව්වත් තාම ඒ ප්‍රතිපත්තිය හදා ගන්න බැරි වෙලා. 

බුදුහාමුදුරුවන් දම්සක් පැවතුම් සූත්‍රයට පස්සේ දේශනා කර තියෙන්නෙ අනත්තලක්ඛණ සූත්‍රය. මම කියන සංකල්පය ම බොරුවක් බවයි කියැවෙන්නෙ. ආත්මය මොන බොරුවක් ද කියල බුදුහාමුදුරුවන් දේශනා කරනවා. අපට පසුව වැදගත් වෙනවා පටිච්චසමුප්පදාය. මෙයින් කියැවෙන්නෙ නොදැනුමයි. අනිච්ච දුක්ඛ (අයහපත් හිස් බව) අනාත්ම නොදැනීම නිසා අප දැනුම ගොඩ නගමින් සසරේ ගමන් කරන එකයි මගේ පටිච්චසමුප්පදා තේරුම. අවිජ්ජා පච්චයා සංඛාරා තමයි එක් අතකින් මගේ පාඨය. දැන් අහන්න එපා මම කියා කෙනෙක් නැත්නම් මගේ පාඨ තියෙන්නෙ කොහොමද කියල. ඒ තමයි මගේ ලෝකය. නිවන සම්මාබෝධ වන තෙක් මට මගේ ලෝකයක් තියෙනවා. මම දැනුම නිර්මාණය කරනවා.

බටහිර බුද්ධිමතුනටත් ඇත්තේ එක එක පටිච්චසමුප්පාද. ගොම්බ්රිච්ට පටිච්චසමුප්පදාය එක එක කොටස් මූට්ටු කරල හදපු එකක්. එයාට සලකන මෙරට බෞද්ධ උගත්තු ඉන්නවා. ඔවුන්ට ඇත්තේ අවිජ්ජාව තද සැරෙන්. ඒකට අපට කරන්න දෙයක් නැහැ. ලව්මාකිස් (මේ නම් මෙහෙම ලියන එකෙන් ඔවුන්ගෙ උච්චාරණය ලැබෙනවා ද කියලා මා දන්නෙ නැහැ) කියන අයට අනුව පටිච්චසමුප්පදාය කියන්නෙ තවත් ඥානවිභාගයක් (epistemology). නොදැනුමක් ගැන කියන්නක් තවත් ඥානවිභාගයක් වෙන්නෙ බටහිර ක්‍රිස්තියානි ඇසකින් බුදුදහම දෙස බලන අයකුට ම වෙන්න ඕන. 

බුදුහාමුදුරුවන් පළමු ධර්ම දේශනය කළෙ වස්සානයෙ. හැබැයි ඒ කාලෙ පළමු හාමුදුරුවරු වස් සමාදම් වුණෙ නැහැ. අප කියන විධියට වස් හිටෙව්වෙ නැහැ. හාමුදුරුවරුන් හැටඑක්නමක් වුණාට පස්සෙ බුදුහාමුදුරුවන් චරත භික්ඛවෙ, චාරිකා බහුජන හිතාය ආදී වශයෙන් දේශනා කර රහතන් වහන්සේ ධර්ම දේශනාව සඳහා යොමු කෙළෙ වස්සාන කාලයෙ.  

වස් කාලයෙ පන්සලෙන් පිට අවශ්‍ය කාරණයකට මිසක් වඩින්න එපා කියල බුදුුහාමුදුරවන් හාමුදුරුවරුන්ට දේශනා කෙළෙ වැහි කාලෙ වැඩම කළ හාමුදුරුවරුන් තණකොළ ගහක්වත් තියාගන්න දෙන්නෙ නැහැ කියල නිඝන්ඨයන් චෝදනා කළාට පස්සෙ. ඊට පස්සෙ වැහි කාලය ඇසළ පොහොයත් සමග ඇරඹෙනවා. මේ වස්සාන කාලයයි කියල අපට පන්සලට ගියා ම මතක් කරල දෙනවා. 

මියන්මාරයේත් ඊයෙ වස්සාන කාලය පටන් ගත්තා.  අප ලංකාවෙ වස්සාන කාලය පටන් ගැනීමේ දී හාමුදුරුවරුන් ගෙදරට  වඩම්මන්නෙ නැති වුණාට මියන්මාරයෙ එහෙම කරන සිරිතක් තියෙනවා. ඒක වස් ප්‍රතිපත්තිය සමග සංගත ද කියල මගෙන් අහන්න එපා. කොහොම වුණත් ඊයේ අපේ තානාපති කාර්යාලයෙ වැඩ කරන මියන්මාරයෙ අයකු තම නිවසට හාමුදුරුවරුන් තුන් නමක් වඩම්මලා දානයක් දුන්නා. එයට ලංකාවෙන් පැමිණ ඇති අප සියළු දෙනාටත් ආරාධනා කර තිබුණා. 

ඒ දානයේ දී මා තරමක් වෙනස් දේත් දැක්කා. ඒ මියන්මාර සම්ප්‍රදාය. හාමුදුරුවන් දහය වෙන කොට වැඩිය. උන්වහන්සේ දීර්ඝ අනුශාසනාවක් කළා. පිරිස පන්සිල් සමාදන් කෙරෙව්වෙ අතර මැද. මා හිතන්නෙ පන්සිල් පාලියෙන් දෙන අතර ම මියන්මාර භාෂාවෙන් තේරුම කියා දුන්නා කියා. එය එහෙම ද කියන එක හෙට අහගන්න ඕන. අතර මැද රතන සූත්‍රය කරණීය මෙත්ත සූත්‍රය ද පාලියෙන් දේශනා කළා. 

අනුශාසනාවට සවන් දුන් අය භික්‍ෂූන් වහන්සේ දිසාවට පාද දික් කරන්නෙ නැතිව හිටියා. පාද පිටිපස්සට කරන කලාව මා දන්නේ නැති නිසා එරමිණිය ගොතා ගෙන හිටියා. අපේ වගේ ම මළවුන්ට පැන් වක්කර පින් දීමක් ද තිබුණා. ඒත් දානය පිරිනැමුවෙ අමුතු ක්‍රමයකට. දානය (බත් හා වෑංජන) පළමුව මිටි මේසයක් මත තැන්පත් කළා. ඉන්පසු ඔවුනුත් අපත් එකතු වී මේස ලැල්ල උස්සා හාමුදුරුවන්ට පිළිගැන්වුවා. හාමුදුරුවන් අත ගසා ඒ පිළිගත් පසු මේස ලෑල්ල පහත් කළා. ඉන්පසු හාමුදුරුවරු තමන්වහන්සේට අවශ්‍ය ප්‍රමාණයට මාළු පිණි බෙදා ගෙන වැළඳුවා. පින්දීම් සියල්ල කෙරුණේ දානය වැළඳීමට පෙර. දානය වළඳා හාමුදුරවරුන් ආපසු වැඩම කළාට පස්සෙ අප සප්පායම් වුණා. 

මේ සමග ඇති ඡායාරූප දෙක ඒ පින්කමේ දී ගත් ඒවා. වස් කාලයේ දී මියන්මාර වැසියන් කිසිම සුබ වැඩක් කරන්නෙ නැහැ කියනවා. මගුල් තුලා, ගෙවල් මාරු කිරීම් ආදී කිසිවක් වස් කාලයේ දී කෙරෙන්නෙ නැහැ කියනවා. කොවිඩ් පහව ගියොත් අප තානාපති කාර්යාලයත් මියන්මාරයේ සිටින ශ්‍රී ලාංකිකයනුත් එකතු වී වස් පවාරන පින්කමකට දායක වීමේ ප්‍රාර්ථනයක් තියෙනවා.