Main Logo

Thursday 27 August 2020

සිංහලයන් බෞද්ධයන් නොවීමේ දුක

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9




සිංහලයන් බෞද්ධයන් නොවීමේ දුක 


සිංහලයන්  බෞද්ධයන් වුණා නම් කෙතරම් හොඳ ද කියා මට වෙලාවකට හිතෙනවා. මෙතනදි ප්‍රශ්නයක් ඇති වෙනවා බෞද්ධයා කියන්නෙ කාටද කියන එක. මට තේරෙන බුදුදහම සමහර විට වැරදි වෙන්න පුළුවන්. අර ලන්ඩන් නුවර පළකරන ලංකා වෙබ් සංස්කාරකවරයා මගේ ලිපි පළ කිරීම නැවැත්තුවෙ මා කියන බුදුදහම වැරදි කියා. අප එකිනොකට තියෙන්නෙ විවිධ බුදුදහම්. කොයික ද හරි කියන එක වගේ ප්‍රශ්න මා අහන්නෙ නැහැ. මට තේරෙන බුදුදහම සිංහලයන් ඉතා වැඩි පිරිසක් ප්‍රතික්‍ෂෙප කරන බව මා දන්නවා. 

කලකට පෙර කාලෝ ෆොන්සේකා ඉන්න කාලෙ එක් හාමුදුරුනමක් මගෙන් ඇහුව මහත්තයා විද්‍යාව පට්ටපල් බොරු කිව්වට ප්ලේන් එහෙම යනව නේද කියා. එවැනි ප්‍රශ්න කාලොත් අහල තියෙනවා. කාලො බෞද්ධ නොවන නිසා කොහොමටත් ඵ්ක තේරෙන්න කල්යනවා. ඔහුට මිය යන තෙක් ම ඒක තේරුණෙ නැහැ. අපේ හාමුදුරුවන් වමට බර හාමුදුරුවන් වහන්සේ නමක්. කාලෝ ලියන කියන ඒවා අදහපු හාමුදුරුනමක්. මට උන්වහන්සේගෙන් එක සැරේට ම අහන්න හිතුනෙ ඔබ වහන්සේ බෞද්ධ ද කියල. ඒත් මා එහෙම ඇහුවෙ නැහැ.  

මේ බොරු පට්ටපල් බොරු කතා මා දන්න බුදුදහමට නම් එකඟයි. සමහර විට මගෙන් ප්‍රශ්නය අහපු හාමුදුරුවො ධර්මදේශනාවලදි උත්සාහ ගන්නව ඇති ආත්මය කියා එකක් නැති බව කියන්න. ඕක අපි බොහෝ දෙනෙක් කියනවට කියනව මිසක් තේරුම් ගන්න එකක් නොවෙයි. තේරුම් ගත්තත් ප්‍රත්‍යක්‍ෂ කරල නම් නැහැ. අපි වැඩ කරන්නෙ ආත්මය කියල එකක් තියෙනව කියා හිතාගෙන. අපි අම්ම තාත්ත ඉන්නව කියල හිතනවා. හාමුදුරුවරු වැඩ ඉන්නව කියල හිතනවා. අඹු දරුවො ඉන්නව කියල හිතනවා. එහෙම හිතා ගෙන වැඩ කරනවා. එහෙම නැතිව ලෝකෙ (අප සංස්කරණය කර ගන්න ලෝකෙ) ජීවත් වෙන්න බැහැ. 

හාමුදුරුවරු ආත්මයක් නැහැ කියන කතාව කියන්න සමහර වෙලාවට කරත්තය උපමාවකට ගන්නවා. මිලින්ද ප්‍රශ්නයත් ගන්නවා. කරත්තය බෝන් ලීය, රෝද ආදී වශයෙන් කොටස්වලට කඩන්න පුළුවන්. එහෙම කැඩුව ම කරත්තය කියල එකක් නැහැ. එතකොට රෝදය තියෙනවා ද? රෝදයත් ඒ විධියට කඩන්න පුළුවන්. එහෙම කඩා ගෙන ගියා ම මුකුත් නැහැ. බටහිර භෞතික විද්‍යාව හදාරල තියෙන අයකු ක්වාර්ක්, තන්තු හරහා ගිහිල්ල අංශු කියල දෙයක් නැති බවත් කියන්න පුළුවන්. ක්වොන්ටම් ක්‍ෂෙත්‍ර ප්‍රවාදයට (ක්වොන්ටම් යාන්ත්‍රිකයට එහා ගිය Quantum Field Theory) අනුව අංශු කියන්නෙ යම් ක්‍ෂෙත්‍රයක උද්දිපන. එතකොට ඔය ක්‍ෂෙත්‍ර පවතිනවා ද? බටහිර භෞතික විද්‍යාව ඒකට උත්තරයක් දෙන්නෙ නැහැ. ඔවුන් හිතනවා වෙන්න පුළුවන් ඒ පවතින බව. 

මට හිතෙන විධියට බුදුදහමට අනුව ඔය කිසි දෙයක් නැහැ. ක්‍ෂෙත්‍රත් නැහැ. ක්‍ෂෙත්‍ර ආදී සියල්ල මගේ සංස්කරණ. හැබැයි මමත් නැහැ. එයත් සංස්කරණයක්. ඒක සංස්කරණය වෙන හැටි පටිච්ච සමුප්පදායෙ කියනව. ඒක චක්‍රීය කතාවක්. දෙවියන් වහන්සෙ මැවුවෙ කවුද කියන එකට කාන්ට් උත්තර දෙන්නෙ රේඛීය චින්තනයෙ. චක්‍රිය චින්තනයෙ දෙන උත්තර රේඛීය චින්තනයෙ දෙන උත්තරත් එක්ක සංසන්දනය කරන්න බැහැ. 

දැන් චක්‍රීය චින්තනය තේරුම් ගන්නෙ නැතිව අහන්න පුළුවන් පටිච්ච සමුප්පදාය තියෙනව ද කියල. නැහැ ඒකත් සංස්කරණයක්. ඒකෙත් පටන් ගැනීමක් නැහැ. අනිච්ච දුක්ඛ අනත්ත නෙදැනීම (අවිද්‍යාව) නිසා සංස්කරණය කෙරෙන දේ. ඒකත් රවුමක්. මෙහි දුක්ඛ කියන්නෙ මගේ බුදුදහමෙ නම් ඊනියා දුක නොවෙයි. චතුරාර්ය සත්‍යයෙ කියැවෙන දුක නම් නො වෙයි. මගේ බුදුදහමෙහි දුක්ඛ කියන්නෙ අයහපත් හිස් බව. දු කියන්නෙ අයහපත නරක ඛ කියන්නෙ හිස් බව. තාරකා විද්‍යාවෙ ඛගෝලය ගැන සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගත්ත අය දන්නවා ඛගෝලය කියන්නෙ හිස් ගෝලයක් කියල. අනිච්ච අනත්ත අස්සෙ ඊනියා දුකක් ගැන කියන්න කිසිම වුවමනාවක් නැහැ. ඔය සෆරින් කියල ඉංගිරිසියෙන් බුදුදහම කියන අයට නම් හැමදා ම දුක තමයි. 

ඔය සියල්ල දෘෂ්ටි. සිංහලෙන් නම් දිට්ටි. නැත්නම් දැක්ම. මා ඉස්සර දැක්ම කියල තීරු ලිපි ලිව්වා. ඒවා දිට්ටි. බොරු. සිංහලයන් බෞද්ධයන් නූණට කියනව මේ යකා  දිට්ටියක් දැකල ද කොහෙ ද කියල. එහෙම නැත්නම් මොන දිටටියක් වැහිල ද දන්නෙ නැහැ කියල. දිට්ටි දකින්නෙ නැතිව අහන්න ද කියල කවුරන්වත් අහන්නෙ නැහැ. ඒක විතරක් නොවෙයි අපි ඔක්කොටම තියෙන්නෙ දිට්ටි. ඔක්කොම බොරු. අපි ඔක්කොට ම දිට්ටි වැහිලා. මෙයින් සම්‍යක් දිට්ඨි කියල කොටසක් තියෙනවා. සම්‍යක් කියන්නෙ ඇත්ත කියන එක නොවෙයි. නිවන සම්මාබෝධයට හිතකර දිට්ඨිවලට. ඒවත් අත්හරින්න ඔන. අර ගඟෙන් එගොඩ වුණාට පස්සෙ ඔරුව කර තියාගෙන යෑම මතක් කර ගන්න.  

අපි බොරු තමයි සංස්කරණය කර ගෙන තියෙන්නෙ. අපි ජීවත්වන්නෙ බොරුවෙන් ම තමයි. ඒත් මේ බොරු මුසා නො වෙයි. මගේ බුදුදහමේ මුසා කියන්නෙ බොරුවලට නොවෙයි. අපිට බොරු නොකියා ඉන්න බැහැ. ඒත් මුසා නොකියා ඉන්න පුළුවන්. මේ ලිපිය බොරුවක් ඒත් මුසාවක් නො වෙයි. මේ ලිපිය මගේ නොවෙයි කීවොත් ඒක මුසාවක්. ඒත් ලිපිය මගේ ආදි සංකල්ප බොරු. 

අප කරන්නෙ බොහෝ විට වැඩ කරන බොරු ටිකක් සංස්කරණය කර ගන්න එක. සමහර බොරු තියෙනවා වැඩ කරන්නෙ නැති ඒවත්. උදාහරණයකට මාක්ස්වාදය. එය වැඩ කරන්නෙ නැති පට්ටපල් බොරුවක්. බොරු බොහොමයක් ඇඟට දැනෙනවා. ඒ කියන්නෙ පංචෙන්ද්‍රිය ගෝචරයි. පංචෙන්ද්‍රිය ගෝචර කිව්වට මනසට  තමයි ගෝචර වෙන්නෙ. එහෙම නැතිව මොහොකට ගෝචර වෙන්න ද? පංචෙන්ද්‍රිය ඇසුරෙන් මනසට ගෝචර වෙනවා. ඒකට පංචන්ද්‍රිය ගෝචර කියනවා. ඇහැට කණට පේනවා කිව්වට මනස නැතිව පේන්නෙ නැහැ.  මනස නැතිව කියන්නෙ දැන් මනස තියෙනව කියන එක නොවෙයි. මනස තමයි ලොකුම බොරුව. අර ආත්ම කතාව මනස සමග සම්බන්ධයි. 

මනසක් කියා එකක් නැහැ කිව්ව ම බොහෝ සිංහලයන්ට කේන්ති යනවා. ඔවුන් සමහරුන් හිතන්නෙ නිවන් අවබෝධයෙ දි සිදුවන්නෙ මනස නැති කිරීම එහෙම නැත්නම් ටිකක් පණ්ඩිතමානීව නම් අකර්මන්‍ය කිරීම. ඒක උච්ඡෙදවාදයක්. ඒ මනස බමුණන්ගෙ ශාස්වත මනසෙ අනෙක් පැත්ත. බමුණො කියන්නෙ සසර කෙළවර වන්නෙ බ්‍රහ්මන්ගෙ මනසත් එක්ක, පරමාත්මයත් එක්ක එකතු වුණා ම කියල. අප සසර සැරිසරන්නෙ අපේ පුංචි පුංචි මනස් සමස්තයෙන් වෙන් කර ගන්න නිසා කියල. ඒ මොකක් වුණත් බමුණන්ගෙ මනස සදාකාලිකයි. ඒක අනන්තයි. 

දැන් ඔය පංචෙන්ද්‍රිය ආධාර කරගන්නෙ නැතිව මනසට පුළුවන් සංකල්ප ප්‍රවාද සංස්කරණය කරන්න. ඒව වියුක්තයි. ඒවත් බොරු. ඒ වියුක්ත බොරුවලට මා කියනව පට්ටපල් බොරු කියල. බටහිර විද්‍යාව පට්ටපල් බොරු. ඒව බොහෝ වෙලාවට වැඩ කරන පට්ටපල් බොරු. ගුරුත්වාකර්ෂණය හරි අවකාශ - කාල වක්‍රතාව හරි තන්තු හරි අර ක්වොන්ටම් ක්‍ෂෙත්‍ර හරි පංචෙන්ද්‍රිය ආධාරයෙන් මනසට ගෝචර නැහැ. සමහරුන්ට නම් සමහර විට ගෝචර ඇති. කැලණිය විශ්වවිිද්‍යාලෙ රසායන විද්‍යා අධ්‍යනංශයේ මහාචාර්යවරයෙක් දවසක් කිව්වා ගුරුත්වාකර්ෂණය තමාට ඉන්ද්‍රිය ගෝචර කියල. මා ඔහුට කීවා ඒ ඉන්ද්‍රිය පෙන්නන්න කියා. ඔහු යන්න ගියා. ලජ්ජාවෙන් ද දන්නෙ නැහැ. 

කොහොමත් ගුරුත්වාකර්ෂණය කියන්නෙ ඇපල් වැටෙනවාට නිව්ටන් දුන්න හේතුව බව බොහෝ දෙනකු දන්නෙ නැහැ. මේ තකතීරු අධ්‍යාපනයෙන් කියල දෙන්නෙ ගුරුත්වාකර්ෂණය  හා ඇපල් හරි පොල් හරි වැටීම කියන්නෙ එකක් වගේ. බටහිර විද්‍යාඥයන් හිතන්නෙත් එහෙමයි. අයින්ස්ටයින් කිව්වෙ ඇපල් වැටෙන එකට වෙන හේතුවක්. බටහිර විද්‍යාඥයන් කියන්නෙ අයින්ස්ටයින් ගුරුත්වාකර්ෂණය ඇති වෙන්නෙ කොහොමද කියල තේරුම් කළා කියල. මෙරට සමහර පඬී  නැට්ටන් ඒවා කියවල  තමන්ට තේරෙන විධියට ඒ කතා කියනවා. අපි අහගෙන ඉන්න ඕන. 

ගුවන් යානා යනවා. ගුවන යානා කියන්නෙ වැඩ කරන බටහිර විද්‍යා තාක්‍ෂණය මත හදපු මෙවලම්. වැඩ කරනවා හරියනවා කියන්නෙ හරි කියන එකවත් ඇත්ත කියන එකවත් නො වෙයි. දැන් මම කියන සංකල්පය වැඩ කරනවා. ආත්මය කියන සංකල්පයත් වැඩ කරනවා. මා ගෙදර යන්නෙ මා, ගෙදර, යනවා කියන සංකල්ප තුන ම වැඩ කරන නිසා. ඒක නිසා සිංහලයන් කියනවා ද මා කියල කෙනකු ඉන්නවා කියල. 

අනාත්මය නොවෙයි ආත්මය කියන එකයි අපි තනාගෙන ඉන්න ලෝකවල වැඩ කරන්නෙ. ඒ නිසා ආත්මය හරි ද? අනාත්මය කියන එක වැඩ කරන්නෙ නැති නිසා තමයි පුද්ගලවාදය ක්‍ෂණවාදය වගේ වාද ගොඩ නැගුනෙ. මා නම් එය බැහැර කරනවා. මහායානය ද අටුවාව ද කියන එක මට ප්‍රශ්නයක් නො වෙයි. මේ වැඩ කරන්නෙ අපේ හිතළු. නැත්නම් පඬි නැට්ටන්ගෙ උපන්‍යාස. ඉංගිරිසියෙන් කියනවා නොවැ  වර්කින් හයිපොතිසිස් කියල. බටහිර විද්‍යාව කියන්නෙ ඔය වර්කින් හයිපොතිසිස් නැත්නම් වැඩ කරන හිතළු. 

අප පාසලේ සාමාන්‍ය පෙළේ ඉන්න කොට භෞතික විද්‍යා පරික්‍ෂණ පංති තිබුණ. ඒකෙ දි උගන්වනවා පරික්‍ෂණය ඉදිරිපත් කරන්න. පරීක්‍ෂණයෙ නම එක්ස්පෙරිමන්ට් කියල ලියනවා. ඊට පස්සෙ හයිපොතිසිස් එක ලියනවා. ඊට පස්සෙ පරීක්‍ෂණය කරන අන්දම ලියනවා. ඊළඟට ද කොහෙද වෙරිෆිකේෂන් නැත්නම් සත්‍යාපනය ලියනව. අර සෝවියට් දේශයෙ වෙරිටාස් තිබුණෙ. ලංකාවෙ ඇත්ත තියෙන්නෙ. දෙක ම බොරු හා බොහෝ විට මුසා. 

මට පරීක්‍ෂණ කරන්න බැහැ. මගේ දෑත් ඒවට හුරු නැහැ. මට අර පරිවෘත්තයවත් ඇඳ ගන්න බැහැ. මා පරිවෘත්ත ඇන්දම යුක්ලිඩ්ට කේන්ති යනවා. අඩු තරමෙ ගුරුවරයාට කේන්ති යනවා. කොහොම හරි උසස් පෙළට එන කොට මා ඉගෙන ගත්තා පරීක්‍ෂණය කරන්නෙ නැතිව සත්‍යාපනය කරන්න. වර්කින් හයිපොතිසිස් එක මට ඒ දිනවලත් තරමක් වැඩ කළා. මට ඕන වුණෙ ප්‍රවාදාත්මක භෞතික විද්‍යාව ඉගෙන ගැනීමට නිසා පරීක්‍ෂණ මට අවශ්‍ය වුණෙ නැහැ. 

කොළඹ විශ්වවිද්‍යාලෙ උගන්වන කොට තමයි මේකෙ රඟ මට දැනෙන්න ගත්තෙ. ඒ ක්වොන්ටම් භෞතිකය නිසා. ඒත් පස්සෙ මට තේරුණා ඒකට ක්වොන්ටම් ඕනෙ නැත බුදුහාමුදුරුවො ඔය වර්කින් හයිපොතිසිස් ගැන ඒ නමින් නූණත් දේශනා කරල තියෙනවා කියා. ඊනියා යථාර්ථය බොරුවක් කියා. සංකල්ප ඔක්කොම බොරුය කියා. ඒත් වැඩ කරනවා කියා. බටහිර විද්‍යාව දැන් අනාථ වෙලා. අර පහුගිය දවස්වල මා සයන්ස් සඟරාවෙ පළවුුණු ලිපයක් ඉදිරිපත් කෙළෙ ඒ අනාථ වීම පෙන්නුම් කරන්න. 

ඉතින් අපේ හාමුදුරුවන්ට නැවතත්. උන්වහන්සේ මා මේ කියන බුදුදහමෙ නම් ගුවන් යානා ගියාට බටහිර විද්‍යාව ඇත්ත කියල කියන්න බැරි බව තෙරුම් ගන්න ඕන. එහෙම නැත්නම් මම කියන සංකල්පය නැත්නම් ආත්මය කියන සංකල්පය වැඩ කරන නිසා ආත්මවාදීන් කියන්නෙත් ඇත්ත කියල පිළිගන්න වෙයි. කලකට පෙර අපේ සීයා කෙනෙක් තාත්තගෙ මාමා කෙනෙක් (හොඳ මාමා) කිව්ව දෙයක් තමයි අපි ඉස්සෙල්ල ම හාමුදුරුවරු බුද්ධාගමට  ගන්න ඕන කියල. මට ඒ කාලෙ ඒක තේරුණෙ නැහැ. ඒ සීය බොහොම තේජවන්තයි. උඩුරැවුල කරකවලා කොණ්ඩෙ බැඳලා. අප තියා තාත්තවත් ඔහුගෙන් ප්‍රශ්න අහන්න ගියේ නැහැ. හාමුදුරුවරු බුද්ධාගමට ගැනිල්ල කොහොම වෙතත් අප බුදුහාමුදුරුවන් දේශනා කරපු දේ ලෙස මා කියන්න තේරුම් ගත්තොත් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කියන ඒක තේරේවි. කාට හරි කියන්න පුළුවන් මා නිර්මල බුදුදහම විකෘති කරනවා කියල. ප්‍රශ්නය එතනින් ඉවරයි. ඒක දුකක්.