Main Logo

Saturday 1 August 2020

කලකට පසු තනි පක්‍ෂයක ආණ්ඩුවක්

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9




කලකට පසු තනි පක්‍ෂයක ආණ්ඩුවක්

පොදු ජන එක්සත් නිදහස් සංධානය තනි පක්‍ෂයක් ලෙස ආණ්ඩුවක් පිහිටුවාවි. තුනෙන් දෙක ලැබුණත් නැතත් එය විශාල ජයග්‍රහණයක්. 1994 මැතිවරණයේ දී චන්ද්‍රිකාගේ නායකත්වයෙනුත් ලබා ගත හැකි වූයේ ආසන 105 ක් පමණයි. ඒ දහහත් අවුරුදු එ ජා ප ශාපයෙනුත් පසුව. ඒ කුමක් වුණත් පොදු ජන පෙරමුණේ ඇතැම් නායකයන් ශ්‍රී ල නි පක්‍ෂයට විරුද්ධ ව කරන ප්‍රකාශ ගැන නම් කිව හැක්කේ ඒවා දේශපාලන කුපාඩි කියමන් බව පමණයි. 


පොදු ජන පෙරමුණේ ඇතැමුන්ට ඉතිහාසයක් ජාතිකවාදී දේශපාලනයක් තේරෙන්නේ නැහැ. යහපාලනයට ගිය අයට මනාප දෙන්න එපයි කියන්නෙ පොදු ජන පෙරමුණේ ඉන්න අය උපන්දා සිට මහින්ද රාජපක්‍ෂ සමග සිටි නිසා ද? එසේත් නැත්නම් ඔය කිසිවකු එක්සත් ජාතික පක්‍ෂයට කිසි දා නොගිය නිසා ද? මා නම් සඳහන් කරන්නේ නැහැ. එහෙත් සංධාන ආණ්ඩුවල පක්‍ෂවල ඉඳල එ ජා පක්‍ෂයට ගිහින් ආපසු ආ අය අද පොහොට්ටුවෙන් තරග කරනවා. චන්ද්‍රිකාගේ සිංහල බෞද්ධ විරෝධී දේශපාලනයේ අවලම් තවලම් ගිය අය, සුදු නෙළුම් ගත්තවුන් අතර හිටියේ මංගල සමරවීර පමණක් නො වෙයි. ඔහු නම් සුදුසු තැනට ගියා. එහෙත් තවත් අය ඉන්නවා. දහනවයට ඡන්දය දුන් කී දෙනකු ඉන්නවා ද? මන්ත්‍රීවරයකු ව සිට ඡන්දය නුදුන් අයකුට ඉන්නේ සරත් වීරසේකර පමණයි. 

සිරිසේන ගැන මැතිවරණයෙන් පසුව කතා කරමු. මා කලිනුත් කියා ඇති තුවාල පාරන්න දැනට මට අවශ්‍ය නැහැ කියලා. එහෙත් ඉතිහාසය මතක් කරන්න වෙලාවක් එනවා. එදාට අපි කාගෙ කාගෙත් කිල්ලෝට බලමු. සිරිසේන වරදක් කළ බව පැහැදිලියි. එහෙත් එයට වග කිව යුත්තේ ඔහු පමණක් නො වෙයි. පොදු ජන එක්සත් නිදහස් සංධානයට ආසන 113කට වඩා ලැබෙන්නේ ඔය සිරිසේන විරෝධී වීරයන් නිසා නොවෙයි. අද සිංහල ජාතිකත්වය ශක්තිමත් නිසා. එය තහවුරු වී ඇති නිසා. එය ශක්තිමත් කිරීමට සිරිසේනත් කටයුතු කර තියෙනවා. 2018 ඔක්තෝම්බරය අමතක කරන්න බැහැ. එදා මහින්ද අගමැති නොකළා නම් රටේ ඉතිහාසය වෙනස් වන්න තිබුණා. අඩුම තරමින් එම්සීසී ගිවිසුම අත්සන් කරන්න තිබුණා. මහින්ද රැක ගැනීමට 2018 බැරි වූයේ ඇතැමුන් බද්‍යුද්දීන්ගේ පක්‍ෂය කඩන්නට එකඟ නොවුණු නිසා. මට තව තවත් සිරිජාතිකවාදියා කියන්න. සිරිසේන ජනාධිපති වූ විගස දරමින් සිටි තනතුරකින් අස් වූයේ මා බව සිරිසේන විරෝධී වීරයන්ට අමතකයි. 

පොදු ජන පෙරමුණු සංධානයෙ අනෙක් දේශපාලන පක්‍ෂවල සංවිධානවල මෙන් ම විවිධ මතධාරීන් ඉන්නවා. ඊනියා වීරයන්ගේ මතය එක් මතයක් පමණයි. එය අධිකාරී මතය නොවෙයි. පඬි නැට්ටන්ට ඕවා තේරෙන්නේ නැහැ. අනුර රනිල්දාසගෙ සංධානයෙ අධිකාරී මතය දැන ගැනීමට අවශ්‍ය නැහැ. එ මත එකක්වත් ක්‍රියාත්මක වන දේ නොවෙයි.  

අද සිංහල ජාතිකත්වය කෙතරම් ශක්තිමත් ද යන්න වැටහෙන්නේ බද්‍යුද්දීන්ලා හකීම්ලා මනෝ ගනේෂන්ලා ක්‍රියා කරන ආකාරයෙන්. ඔවුන් සාමාන්‍යයෙන් දිනන පැත්තට එකතු වෙනවා. අද ඔවුන් සජිත්ට එකතු වෙලා. එ කියන්නේ සජිත් අටව ගෙන තියෙන පක්‍ෂය දිනනව කියන එක නො වෙයි. පොදු ජන එක්සත් නිදහස් සංධානයට ඔවුන් අවශ්‍ය නැති නිසා ඔවුන් සජිත්ට එකතු වෙලා. යම් අයුරකින් පොදු ජන එක්සත් නිදහස් සංධානයට 113ක් නොලැබෙන්න තිබුණ නම් ඔවුන් සංධානයට එකතු වී ඔවුන්ගේ සිංහල විරෝධී කොන්දේසි පනවනවා. 

අද එය කරන්න බැහැ. ඔවුන්ගේ මන්ත්‍රී ආසනවලට වටිනාකමක් නැහැ. එහෙම කොන්දේසි පැනෙව්වත් ගෝඨාභය රාජපක්‍ෂ ඒ පිළිගනීවි කියා මා හිතන්නේ නැහැ. සිදුවිය හැකිව තිබුණේ අස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමයි. අප කළ යුත්තේ ඊනියා වීරයන්ගේ චොකා බයිලා පැත්තකට දමා සංධානයට සිරිසේන සහ ශ්‍රී ල නි පාක්‍ෂිකයනුත් සමග 113ට වඩා අතිවිශාල මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් හිමි කිරීමට කටයුතු කිරීමයි. එහි දී ජාතිකත්ව මතධාරීන් විශාල පිරිසක් ජයග්‍රහණය කරවීමටත් කටයුතු  කරන්න ඕන.   

හකීම්ලා රනිල්ට එකතු වන්නේ නැහැ. රනිල්ට කොළඹ හා නාගරික ප්‍රදේශ කිහිපයක හැරෙන්න ඡන්ද නැහැ. අද සජිත් තමයි හකීම්ලාට ඉන්න එක ම නායකයා. පාර්ලිමේන්තුවේ දී ඔවුන් සජිත් දෙමළ ජාතික සංධානයේ පිරිසක් සහ බැරි වීමකින් ජ විරෝධී විකාර පෙරමුණේ මන්ත්‍රීවරුන් හිටියොත් ඔවුනුත් එකට වැඩ කරාවි. සජිත් විපක්‍ෂ නායකයා වීම ආණ්ඩුවට විශාල ශක්තියක් වේවි. රනිල් නිශ්ක්‍රීය චරිතයක් බවට පත්වෙන්න ඉඩ තියෙනවා. 

හකීම්ලා මනෝ ගනේෂන්ලා සජිත් සමග එකට සිටිනවා කියන්නෙ ම පොදු ජන එක්සත් නිදහස් සංධානයට මැතිවරණයෙන් මන්ත්‍රී ධුර 113කට වඩා ලැබෙන බව පැහැදිලි ය කියන එකයි. සජිත් මොන කතා කිව්වත් කවටයකු වීමට අමතර ව බෙදුම් වාදියෙක්. සිංහල විරෝධියෙක්. එයින් කියන්නේ රනිල් සිංහල විරෝධියකු නොවන බව නොව අද විජාතික කඳවුර සජිත් තම නායකයා ලෙස තෝරා ගෙන ඇති බවයි. 

සිංහල විරෝධී විජාතික කඳවුරට මීටත් වඩා පල්ලම් බහින්න පුළුවන් ද? බැරි කමකුත් නැහැ. අනුර රනිල්දාස නායකයා කර ගත්තොත් ඒ කරන්න පුළුවන්. ඉතිහාසය දන්නා සිරිවීරගෙන් තමයි අහගන්න ඕන. ඔහු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ලෙසත් රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙසත් කටයුතු කර ඇති විද්වතෙක්. අසාධාරණයට විරුද්ධ ව ජනතා විරෝධීන් සමග වුවත් එකතු වෙන ඔහු රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති ව ඉන්න කාලෙ එහි වයඹ (කුලියාපිටිය) මණ්ඩපයේ ගණිත මහාචාර්ය ධුරය හිස් ව තිබුණා. සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වීමෙන් පසුවත් එය නොපිරවීම ඉතිහාසයට අයත් දෙයක්. සිරිවීර උපකුලපති ව සිටි නිසා එය අසාධාරණයක් වෙන්න බැහැ. ඒ ගැන තවත් කීර්තිමත් විද්වතකු වූ ජී එල් පීරිස් මෙන් ම තවත් විද්වත් අයත් දන්නවා.   


සිංහල ජාතිකත්වය ශක්තිමත් නිසා ඊනියා ජාතික ආණ්ඩු හැදීමේ අවශ්‍යතාවක් පැන නගින්නේ නැහැ. තුනෙන් දෙකේ බලයක් නොලැබුණත් හකීම් මනෝ ගනේෂන් බද්‍යුද්දීන් වැන්නන් කිසි ලෙසකින්වත් ආණ්ඩුවට ගන්න හොඳ නැහැ. තුනෙන් දෙකේ බලයක් නැතත් තත්වය පාලනය කර ගන්න පුළුවන්. හකීම්ලා දහතුන නැති කරන්න කැමති වන්නේ නැහැ. ඔවුන් නැතිවත් ආණ්ඩුව ගෙන යන්න පුළුවන්. ඔවුන් සජිත් සමග ම සිටියාවෙ.