෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල ලිත් ඉලක්කම්
0 1 2 3 4 5 6 7 8 9
හඳ සාක්කි කියන්නෙ නැහැ
මගෙන් යමකු මහවැලි ගඟේ දිග කීය ද කියා ඇහුවොත් මා දන්නේ නැහැ. සමනළ කන්දේ උස දන්නෙත් නැහැ. ඒවා සමාජ සම්මතය ලෙස ගත් කල නිවැරදි ව කියන්න දන්න බොහෝ දෙනකු ලංකාවේ ඇති. ඒ සමහරු විශ්වවිද්‍යාලයකට එන්නේ නැහැ. ඒ ඔවුන්ගේ කැමැත්තට නොවෙයි. උසස් පෙළ පරීක්‍ෂණය නමැති කඩුල්ලේ උස ඔවුන්ට හරියට ගණනය කර ගන්න බැරි නිසා. ඔවුන්ට කඩුල්ල පැන ගන්න බැහැ. තවත් සමහරුන්ට අර සාමාන්‍ය දැනුම කියන දැනුමත් නැහැ කඩුල්ල පැන ගන්නත් බැහැ. ඔවුන්ගෙන් සමහරු දේශපාලන සම්බන්ධකම් මත පිටරට යනවා. ගිහින් ආවට පස්සෙ කන්දොස්කිරියාවෙ ඉන්න බැහැ.
දැන් අර මහවැලි ගඟේ දිග දන්න අයට ඇත්තෙ දැනුමක්. සමාජ සම්මතය අනුව ඒවාට දැනීම කියනවා. එවැනි දැනුම්වලට සාමාන්‍ය දැනීම කියලත් කියනවා. මා මහවැලි ගඟේ දිග දන්නෙ නැහැ. ඒත් මහවැලි ගඟේ දිග මෙහොතෙන් මොහොත වෙනස් වන බව මා කියනවා. මෙහි මොහොතින් මොහොත කියා කිව්වත් මොහොත කියන්නෙ මොකක් ද කියා මා දන්නේ නැහැ. ථෙරවාදයේ කියැවෙන ක්‍ෂණවාදයේ ක්‍ෂණයත් මා දන්නේ නැහැ. මට ඒ සඳහා කතන්දරයක් නැහැ.
මහවැුලි ගඟේ දිග මොහොතෙන් මොහොත වෙනස් වුණත් කාට හරි කියන්න පුළුවන් එයට සාමාන්‍ය දිගක් තියෙනවා කියලා. දිග වෙනස් වන්නේ ඒ සාමාන්‍යය වටා කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ වෙනස් දිග්වල සාමාන්‍යය අප ලබා ගෙන තියෙනවා කියන්නත් පුළුවන්. එහෙත් එහෙම එකක් සිද්ධ වන්නේ නැහැ. විවිධ ක්‍රම යොදා ගෙන අප මහවැලි ගඟේ දිග මැන ගන්නවා. ඒ ලැබෙන ප්‍රතිඵලය මහවැලි ගඟේ දිග හැටියට සලකනවා.
මහවැලි ගඟ තියෙන්නෙ කොළඹ ඉඳන් වැඩි ඈතක නො වෙයි. මහියංගනය පැත්තෙ අයට බොහොම නුදුරින්. නුවරටත් එහෙමයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලය අසළින් ගලා යනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය තියෙන්නෙ හොඳ පරිසරයක. මහවැලි ගඟ හා හන්තාන. එච්චර තමයි. ලංකාව නූතනත්වයට උස්සන්න ගිහින් මහන්සිවෙලා පේරාදෙණිය දැන් හති අරිනවා. පේරාදෙණි සාහිත්‍යය කියන්නෙ සිංහල සාහිත්‍යය නූතනත්වයට උස්සන්න ගත්තු මහන්සියෙ ප්‍රතිඵලය.
1963-64 පේරාදෙණියෙ ගත කළ මගේ පළමු වසරේ මා ඉගෙන ගත් දෙයක් තමයි මහවැලිය ගඟක් නොවන බව. මා භූගෝලවිද්‍යාව ඉගෙන ගෙන නැහැ. උපාධියට නොවෙයි අටවැනි පංතියෙන් එහාට ඉගෙන ගෙන නැහැ. ජී එච් පීරිස් තම දේශනවල දී කී දෙයක් මා දැන ගත්තෙ ශාස්ත්‍ර පීඨ මිතුරෙක්ගෙන්. දැන් එහෙම නම් මහවැලි ගඟේ දිග අහන්නෙ මොන එහෙකට ද? නැති ගඟකට දිගක් තියෙන්න පුළුවන් ද? ගඟක් නැත්නම් මහවැලි ගං ඉවුරේ තරුණ තරුණියන් පෙම් සුව විඳින්නෙ කෙහොම ද? ඒක අහගන්න ඕන ගීත රචකයකුගෙන්.
අපි මහවැලියෙන් ටිකක් ඈතට යමු. ටිකක් කිවුවට ඒ විශ්වය සමග සසඳන විට. අපි හඳට යමු. කාලෙකින් කවුරුන්වත් හඳට ගිහින් නැති බව ඇත්ත. හඳේ වයස කීය ද? ඒක සාමාන්‍ය දැනුමක් ද දන්නෙ නැහැ. නාලක ගුණවර්ධනගෙන් අහන්න ඕන. ඔහු ජාතිකවාදයට විරුද්ධයි. ඒකට කමක් නැහැ. මට හඳේ වයස දැන ගන්න එතරම් වුවමනාවක් නැහැ. තාරකා විද්‍යාඥයො නම් කියන්නෙ අඟහරු වගේ වස්තුවක් පොළොව සමග ඈත ඈත අතීතයේ හැපිලා විසි වෙච්ච කෑලි එකතුවෙලා හඳ හැදුණා කියලා. ඒක දැනුමක් කියල කියනවා. විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න. මට නම් ඇත්තෙ අවිශ්වාසයක්.
දැන් ප්‍රශ්න වන්නෙ ඔය හැප්පීම සිද්ධ වුණෙ කවදා ද? ඒ කෑලි ටික එකතු වෙන්න කොච්චර කල් ගියා ද? බටහිර විද්‍යාඥයො ඒවට උත්තර හොයනවා. නැහැ උත්තර බඳිනවා. උසාවියෙ උත්තර බඳිනවා කියල කිවුව අයගෙ නමට ගෞරව කරන්න ඕන. දැන් කාලයක් තිස්සෙ උත්තර බඳිනවා. අපි සමහරු ඒ උත්තර ඉගෙන ගෙන අනික් අයට උජාරුවෙන් කියල දෙනවා. අපිත් එතකොට පොරවල් වෙනවා. මාධ්‍යවේදියොත් පොරවල් හොයා ගෙන ගිහින් වොයිස්කට් ගන්නවා.
මා මෙය කියන්නෙ පොරක් වෙන්න නෙවෙයි. කිසිම මාධ්‍යවේදියකු හඳ ගැන තියා පොළොවෙ තියෙන දෙයක් ගැන අහන්න මා සොයා එන්නෙ නැහැ. මා අද උදේ දැන ගත්තා (දැන ගත්තා කියන්නෙ මොකක් ද? දැන ගන්නෙ දැනුම ද?) හඳේ වයස අවුරුදු බිලියන 4.25ක් කියල බටහිර විද්‍යාඥයන් කියනව කියලා. මේක ඊනියා දැනුම් ලෝකෙ නොවෙ. දැන ගන්නෙ නැතිව ඉන්නත් ටිකක් අමාරුයි. අප දැනුම සොයා ගියේ ඉස්සර. දැන් දැනුම අප සොයා එනවා. හඳ අර කෑලි පූට්ටු කර ගෙන හැදුනෙ සෞරග්‍රහ මණ්ඩලය හැදිලා අවුරුදු මිලියන 60කට පස්සෙ කියලත් ඒ විද්‍යාඥයො කියනවා. මේ සංඛ්‍යා මට නම් හෙට වෙන කොට අමතක වෙනවා. කොහොමටත් මා දැනුම මිනුම තරගවලට කවරදාවත් ඉඳලා නැහැ.
දැන් අවුරුදු කිහිපයකට ඉසසෙල්ල හඳේ වයස කීයෙයි කියලා ද හිතන්නෙ. ඒක අවුරුදු බිලියන 4.25ට වඩා අවුරුදු දෙක තුනක් අඩු වෙන්න එපායැ. ඒත් 2017 දී පමණ බටහිර විද්‍යාඥයන් අවසාන වශයෙන් කියල තියෙනවා එදා හඳේ වයස අවුරුදු බිලියන 4.51යි කියල. ඒ කියන්නෙ අවුරුදු මිලියන 0.26ක් විතර අදට වඩා වයසයි කියල. එදා කිව්ව වයසට වඩා අද වයස අඩුයි. ඒ කියන්නෙ හඳ තරුණ වෙලා ද? බටහිර වෙදමහත්තුරු කියනව හදවත් සැත්කමක් කළා ම තරුණ වෙනව කියල. හඳ හදවතත් එක්ක සම්බන්ධයි කියල කියනවා. සැත්කමක් කළා නම් ඒකත් හොඳයි.
මට දැන ගන්න ඕන අද විද්‍යාඥයන් හඳට කියන වයස දැනුමක් ද කියල. ඒක වෙනස් වෙන්න පුළුවන් ද? දැනුම කියන්නෙ මොකක් ද? පඬි නැට්ටකු කියන්න පුළුවන් විද්‍යාඥයන්ගෙ දැනුම එන්න එන්න නිවැරදි වෙනවා හරි ඒ වගේ මොකක් හරි. අපි නිවැරදි ම දැනුම ලබා ගන්නෙ කවදා ද? නිවැරදි නොවන දැනුම් තියෙනවා ද? නිවැරදි නොවන දැනුම් දැනුම් ද? විද්‍යාඥයන් කියන්නෙ නිවැරදි නොවන, එහෙමත් නැත්නම් වැරදි දැනුම් ද? වැරදි දැනුම්වලට දැනුම් කියනවා ද? හඳ සාක්කි කියන්නෙ නැහැ.